විල්පිට ‘දිය බුබුළ’ ගමටම සම්පතක්

විල්පිට ‘දිය බුබුළ’ ගමටම සම්පතක්

අකුරැස්ස, විල්පිට ඔලියගන් වන රක්ෂිතයට මායිම්ව, ගලගාවදෙණිය ගම්මානයේ පිහිටා ඇති ස්වභාවික ‘දිය බුබුළ’ එම ගම්වාසීන්ට පමණක් නොව, අවට ප්‍රදේශවාසීන්ට ද ස්වභාව ධර්මයෙන් ලද අපූරු දායාදයකි.

මේ ජල උල්පත් දෙක උපයෝගි කර ගනිමින් අවට කුඹුරු අක්කර 372ක පමණ ප්‍රමාණයක් යල මහ දෙකන්නයම ඉතා සාර්ථක අන්දමින් ගොවිතැන් කටයුතු කෙරෙන බව ප්‍රදේශවාසීහු කියති. මේ ගැන අදහස් දැක්වූ එම්. වයි. ඇල්බට් මහතා මේ දිය බුබුළු දෙක කොපමණ පායන කාලයකදී වුවත් වතුර හිඳෙන්නේ නැහැ. හැම තිස්සෙම ජලය උතුරා යනවා.

1970 වගේ කාලයේ ගොවිජන සේවා කාර්යාලයේ මහත්වරු ඇවිත් බුබුළු දෙක වටේට අඩි තුනක් විතර උසට කොන්ක්‍රීට් වළල්ලක් දාලා දුන්නා. ඊට පස්සේ ‘ගැමි දිරිය’ මගින් බුබුළ ආරක්ෂා වෙන විධියට පැති බැමි බැඳල දුන්නා. මේ අපට ලැබිල තියෙන්නේ හතර මහ නිධානයෙන් එකක්. අපේ ගමේ ඉන්නේ පවුල් 7ක් පමණයි.

එම්. වයි. ගුණපාල මහතා මට දැන් වයස අවුරුදු 61යි. අපි පුංචි කාලෙත් අපට හොඳට මතකයි අපේ අම්මල අපිව මෙතැනට එක්කර ගෙන ඇවිත් නාවනවා. අපේ ගමේ අල්ලපු ගම්වල විශාල සෙනඟක් හැමදාම මෙතැනින් නා ගන්නවා. මේ දිය උල්පත නැති වුණා නම් ගොවිතැන් කරන්න අහස් දිය වැටෙන කල් බලාගෙන ඉන්න වෙනවා. අපි කිසිම කරදරයක් නැතිව කන්න දෙකම ගොවිතැන් කර ගන්නවා.

කෙතරම් පිරිසක් ස්නානය සඳහා මෙම ස්ථානයට පැමිණියත්, කිසිවෙකු හෝ පරිසරයට හානි නොකරන බව ගම්වාසීහු පෙන්වා දුන්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා