දෝෂාභියෝගය වගේම දහතුනත් නීතියේම කොටසක්

දෝෂාභියෝගය වගේම දහතුනත් නීතියේම කොටසක්

අතාවුද සෙනෙවිරත්න

ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

දහතුන්වැනි සංශෝධනය, දෝෂාභියෝගය සහ නව වසරේ රටේ ගමන් මඟ පිළිබඳ ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

වර්තමාන පාලනය තුළ රට විශාල ඉදිරි ගමනකට යොමුවෙලා තිබෙනවා. මාර්ග පද්ධති වාරි පද්ධති පමණක් නොවෙයි ගුවන්තොටුපොළ ඉදිවෙනවා.

මේ සියල්ල මෙරට දියුණුව හා සංවර්ධනය ගෙන යන ගමනේදී හොඳ අත්වැලක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සියලු කරුණු 2013 දී තවදුරටත් ඉදිරියට සාර්ථකව ගමන් කිරීම ස්ථිරයි.
 

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ පළාත් සභා ක්‍රමය ද ඇතුළත් දහතුන්වෙනි සංශෝධනය පිළිබඳයි. පළාත් සභා සේවයේ දිගු අත්දැකීම් ඇති දේශපාලනඥයකු විදියට ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

දහතුන්වැනි සංශෝධනය කියන්නේ අලුත් දෙයක්වත් විශ්මයට පත් විය යුතු දෙයක්වත් නොවෙයි. අද රටේ නීතියට අනුකූලව තමයි 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතිනම් 13 වෙනි ව්‍යවස්ථාවට අදාළ කරුණු ගැන අලුතින් කතා කළ යුතු නැහැ. මොකද අද එය රටේ මූලික නීතියක් බවට පත්වෙලා තිබෙන නිසා.

මේ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ සන්ධානයක් විදිහට. මෙහි ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වුණත් ඊට අමතරව තවත් පක්ෂ ගණනාවක් තිබෙනවා. ඒ වගේම තවත් පක්ෂ රැසක් ආණ්ඩුවට පිට ඉඳන් සහාය ලබාදෙනවා. මේ සියලු පක්ෂවලට තම තමන්ගේ දේශපාලන අදහස් නිදහසේ පලකිරීමට පුළුවන්. ඒත් සන්ධානයක් විදියට කටයුතු කරද්දී බහුතර කැමැත්ත මත තමයි ක්‍රියාත්මක වෙන්නේ.

මෙහිදී තවත් ප්‍රමුඛ දේශපාලන මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ඇති දෝෂාභියෝග ක්‍රියාමාර්ගයයි. මේ ගැන ඔබේ අදහස් මොන වගේද?

දෝෂාභියෝග ක්‍රියාදමය කියන්නේ අලුත් දෙයක් හෝ නීතියට පිටතින් පැමිණි දෙයක් නොවෙයි. නීතියට අනුකූලව මේ නීතිය අනුව ක්‍රියාත්මක වන්නක්. 13 වෙනි සංශෝධනය වගේම මෙයත් රටේ නීතියේම අංගයක්. මේ දෝෂාභියෝග යෝජනාව මෙරට පළමු දෝෂාභියෝග යෝජනාව නොවෙයි මින් පෙර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ යුගයේදීත් දෝෂාභියෝගයක් ආවා ඒ දෝෂාභියෝගය මඟින් එදා සිටි අගවිනිසුරුවරයා වූ නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව චෝදනා එල්ල වුණා.

මෙතැනදී කිසිම කෙනෙක් මේ ගැන කතා කළේ නැහැ. ඉන්පසු සරත් එන් ද සිල්වා මහතාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කළා. ඒයත් සිදුවුණේ ව්‍යවස්ථාව තුළ ඇති ප්‍රතිපාදනවලට අනුකූලවයි. මේ නිසා දෝෂාභියෝග යෝජනාව අලුත් දෙයක් විදිහට හෝ මීට පෙර නොවූ විරූ දෙයක් විදිහට සඳහන් කරන්නේ අතිශෝක්තියෙන්. ඒ වගේම දෝෂාභියෝග යෝජනාව නීතියෙන් පිටස්තර දෙයක් විදිහට හඳුන්වා දෙනවා නම් ඒක වැරැදි අර්ථකථනයක් විදිහටයි පැහැදිලි කිරීමට පුළුවන්කම තිබෙන්නේ.

මෙතන පුද්ගලයකු ඉලක්ක කර ගත් ක්‍රියාමාර්ගයක් නොවෙයි තිබෙන්නේ. අද සමහරු මේ තත්ත්වය ගැන විවිධාකාරයේ චෝදනා හා අදහස් පළ කිරීමට උත්සාහ කරනවා මෙය සුදුසු දෙයක් නොවෙයි.

රටේ නීතිය වල් වැදී ඇතැයි විපක්ෂය චෝදනා නඟනවා. මේ චෝදනා කෙතෙක් දුරට සාධාරණ හා පදනමක් ඇති චෝදනාද?

විපක්ෂයට වෙලා තිබෙන්නේ නිසි සටන් පාඨයක් නිසි අරමුණක් නොමැතිව දේශපාලන ලෝකයේ හුදෙකලාවීමට සිදුවීමයි. ඒ නිසා තමයි විවිධ අර්ථකථන සහිත වැඩපිළිවෙළකට යොමුවෙලා තිබෙන්නේ. නියඟයක් ආපුවම ඒකටත් ආණ්ඩුව ඈඳා ගැනීමට උත්සාහ කරනවා. තවත් විටෙක ගංවතුර ගැන චෝදනා කරනවා. මේ විදිහේ බොළඳ ප්‍රයත්නයක තමයි විපක්ෂය නියැලෙන්නේ.

තමන්ගේ පාලන යුග වලද කැලෑ නීතිය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ අය තමයි අද නීතිය ගැන කතා කරන්නේ. ඇත්තෙන්ම විපක්ෂය අද ජනතාව ඉදිරියේ විහිලු සපයන්නාගේ භූමිකාව තමයි රඟ දක්වන්නේ. එදා බලයේ සිටි එජාපය තරුණයන් දහස් ගණනින් මරා දැමුවා. එතැනදී ඔවුන් සරළ නීතිමය කරුණක් ගැනවත් අවධානය යොමු කළේ නැහැ. ඒ විදිහේ් පිරිසක් තමයි අද සදාචාරය නීතිය ගැන ඉහළින් කතා කරන්නේ.

අනෙක් පාර්ශ්වයෙන් ජනතා විමුක්ති පෙරමුණත් අද නීතිය ගැන සදාචාරය ගැන මහ ඉහළින් කතා කරනවා.

ඒත් මේ අයම තමයි එදා උසාවිවලට ගිනි තැබුවේ. රටේ පවතින සාමාන්‍ය නීතිය පවා උල්ලංඝනය කළේ. මේ අයටත් සදාචාරවත් අයිතියක් තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. රටේ නීතිය ගැන කතා කිරීමට මේ සෑම දෙයකින්ම විපක්ෂයට තමන්ගේ දේශපාලන ගමන සාර්ථක කර ගැනීමට උත්සාහ කළත් මේ සැරේ ඒ නිසා විපක්ෂයට එක ඡන්දයක්වත් වැඩි නොවන බව ස්ථිරයි.

ඔවුන්ගේ මේ වැඩ නිසා පැයෙන් පැය දිනෙන් දින සිදුවෙන්නේ ඡන්ද ප්‍රමාණය අඩුවීම පමණයි.

මේ දිනවල නීති ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන කැලඹීමත් සමඟ නීති වෘත්තිකයන් කටයුතු කරන ආකාරය ගැන ඔබට ඇත්තේ මොන විදිහේ මතයක්ද?

රටේ ඕනෑ ම කෙනෙකුට තම තමන්ගේ නිදහස් අදහස් පළ කිරීමට පුළුවන් නිසා ආණ්ඩුව කතා කිරීමේ අදහස් ඵල කිරීමේ අයිතිය ඉතාමත් ඉහළින් පිළිගන්නවා. ඒ නිසා අපට ප්‍රශ්නයක් නැහැ ඔවුන් මොන විදිහේ මතයක් දැරුවත් එජාප යුගයේ මේ විදිහේ උද්ඝෝෂණයක් කළොත් සිදුවෙන්නේ අතුරුදහන්වීමට. ඒත් වර්තමාන පාලනය තුළ එය එහෙම වෙන්නේ නැහැ.

නීති වෘත්තිය කියන්නේ වැදගත් හා ගරු කටයුතු වෘත්තියක්. මේ වෘත්තිය සිදුකරන අයත් මේ විදිහට ගරු කටයුතු ලෙස කටයුතු කිරීම තමයි විය යුත්තේ. ඒත් පසු ගිය දිනවලදී ඔවුන්ගේ ගරු කටයුතු ස්වභාවය යම් තරමකට පහළ ගියා.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ගැනත් චෝදනා එල්ල වෙන්නේ ආණ්ඩුවටයි. මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුවට බැරි ඇයි?

ආණ්ඩුවකට කළ හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාවෙන් එහා ආණ්ඩුවකට වැඩ කළ නොහැකියි. එදා රාජ්‍ය වෙළෙඳ ජාලයක් තිබුණා. ඒ වෙළෙඳ ජාලය විනාශ කළේ එක්සත් ජාතික පක්ෂ පාලනයේදීයි. දැන් යළිත් ලක් සතොස හරහා මේ ජාලය ගොඩනැඟීමට පුළුවන්වෙලා තිබෙනවා.

ආණ්ඩුව මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තත්ත්වය තුළ යම්කිසි පාලනයක් ඇතිව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පවත්වා ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා.

බඩු මිල කියන ගැටලුව අලුත් දෙයක් නොවෙයි. නිදහස ලැබූ දා සිටම දිගට දිගට ඇදී එන ප්‍රශ්නයක්. හැම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ සටන් පාඨය බවට පත් කර ගත්තේ බඩු මිල ඉහළ යාම කියන දේ. මේ තත්ත්වය අදත් එහෙමයි එදත් එහෙමයි.

එජාපය 2001 සිට අවුරුදු දෙකක් බලයේ සිටියා. එදා ඔවුන්ට පුළුවන් කමක් ලැබුණේ නැහැ බඩු මිල ගැටලුව විසැඳීමට. මේ අයමයි අද බඩුමිල ගැන කතා කරන්නේ. මේ ප්‍රශ්නයට කිසිදාක ස්ථිර විසැඳුමක් ලබා ගැනීමට පුළුවන් දෙයක් නොවෙයි.

එළැඹි අවුරුද්දේ ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ හා රටේ ගමන් මඟ ගැන මොන විදිහේ තක්සේරුවක් ද ඔබට තිබෙන්නේ?

වර්තමාන පාලනය තුළ රට විශාල ඉදිරි ගමනකට යොමුවෙලා තිබෙනවා. මේ දේ මම දේශපාලනඥයකු විදිහට කියන දෙයක් නොවෙයි.

දීර්ඝ කාලීන සමාජ අත්දැකීම් ඇති කෙනෙකු විදිහටයි දකින්නේ. අද රට තොට විශාල දියුණුවක් ලබලා තිබෙනවා පමණක් නොවෙයි සමාජ තත්ත්වය පවා විශාල ප්‍රගමනයකට ගමන් කර තිබෙනවා. මාර්ග පද්ධති වාරි පද්ධති පමණක් නොවෙයි ගුවන්තොටුපොළ ඉදිවෙනවා.

මේ සියල්ල මෙරට දියුණුව හා සංවර්ධනය ගෙන යන ගමනේදී හොඳ අත්වැලක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සියලු කරුණු 2013 දී තවදුරටත් ඉදිරියට සාර්ථකව ගමන් කිරීම ස්ථිරයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා