දහම් රුවන සහ සඟ රුවන

දහම් රුවන සහ සඟ රුවන

එක් එක් පුද්ගලයකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නොව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ.

උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චය¸වත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස් ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූය¸ නාදය කුදු නැත. උන්වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන්ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප‍්‍රකාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත.

නිහතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත් කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශලාදි නරේන්ද්‍රයන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග‍්‍ර වූ සේක.

ධර්ම රත්නය

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත‍්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධම¢රත්නය යි.

එහි සතර මාර්ගය යනු සොවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීය¸ කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.

පිටකත‍්‍රය යනු විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

එහි විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ‍්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහ ය. එය පාරාජිකා පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප‍්‍රකරණ වශයෙන් පසෙක් වන්නේ ය. ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

සූත‍්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත‍්‍ර පිටකය දීඝ නිකාය ය, මජ්ම නිකාය ය, සංයුක්ත නිකාය ය, අඬ්ගුත්තර නිකාය ය, බුද්දක නිකාය ය යි නිකාය පසකට බෙදා තිබේ.

එහි දීඝ නිකාය සූත‍්‍ර සූතිසකින් හා බණවර සිවු සැටකින් යුක්ත ය. මජ්ම නිකාය සූත‍්‍ර එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත‍්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඬ්ගුත්තර නිකාය සූත‍්‍ර නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්ත ය. බුද්දක නිකාය කුඩා ග‍්‍රන්ථ සමූහයකි. බුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය යන මේ ප‍්‍රකරණ පසළොස බුද්දක නිකාය ය. සුත‍්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව් ලොව වස් තුන් මස මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය අභිධර්ම පිටකය ය. ධම්මසංගණි පකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාන පකරණය යි අභිධර්ම පිටකයෙහි ප‍්‍රකරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.

සංඝ රත්නය

නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ‍්‍රාවක වූ, ශාරිපුත‍්‍ර මෞද්ගල්‍යායන ආනන්දා රාහුලාදි පුද්ගල සමූහ ආර්ය සංඝරත්නය පුද්ගලයන් අට දෙනෙකු ඇති බැවින් එයට අෂ්ටාය¸පුද්ගල මහා සංඝරත්නය යි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් ආර්ය පුද්ගලයෝ අට දෙන නම් -

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය
සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය
සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය
සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය
අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය
අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය
අනාගාමි ඵලස්ථ පුද්ගලා ය
අර්හත් ඵලස්ථ පුද්ගලයා ය.

යන මොහුය.

ආර්ය පුද්ගලයන් අට දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කායදිට්ටිය විචිකිච්චා, සීලබ්බතපරාමාසය යන සංයෝජන තුන නැත්තේ ය. ඔහුට කාමරාගාදී අවශේෂ සංයෝජන ඇත ද, ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි. ස්වල්ප වශයෙනි. එබැවින් සෝවාන් වු ආර්ය ශ‍්‍රාවකයන් වහන්සේ අපායෝත්පත්තියට හේතු වන තරම් ඖදාරික පාපයන් නොකරන්නාහ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේදී ම රහත් නොවී සසර උපදිතත් සුගතිභවයෙහි සත්වරක් පමණි.

සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත ති‍්‍රලක්‍ෂණ භාවනාවෙහි යෙදෙනුවෝ සකෘදාගාමි මාර්ගඥනයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනී කොට සකෘදාගාමී ඵලයට පැමිණෙන්නාහ.

සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවත ද විදර්ශනා කරන සේක්, අනාගාමි මාර්ගය ලබා, කාමරාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජනය නිරවශේෂයෙන් ප‍්‍රහාණය කොට අනාගාමි ඵලයට පැමිණෙන සේක.

අනාගාමි භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනුවෝ අර්හත් මාගර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක. ඉන්පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක.

ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ‍්‍රහ්ම ආර්ය පුද්ගලයන් ඇත ද, ඔවුහු අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියවුන් නොවන බැවින් සංඝ රත්නයට අයත් නොවෙති. මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්යයන් නොවන වුවත් නව දහස් එක්සිය අසූ කෝටි පනස් ලක්‍ෂ සතිස් දහසක් සංවර් ඇත්තා වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්ය ශිලස්කන්ධයෙන් යුක්ත ව, ආර්යයන් වහන්සේලා අනුව පිළිපදනා බැවින් සංඝරත්නයට ඇතුළත් නො වෙති.

තිසරණය

තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුනය යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්ත්වයන්හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම්, ඒ වස්තුවටද පුද්ගලයාටද පිහිට යයි කියනු ලැබේ.

සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරයය අපට පිහිට වේ. අවු සුළං වැසි ආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගෙය මිනිසාට පිහිට වේ. එක් පුද්ගලයෙකුට පිහිට වන දේවල් මහා සමුහයක් ඇත්තේ ය. මවුපිය නෑ මිතුරු ආදී පිහිට වන පුද්ගල සමුහයක් ද ඇත්තා හ.

ඒ සියලු ම වස්තූූන්ගෙන් හා පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාරයන්ට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උපකාර වන්නාවූ උතුම් පිහිට තුනක් අපට ඇත්තේය. එනම්º බුද්ධ ධර්ම සංඝ යන මේ රත්න තුන ය.

බුද්ධාගම්කාරයන් විසින් තිසරණ ය යි සලකනු ලබන්නේ ඒ රත්න තුන ය. සත්ත්වයන්ට මා පියාදීන් පිහිට වන්නේ එක් ජාතියක් පිළිබඳ සැප දුක්වලට පමණෙකි.

බුද්ධාදි රත්නත‍්‍රය වනාහී සතර අපායේ ඉපද ලැබිය යුතුªසියලු දුක් දුරු කර ගැනීමට ද ජාති ජරා ව්‍යාධි මරණාදි සාංසරික දුºඛයන් දුරු කර ගැනීමටද මනුෂ්‍ය දිව්‍ය බ‍්‍රහ්ම සම්පත් හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ද සත්ත්වයනට පිහිට වේ. එබැවින් ඒ බුද්ධාදි රත්නත‍්‍රය ම සත්ත්වයන් ගේ උතුම් පිහිට තුන වන්නේ ය.

අපගේ් මවුපිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා කි‍්‍රයා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් ලබා දීමට ද කි‍්‍රයා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නොපැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම සංඝ යන රත්න දෙක ද එසේම ය.

රත්නත‍්‍රය සත්ත්වයන්ට පිහිට වන ආකාරය

එසේ හෙයින් ඒ රත්නත‍්‍රය අපට පිහිට වන්නේ් කෙසේද යන ප‍්‍රශ්නය මෙහි ඇති වේ. එබැවින් රත්නත‍්‍රය සත්ත්වයනට පිහිට වන ආකාරය සැකෙවින් දක්වනු ලබයි.

එක් එක් පුද්ගලයකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නොව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ. රෝගයක් ඇති තැනැත්තාට එය දුර කර ගැනීමට වෙද මහතකු ගේ පිහිට වුවමනා ය.

වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත් ගත යුතුය. මේ මේ ආහාර ගත යුතුය. මේ මේ ආහාර නොගත යුතුය යි අනුශාසනයක් කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේ ද නොවේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේ ද නො වේ. රෝගියා ඒ සියල්ල ම තමා විසින් කර ගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවා ගෙන හෝ රෝගය සුව කර ගනී. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝගය අසවල් වෙද මහතා සුව කෙළේය යි කියයි. සියල්ලෝ ම එය අවිවාදයෙන් පිළිගනිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා