2009-02-04

ජාතික කොඩිය

 

ජාතික කොඩිය

රාජ්‍යයක ස්වාධීනත්වය, එක්සත් භාවය පිළිබිඹු කරන්නේ එ රටේ ජාතික කොඩියෙනි. ජාතික කොඩියට සුවිශේෂ තැනක් හිමි වන්නේ ඒ නිසා ය. ශී‍්‍ර ලංකාවේ දැන් භාවිතා කෙරෙන ජාතික කොඩියේ ඉතිහාසය එතරම් ඈතට දිව යන්නක් නොවේ. 1950 දී එය ආරම්භ විය.

1948 දී ලංකාවට නිදහස ලැබෙන විට නිත්‍ය ජාතික කොඩියක් නොවීය. මේ නිසා ඩී. එස්. සේනානායක මහතා එදින ඉහළට ඔසවනු ලැබුයේ සිංහ කොඩියකි. මේ සිංහ කොඩිය දුටුගැමුණු යුගය දක්වා ඈතට දිව යයි. උඩරට රාජධානියේ දී ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු සිංහ කොඩියක් රැගෙන හංවැල්ලට ආ බවත් සඳහනෙකි. මෙයින් පෙනෙන්නේ ලාංකීය රජවරුන් නව ධජය සකසා ගැනීමට බොහෝ විටම සිංහයා භාවිතා කළ බවයි.

කෙසේ වෙතත් නිදහස ලබා ගැනීමෙන් පසුව මෙරටේ නායකයනට ජාතික කොඩියක අවශ්‍යතාවක් පැනනැගුණි. එය ජාතික අවශ්‍යතාවක් වූයෙන් ඒ පිළිබඳ ඔවුහු දැඩි අවධානයක් යොමු කළහ. මේ අතර මඩකලපුවේ මන්තී‍්‍ර ඒ. සින්නලෙබ්බේ මහතා යෝජනාවක් ගෙන එමින් කියා සිටියේ ලාංකික ජාතික කොඩිය ලෙසට සිංහ කොඩිය භාවිතා කළ යුතු බවයි. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ යුගයේ දී භාවිතා කළ සිංහ කොඩිය 1815 පසු මෙරටට අහිමි වූ බැවින් යළි එම කොඩිය භාවිතා කළ යුතු බව ඔහු පවසා සිටියේ ය. එය මහජන මන්තී‍්‍ර මණ්ඩලයේ විවාදයට ලක්විණි.

1948 මාර්තු 15 දා පත් කළ ජාතික කොඩි කමිටුව පුවත්පත් වලට හා දේශපාලන පක්‍ෂ වලට දැනුම් දෙමින් ජාතික කොඩිය සකස් කර ගැනීමේ කාර්යයට දායක වන්නැයි ජනතාවගෙන් හා පක්‍ෂ වලින් ඉල්ලා සිටියේ ය. මේ කමිටුවේ සභාපතිත්වය දැරුවේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ය. එස්. පරණවිතාන මහතා එහි ලේකම් ධුරය ඉසිලී ය. ජී. ජී. පොන්නම්බලම්, ටී. බී. ජයා, ජී. එල්. කොතලාවල, එල්. ඒ. රාජපක්‍ෂ, එච්. නඩේසන්, ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයෝ ය.

දස වරක් රැස්වූ ජාතික කොඩි කමිටුව අවසන් වරට රැස් වූයේ 1950 පෙබරවාරි 13 වැනිදා ය. අනතුරුව ජාතික කොඩිය සම්මත කර ගත්තේ ය. එස්. නඩේසන් හැර සෙසු අය ජාතික කොඩියේ සැලැස්මට එකඟ වූහ. නඩේසන් ඊට විරුද්ධත්වය දැක්වූයේ සුළු ජාතිකයන් වෙනුවෙන් තිබෙන තීරුවල පළල වැඩිකර ගැනීමට ය.

මේ විරුද්ධත්වයෙන් විශේෂ කරුණක් අනාවරණය කරයි. එනම් ජාතික කොඩියෙන් නිරූපණය කරන සංකේතවල අර්ථය හෙළි වීම නඩේසන් ගේ විරුද්ධතාව නිසා සිදු වුණි. ලෝකයේ සෙසු සෑම රටකම පාහේ ස්වකීය ජාතික කොඩියෙන් නිරූපණය කරන දේ විවරණය කර ඇතත් මෙරටේ ජාතික කොඩිය සම්බන්ධයෙන් එසේ විවරණ කොට නැත. එසේ නිරූපණය නොකරන එකම කොඩිය ද ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩියයි.

නඩේසන් ගේ ප‍්‍රශ්නය මත ජාතික කොඩියේ සඳහන් දෑ පිළිබඳ යම් අදහසක් ගම්‍යකර ගත හැකි වෙයි. කොළ හා තැඹිලි තීරුවලින් මුස්ලිම් හා දෙමළ ජන කොටස් නියෝජනය කරයි. සිංහයාගෙන් මුර්තිමත් කරන්නේ සිංහල ජාතිය සිංහයාගෙන් පැවැත එන්නේය යන අදහසයි. එය පුරාවෘත්තය පදනම් කර ගන්නෙකි. සිංහයා හා සිටින හතරැස් කොටුවේ කොන් හතරේ ඇති බෝපත් හතරෙන් බෞද්ධ ජනතාව නියෝජනය කරයි. මේ කරුණු ජාතික කොඩි සැලැස්ම සකස් කොට ජාතික කොඩි කමිටුව විසින් ඉදිරිපත් නොකරන ලදී. මේ කරුණු ද අපට හෙළිවන්නේ නඩේසන් ගේ විරුද්ධතාව නිසාවෙනි.

ජාතික කොඩි කමිටුවේ සැලසුම අනුව සකස් කළ අභිනව ජාතික කොඩිය ප‍්‍රථම වරට ඔසවන ලද්දේ 1951 පෙබරවාරි 04 වනදාය. ඒ නිදහස් චතුරශ‍්‍රයේ දී ය. එදා සිට 1972 දක්වා එම කොඩිය ජාතික කොඩිය වශයෙන් පිළිගත් අතර එම කාලයේ දී කිසිදු වෙනසකට බඳුන් නොවීය. එහෙත් 1972 දී එය සුළු වශයෙන් වෙනසකට ලක් විය. එහෙත් පැවැති ශෛලිගත බෝකොළ සතර වෙනුවට ස්වාභාවික බෝ කොළ හතරක් සිංහයා සිටින හතරැස් කොටුවේ මුළු හතරට 1972 දී හඳුන්වා දෙනු ලැබීය.

කොඩියේ දිග පළල අනුපාතය 1.2 කි. එනම් දිග 2 ක් වූ විට පළල 1 ක් විය යුතුයි. සිංහයා සිටිය යුත්තේ කොළ සහ තැඹිලි පාට තීරු දෙස බලන අයුරිනි. 1972 දී සුළු වෙනසකට ලක්වූ ජාතික කොඩිය මේ දක්වාම කිසිදු වෙනසකට ලක් නොවී භාවිතයේ පවතී. අද වන විට ජාතික කොඩිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිත්‍ය අංගයක් බවට පත්ව ඇත.