දෙවොලේ දෙවියන් වැරැදි කරද්දී සාධාරණත්වය පතන්නේ කාගෙන්ද?

දෙවොලේ දෙවියන් වැරැදි කරද්දී සාධාරණත්වය පතන්නේ කාගෙන්ද?

ඇමැති ඩිලාන් ප්‍රශ්න කරයි

අධිකරණයේ උත්තරීතර තනතුරට එරෙහිව චෝදනා එල්ලවූ විට එම චෝදනා විභාග කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් එවැනි විභාගයක් නොකර සිටීම ජනතාවට සිදු කරන විශාලතම ද්‍රෝහිකමක් බව විදේශ සේවා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රටක යුක්තිය පසිඳලීමේ මහා දෙවොලේ දෙවියන් වැරැදි කරන්නේ නම් එරට ජනතාව සාධාරණ යුක්තියක් අපේක්ෂා කරන්නේ කාගෙන්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

යුක්තිය උදෙසා ජනතා ව්‍යාපාරය සංවිධානයේ මෙහෙයවීමෙන් ඊයේ (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව තිබු චෝදනාවලින් 5ක් විභාගයට ගත්තා. ඉන් තුනක් සැකයකින් තොරව සාක්ෂිවලින් ඔප්පු වුණා. චෝදනාවලට ලැබුණ සාක්ෂි අනුව ඇය නිවැරැදිකාරිය කරන්නේ කෙසේ දැයි යන්න කියා දෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලන්නේ. අරාජික තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වනවා. මොකද දෝෂාභියෝගයෙන් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ඉවත් කළොත් ඊළඟට පත්වන අගවිනිසුරු හෝ විනිසුරුවරිය පිළිගන්නේ නැහැ කියන තැනට රට පත් කිරීමේ උපාය මාර්ගයට යන බව දැනටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

චෝදනාවලට මුහුණදීමට ඇති නොහැකියාව හේතුවෙන් වෙනත් දේශපාලන උපාය මාර්ග හා කල් මැරීම් තුළින් රජයට තේරීම් කාරක සභාවට එරෙහිව චෝදනා නඟමින් මේ සැලසුම් උපාය මාර්ගිකව දැන් ක්‍රියාත්මක වෙනවා. මේ මාධ්‍ය හමුවට එක්වූ තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවැසුවාය.

විසමාචාර චෝදනාවලට ලක්ව සිටින අධිකරණයේ උසස්ම ධුරය දරන කෙනා පවිත්‍ර කරන්නට කරන විනය පරීක්ෂණයක් මේක. ඒ පරීක්ෂණ බලය ඇත්තේ ජනතා පරමාධිපත්‍යටයි. මේ පරමාධිපත්‍ය බලයට අද විරුද්ධ වී ඇත්තේ අගවිනිසුරුවරියයි.

චෝදනා සම්බන්ධව කරුණු විමසීමේදී එතුමිය වැරදි බව කියන්නෙත් නැහැ. නිවැරදි බව කියන්නෙත් නැහැ. ඇය කියන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල ඇති අඩුපාඩු. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සකස් කිරීමේදී 78 ව්‍යවස්ථාවේ ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා දුන් විග්‍රහයන්ට අනුකූලවයි මේ දෝෂාභියෝගය අගවිනිසුරුවරියට විරුද්ධව ගෙන ආවේ. දැන් එතුමිය කියනවා ව්‍යවස්ථාවේ අඩුපාඩු. වැරදිකාරිය වුණාට පස්සේ. එහෙම නම් විමර්ශන කමිටුවට එන්න පෙර කියන්න තිබුණා.

මේ කරුණු සම්බන්ධයෙන් ඇති අඩුපාඩු එහෙම නැත්නම් චෝදනා එල්ල වන අවස්ථාවේ කියන්න තිබුණා. මේ හැම කරුණකින්ම ඇය අභියෝග කරන්නෙ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට. ඒ නිසා මෙය රටේ ස්ථාවරයට එල්ල කරන බලවත් පහරක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා