යකාටවත් බය නැති එස්.ටී.එෆ්.

යකාටවත් බය නැති එස්.ටී.එෆ්.

විශේෂ කාර්ය බළකායේ හැට වන පුහුණු පාඨමාලාව හදාරන ලද නිලධාරීන් කණ්ඩායම විසිරයාමේ උත්සවය අද (12) පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

නිදහසින් 61 වසරකට පසු ශ‍්‍රී ලංකාවේ ජාතික හා ජාත්‍යන්තර දේශපාලන භූමිකාව තුළ විශ්මිත විජයග‍්‍රහණයක් ලබා ගනිමින් ලොවටම ත‍්‍රස්තවාදයට එරෙහි නිදහස උදාකර ගැනීමේ මාර්ගය හඳුන්වා දෙමින් පරිපූර්ණව ත‍්‍රස්තවාදයෙන් නිදහස ලබාගන්නේ කෙසේද යන්න කි‍්‍රයාවෙන් ඔප්පුකර පෙන්වා ආදර්ශයක් සැපයීමෙන් නැවත වරක් නිදහස ලබාගැනීමට අප සමත්ව සිටී.

443 වසරක් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් බවට පත් වීම හේතුවෙන් ලක්දෙරණේ සම්පත් සියල්ල ඔවුනගේ ගොදුරු බවට පත්ව රටේ පැවතීගෙන ආ අන්‍යෝන්‍ය සම්බන්ධතා ඓතිහාසික සිරිත් විරිත් හා සාරධර්ම පිරිහුණු තත්ත්වයකට පත්විය.

ඒ අනුව රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවනු ලැබූ පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ට මේ අපරාධ මර්දනයට විශාල වෙහෙසක් දරන්නට සිදු විය.

1960 දශකයේ මුල් භාගයේදී දේශපාලන ඝාතන, දේපල විනාශ කිරීම් අනන්‍යතාවයට හැඳුනුම්පතක් රැගෙන යාම අනිවාර්ය වීම, පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම ආදිය දක්නට නොවීය. මේ වකවානුවේදී උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් නිදහසේ ගමන් කළ හැකි විය. රට පුරා ප‍්‍රසිද්ධියට පත්ව තිබුණේ සුන්දර වූ සංචාරක ස්ථාන හා සංස්කෘතිකතාවයෙන් වැදගත් ස්ථාන ලෙසිනි.

නමුත් 60 දශකයේ අගභාගය වන විට මේ තත්ත්වය රට තුල ක‍්‍රමයෙන් හීන වී යන්නට විය. 1971 දී ජනතා විමුක්ති පෙරමුණ ආයුධ සන්නද්ධව අරගලයක නිරත විය.

පසුව උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවලින් ඊ. පී. ආර්. එෆ්., ප්ලොට්, රෝ, ටෙලෝ, එල්ටීටීඊ වැනි බෙදුම්වාදී ව්‍යාපාර මර්දනය විමත් සමග ප‍්‍රචණ්ඩත්වය පිරිවරාගත් ඝාතන සංස්කෘතියක් මෙරටට දායාද විය. මේ හැමදෙනාගේම අරමුණ වූයේ තම අභිප‍්‍රාය ඉටු කර ගැනීම සඳහා ප‍්‍රචණ්ඩත්වය උපයෝගී කර ගෙන එතුළින් තම අරමුණු කරා ළඟා වීමය.

මේ වකවානුවේදී ලෝකයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට මුහුණ දීම සඳහා ඒ ඒ රජයන් විසින් පිළියම් සොයන අවදියක් බවට පත් වන්නට විය. ඒ සඳහා එම රටවල පොලිස් හා ආරක්ෂක අංශ වලට අමතරව එම ත‍්‍රස්තවාදයට මුහුණ දීමට ශක්තිමත් වන පරිදි පොලිස් සංවිධානයක් පිහිටුවන ලදී.

මෙවැනි විශේෂිත ඒකක හා සංවිධානවලට උදාහරණ ලෙස ජර්මනියේ ‘GEGQ’  ප‍්‍රංශයේ ‘CRS’ ස්පාඤ්ඤයේ ‘GEO’  ඩෙන්මාර්කයේ ‘PE’ පින්ලන්තයේ ‘BEAR UNIT’ ග‍්‍රීසියේ ‘DEA’ නෝර්වේ ‘BSK’  ස්විඩනයේ ‘NATIONAL RESCUE UNIT’ චිලී රාජ්‍යයේ ‘COPE’  කොලොන්බියාවේ ‘GOES’ ඉන්දුනීසියාවේ ‘SG’ කොරියාවේ ‘LSAU’ පිලිපීනයේ ‘INPFF’ සිංගප්පූරුවේ ‘POLICE TACTICS TEAM’  දකුණු අප‍්‍රිකාවේ
‘POLICE SPECIAL TASK FORCE’
මැලේසියාවේ ‘FEILD FORCE’ යන බළකායන් පිහිටුවා ඇති බව පෙන්වා දිය හැක.

1971 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ මගින් කැරැල්ලක් ඇති කරන ලදී. මේ වකවානුවේදී පොලිස් නිලධාරීන්ට නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා විශාල ගැටලු පැන නැගිණි.

ඊට මුහුණ දීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ ප‍්‍රහාරක ඒකකයක අවශ්‍යතාව එවකට සිටි රජයට සහ පොලිස්පතිවරුන් හට පෙනී ගොස් ඇත.

මෙයට පිළියමක් ලෙස 1971 වර්ෂයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ ප‍්‍රහාරක ඒකකයක් පොලිසියට සහාය දැක්වීම සඳහා පිහිටුවනු ලැබූ අතර ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අවසන් වූ වහාම එම විශේෂ ප‍්‍රහාරක ඒකකයද විසුරුවා හැර ඇත.

ප‍්‍රායෝගික ගැටලු

පසුව දෙමළ බෙදුම්වාදය වර්ධනය වීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණය මෙහෙයවූ දක්ෂ පොලිස් නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක බැනිටියන් පිල්ලේ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 1978 වර්ෂයේදී ඝාතනය කරන ලදී.

මෙම ඝාතනයත් සමග එවකට සිටි පොලිස්පති ආනා සෙනෙවිරත්න මහතා විසින් විශේෂ ඒකකයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ පිහිටුවීමට නියෝග කර ඇත. එහි ප‍්‍රතිපලයක්ලෙස 1978 වර්ෂයේදී විශේෂ ප‍්‍රහාරක ඒකකයක් ‘SPECIAL TRACKING FORCE’ නිර්මාණය කර ඇත.

මෙම ඒකකය විවිධ හේතුන් මත වසර දෙකකට පමණ පසු අකී‍්‍රය වී තිබේ. පෙර පැවති අංශ අකී‍්‍රය වීමෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා වෙනම විශේෂ බළකායක අවශ්‍යතාව පැන නැගී ඇති බවට දැඩි ලෙසම නිර්දේශ ඉදිරිපත්ව ඇත. මෙය වෙනම ඒකකයක් ලෙස පිහිටුවීමට සුදුසු බව සුබසිංහ මහතා එම කමිටුවේ වාර්තාව මගින් රජයට වාර්තා කළේය.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරාගෙන කටුකුරුන්ද පොලිස් පුහුණු පාසල වෙත කැඳවා මේ නිලධාරීන් අනුකණ්ඩ දෙකකට වෙන් කර 1983. 03. 01 වන දින යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පුහුණු කටයුතු ආරම්භ කරන ලදී.

මෙම පුහුණු කටයුතු භාරව යුද හමුදාවේ එවකට මේජර් වරයෙකු වූ පසුව මේජර් ජෙනරාල් නිලයට උසස්ව විශ‍්‍රාම ලැබූ ආනන්ද වීරසේකර මහතා හා ලුතිනන් මානවඩු යන මහත්වරුන් කටයුතු කර ඇති අතර නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා සහකාර පොලිස් අධිකාරී ලයනල් කරුණාසේන මහතා විසින් එස්. එල්. ආර්. අවිය ලබා දී ඇත. කාකි නිල ඇඳුමක් ලබාදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ හමුදාමය මුහුණුවරක් ගත් කණ්ඩායම් ආරම්භ කිරීමට අඩිතාලම වැටී තිබේ. එම කණ්ඩායම විශේෂ කාර්ය බළකාය ලෙස හැඳින්විය.

මෙහි ආරම්භක අණ දෙන නිලධාරියා වූයේ සහකාර පොලිස් අධිකාරි බෝධි ලියනගේ මහතාය. මේ විශේෂ බළකායේ ප‍්‍රධාන අරමුණ වූයේ පොලිස් ස්ථාන වල ආරක්ෂාව සහ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් ඇති ප‍්‍රදේශවලදී පොලිසියට සහාය වීමයි. මෙහි පුහුණුව ලත් එක් කණ්ඩායමක් 1983 ජූලි මාසයේදී ඇති කළු ජූලිය නැමති ජාතිවාදි කෝලහාල මර්දනය කිරීම සඳහා යොදවනු ලැබිණි.

අනෙක් කණ්ඩායම පුහුණුව අවසන් කිරීමෙන් පසු යාපනය ප‍්‍රදේශයේ පිහිටි පේදුරු තුඩුව, වැල්වැටිතුරේ, කන්කසන්තුරේ යන පොලිස් ස්ථාන වල රාජකාරියේ යොදවනු ලදී. මේ අතරතුර මේ නිලධාරීන් ප‍්‍රභූ ආරක්ෂක කටයුතුවල යොදා ගැනීමට එවකට රජය කටයුතු කර ඇත.

මේ කණ්ඩායමේ රාජකාරි සම්බන්ධයෙන් පැහැදුණු එවකට පැවති රජය හා ජනාධිපති තුමාගේ පුද්ගලික ආරක්ෂක කටයුතු භාරව සිටි රවී ජයවර්ධන මහතා විශේෂ කාර්ය බළකාය නගා සිටුවීමට ඉදිරිපත් වී ඇත. ඒ අනුව මේ බළකාය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත. මේ වකවානුවේදී අණ දෙන නිලධාරීවරයා ලෙස පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන් මහතා කටයුතු කෙළේය.

විශේෂඥ උපදෙස්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉසෙඩ් සී. ඊ. විජේසූරිය මහතාගේ පැමිණීමත් සමග විශේෂ කාර්ය බළකාය නමින් ස්ථාපිත කර ආරක්ෂක අමාත්‍යංශය යටතේ නවීන අවි ආයුධ හා අවශ්‍ය උපකරණ සමග කැළෑ නිල ඇඳුම් ලබාදෙමින් නව ජීවයක් ලබා වඩා ක‍්‍රමවත්ව සංවිධානය වූ ඒකකයක් බවට පත්වන්නට විය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම මත බි‍්‍රතාන්‍ය එස්ඒඑස් හමුදාවේ දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වී අත්දැකීම් ඇති කර්නල් ජොන්සන් ඇතුළු විශේෂඥ උපදේශකයන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ විශේෂ කාර්ය බළකාය මුලික අතුරු හමුදා පුහුණු පාඨමාලාව කටුකුරුන්ද පුහුණු පාසලේදී 1984. 02. 18 වන දින ආරම්භ කර ඇත. මේ පුහුණු පාඨමාලාව සඳහා නිලධාරීන් 44 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සහභාගී වී ඇත.

එතැන් පටන් ආරම්භ වූ විශේෂ කාර්ය බළකායේ පුහුණු පාසල අද වන විට ජාතික හා ජාත්‍යන්තර තලයේ කීර්තිමත් යුද හමුදා පාසලක් බවට පත්ව ඇත. විශේෂ කාර්ය බළකායේ මූලික අතුරු හමුදා සටන්පුහුණු පාඨමාලාවට අමතරව පරිපූර්ණ සොල්දාදුවකු පුහුණු කිරීම සඳහා අවශ්‍ය යුද දැනුමෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් විවිධ පාඨමාලා රාශියක් හඳුන්වා දී තිබේ.

වර්තමානයේ මේ පුහුණු පාසල තුළ විශේෂිත වූ පුහුණු පාඨමාලාව, බෝම්බ නිෂ්කී‍්‍රය කිරීමේ හා සෝදිසි කිරීමේ පාඨමාලාව, විශේෂිත අවි සහ උපක‍්‍රම පිළිබඳ පාඨමාලාව, යතුරුපැදි සටන් කණ්ඩායම් පාඨමාලාව, ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පාඨමාලාව, ගුවන් සංක‍්‍රමණික සටන් පාඨමාලාව, අවි රහිත සටන් පිළිබඳ පාඨමාලාව කැපී පෙනේ.

දිනෙන් දින දියුණු වන ලෝකයේ යුද තාක්ෂණය පිළිබඳ නිසි ඇගයීමෙන් හා අවධානයෙන් සිට ඒ පිළිබඳ අවධානය සහ විශ්ලේෂණය කිරීමෙන් නවීන යුද උපක‍්‍රම හා තාක්ෂණයට අනුබද්ධව කටයුතු කරමින් වඩා පරිපූර්ණ විශේෂිත සොල්දාදුවන් බිහි කිරීමේ කාර්යයෙහි අති සාර්ථකව යෙදී සිටී. තවදුරටත් මෙරටදී පුහුණුව ලැබීම සඳහා පැමිණෙන විදේශ ආරක්ෂක අංශයන්හි නිලධාරීන්ට තම දැනුම සපයමින් සිටී.

විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරී මෙහෙයුම් හා පුහුණු ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති උපාලි සහබන්දු මහතා විශේෂ කාර්ය බළකායේ පුහුණු තත්වය ඉහළ තලයකට ගෙන ඒමට දැඩි කැපවීමෙන් කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙකි.

ඒ මහතාගේ දෙස් විදෙස්හි ලබා ගත් දැනුම හා හැකියාව විශේෂ කාර්ය බළකායේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලැබුණි. ප‍්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ඒ මහතා විශේෂ කාර්ය බළකායට කුඩා කණ්ඩායම් හඳුන්වා දීමේදී පෙරටුගාමියා ලෙස කටයුතු කෙළේය. ඔහු එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරක ඉලක්කයක් බවට පත් වීමෙන්ම ඔහු කෙතරම් ත‍්‍රස්තවාදින්ට තර්ජනයක් වූවාද යන්න පැහැදිලියි.

ප‍්‍රභූ ආරක්ෂාව

1986. 02. 15 වන දින නියෝජ්‍ය පොලිස්පති ආර්. කේ. එල්. කරුණාසේන මහතා විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියා බවට පත්වීමත් සමග විශේෂ කාර්ය බළකායේ සෑම අංශයකම දියුණුවක් දක්නට ලැබුණි. ප‍්‍රභූ ආරක්ෂක ඒකකය ආරම්භ කිරිමට ඒ මහතා මුල් විය. ආරභයේ සිට ප‍්‍රභුවරුන්ගේ ආරක්ෂාවට අමිල මෙහෙවරක් ඉටු කර ඇත.

පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ නිෂ්කී‍්‍රය කිරීමේ දැනුම එකතු කර ගනිමින් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ එකම බෝම්බ නිෂ්කී‍්‍රය ඒකකය විශේෂ කාර්ය බළකාය විසින් සාර්ථකව පවත්වාගෙන යාමට කටයුතු කරයි. දේශීය හා විදේශීය දැනුමෙන් පරිපූර්ණ එමෙන්ම විශේෂිත බෝම්බ නිෂ්කී‍්‍රය උපකරණ හා නව තාක්ෂණයෙන් පරිපූර්ණ බෝම්බ නිෂ්කී‍්‍රය අංශය ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ඒකකයයි.

දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක හමුවන නවීන වර්ගයේ හඳුනාගැනීමට අපහසු බෝම්බයක් හමුවූ වහාම විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්කී‍්‍රය අංශය එය නිෂ්කී‍්‍රය කිරීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා යොද වනු ලබයි.

පැරෂූට් ප‍්‍රහාරක ඒකකය

1987 වර්ෂයේදී පාර්ලිමේන්තු සංකීර්ණයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව ගනු ලැබූ තීරණයක් අනුව එතැන් සිට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව රැස්වන ඕනෑම අවස්ථාවක විශේෂ කාර්ය බළකාය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පාර්ලිමේන්තුව සෝදිසි කර ආරක්ෂාව තහවුරු කරනු ලබයි. අතිගරු ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍ය තුමා ඇතුළු ඉතා වැදගත් ප‍්‍රභූවරුන් පැමිණෙන සියලු ස්ථාන ඔවුන් පැමිණීමට පෙර විශේෂ කාර්ය බළකාය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය මගින් සෝදිසි කර ආරක්ෂාව තහවුරු කරයි.

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සතු එකම පැරෂුට් ප‍්‍රහාරක ඒකකය විශේෂ කාර්ය බළකාය සතුව පවතී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ඉන්දියානු විශේෂ බළකායේ පුහුණු ආධාර ඇතිව පිහිටවූ මෙම ඒකකය විශේෂ කාර්ය බළකායට මෙන්ම ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටද මහත් අභිමානයක් ගෙන දෙන්නකි.

තවදුරටත් යතුරුපැදි ප‍්‍රහාරක කණ්ඩායම් හා දිගුදුර විහිදුම් ප‍්‍රහාරක කණ්ඩායම් මෙන්ම විශේෂ අවි හා උපක‍්‍රම පුහුණු කණ්ඩායම් වලින්ද මෙම බළකාය පරිපූර්ණ වී ඇත.

විශේෂ කාර්ය බළකාය මේ වන විට අති නවීන සන්නිවේදන උපකරණ වලින් සමන්විතව ඇති අතර ත‍්‍රස්තවාදී සංවාද ග‍්‍රහණය කර ගැනීම හා එම සංවාද වලට බාධා පැමිණවීමට අවශ්‍ය සන්නිවේදන උපකරණ වලින් සමන්විත සන්නිවේදන ජාලයක් පවත්වාගෙන යයි. අති නවීන යුද උපකරණ හා අවි ආයුධ වලින් සමන්විත බළකායක් බවට පත්ව ඇත.

විශේෂ කාර්ය බලකාය සතුව කි‍්‍රයාකාරී බුද්ධි අංශයක් කි‍්‍රයාත්මක වේ. එය විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් සාර්ථක කර ගැනීමට මෙන්ම ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.

වර්තමානයේ රජය බලයට පත් වීමත් සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානය විශේෂ කාර්ය බළකාය කෙරෙහි යොමු වන අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් විදේශයන්හි පුහුණු අවස්ථා සඳහා යොමු කර ජාත්‍යන්තර දැනුම හා තාක්ෂණය නැවත විශේෂ කාර්ය බළකාය වෙත ලබා දීමට කටයුතු කර මෙතුල ගුණාත්මක වෙනසක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

විශේෂ කාර්ය බළකායේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා නව සාමාජිකයින් 3000 ක් බඳවා ගැනීම හා විධිමත්ව පුහුණු කරවීමට ගත් තීරණය හේතුවෙන් එහි ශක්තිය දෙගුණ වූ අතර ඒ තුළින් විශේෂ කාර්ය බළකායේ කාර්ය භාරය පහසුවෙන් ඉටු කළ හැකි වීමයි. ජාතික ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ ඝනත්වය දෙගුණකර ගැනීමට හැකියාව ලැබුණි.

සැමවිටම ප‍්‍රහාරය ආරක්ෂාව සඳහා හොඳම උපක‍්‍රමය ලෙස යොදා ගන්නා විශේෂ කාර්ය බළකාය පසුගිය වසර 30 කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති යුදමය කාල පරිච්ඡේදය තුළ අනෙකුත් හමුදාවන් සමග සැසඳීමේදී ඉතා කුඩා කණ්ඩායමක් වුවද අතිදැවැන්ත කාර්ය භාරයක් ඉටු කරනු ලැබීය.

සැම විටම ත‍්‍රස්තවාදීන් තමන් වෙත පහර දීමට ප‍්‍රථම ඔවුන්ව සොයා ගොස් පහරදීම හේතුවෙන් දිගින් දිගටම තමන් විසින් පාලනය කරන ප‍්‍රදේශයේ බලය පවත්වා ගැනීමට ඔවුහු සමත් වූහ.

විවිධ ජන වර්ග වෙසෙන නැගෙනහිර පළාතේ ඒ ඒ සෑම ප‍්‍රජාවන්ගේම විශ්වාසය දිනා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත්වීම තුළින් ත‍්‍රස්තවාදීන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමත් මහජනතාවගේ සහයෝගය අඛණ්ඩව හොඳින් ලබා ගැනීම තුළින් දීර්ඝ කාලයක් එකම ප‍්‍රදේශයක සාර්ථකව රාජකාරී ඉටු කිරීමට විශේෂ කාර්ය බළකායට හැකි විය. ප‍්‍රදේශයේ මහජනතාව හැම විටම බළකාය සමග සිටියහ. එය ත‍්‍රස්තවාදයට බරපතළ ගැටලුවක් විය.

III  වන ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමගම උතුර මුදා ගැනීම සඳහා දැවැන්ත හමුදා මෙහෙයුම් ආරම්භ විය. ඒ සමගම නැගෙනහිර අම්පාර හා මඩකළපුව දිස්ති‍්‍රක්කයේ විශාල භූමි භාගයක යුද හමුදාව විසින් පවත්වාගෙන ගිය කඳවුරු රාශියක් පවත්වාගෙන යෑමට ෂ;ශ්ෂ කාර්ය බළකායට පැවරිණි.

ආරක්ෂක වළල්ලක්

මෙම විශේෂ කාර්ය බළකාය සතු භට පිරිස් හට දැවැන්ත අභියෝගයක් වුවද එම අභියෝගය විසින් භාරගෙන එම ප‍්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කර පවත්වාගෙන යාම සඳහා දැඩි කැපවීමකින් කි‍්‍රයා කරන ලදී. සමහර කඳවුරු පවත්වාගෙන යාමට විශේෂ කාර්ය බළකායට සිටිනුයේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු නිලධාරීන් සංඛ්‍යාවකි.

මේ කඳවුරු පවත්වාගෙන යාම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට විශේෂ කාර්ය බළකාය කි‍්‍රයා කළේය. ඒතුලින් භට සංඛ්‍යාවෙහි අඩුව පුරවා ගත් අතර ප‍්‍රදේශයේ බලය ඉතා අසීරු වාතාවරණයක් යටතේ පවා පවත්වාගෙන යන ලදී.

යුද හමුදාව විසින් A – 9 මාර්ගය මුදා ගැනීම සඳහා ජයසිකුරු මෙහෙයුම කි‍්‍රයාත්මක කරමින් පැවති අවදියේ 1998 වර්ෂයේදී වව්නියාව ඕමන්ත ප‍්‍රදේශයේ විශේෂ කාර්ය බළකා කඳවුරු ස්ථාපිත කිරීමට සිදු විය.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය වව්නියාව සිට A – 9 මාර්ගයේ ඕමන්ත දක්වා කඳවුරු ඉදි කර අතර පසුව වව්නියාව සිට මන්නාරම දක්වා සැපයුම් මාර්ගයේ ආරක්ෂාව මෙන්ම පසු ආරක්ෂක වළල්ලක් ලෙස කඳවුරු ඉදි කරන ලදී.

කුඩා නිලධාරීන් සමූහයක් වුවද තම කැපවීම හා අධිෂ්ඨානය නිර්භයභාවය දැවැන්ත පරාජයන් හමුවේ නොසැලී සටන් කිරීමට තමන්ට ඇති හැකියාව විශේෂ කාර්ය බළකාය විසින් පෙන්වා දෙන ලදී.

විශේෂ කාර්ය බළකායේ කි‍්‍රයා කලාපය එවකට ජනාධිපතිනියගේ දැඩි පැසසුමට පාත‍්‍ර විය. නැවතත් ත‍්‍රස්තවාදීන් විසින් කිලිනොච්චිය නැවත අත්පත් කර ගෙන අලිමංකඩ දක්වා ඉන් නොනැවතී යාපනය නගරය අල්ලා ගැනීම සඳහා දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

එම ප‍්‍රහාරය තුළින් කිලිනොච්චිය, පරන්තන් හා අලිමංකඩ ප‍්‍රදේශයන් අත් පත් කර ගත් අතර යාපනය අල්ලා ගැනීමට පැමිණි ගමන වැළැක්වීමට යුද හමුදාව ප‍්‍රමුඛ ආරක්ෂක හමුදාවෝ සමත් වූහ.

ඒ අවස්ථාවේදී විශේෂ කාර්ය බළකායේ එවකට අණ දෙන නිලධාරීව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් ගුණතිලක මහතා සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වර්තමාන අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ. එම්. එල්. සරත්චනන්ද්‍ර යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් නිලධාරී කණ්ඩායමක් යාපනය වෙත පිටත්ව යන ලදී.

විශේෂ කාර්ය බළකායේ පැමිණීම යාපනයේ ආරක්ෂක අංශ වල නිලධාරීන්ට මහත් ධෛර්යයක් ගෙන දීමට සමත් විය.නැවතත් සාම සාකච්ඡා වාරයක් 2001 වර්ෂයේදී ආරම්භ විය.

එතුල දැවැන්ත ලෙස එල්ටීටීඊ සංවිධානය නැවත සංවිධානය වීම දක්නට ලැබුණි. උපාය මාර්ගිකව අවබෝධතා ගිවිසුමේ අඩංගු විවිධ වගන්ති ප‍්‍රයෝජනයට ගනිමින් හමුදා කඳවුරු වෙත පෙළ පාලි වලින් පැමිණ උද්ඝෝෂණ කර ගිනි තබා කඳවුරු ඉවත් කර ගැනීමේ කි‍්‍රයාවලියක එල්ටීටීඊ ය නිරත වූ අතර 2002. 10. 01 වන දින තිරික්කෝවිල් කඳවුරටත් 2002. 10. 09 වන දින කාංචනාකුඩා කඳවුර වෙතටත් පහර දීමට පැමිණි උද්ඝෝෂකයන්ගේ වෙස් ගත් ත‍්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් කියා දෙමින් සාර්ථකව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනු ලැබීය.

අවබෝධතා ගිවිසුමට අනුව තමන් වෙත පැවරී තිබූ බලය පමණක් භාවිතා කර ප‍්‍රදේශයේ පාලනය ත‍්‍රස්තවාදීන් අතට පත් නොවීමට වග බලා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය.

2006 ජුලි මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමග නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ වීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය වූ හමුදා සේනාංක වලින් කොටසක් මඩකළපුව ප‍්‍රදේශයෙන් ලබාගත්තේය. ඒවන විට මඩකළපු නගරය, කල්අඩි හා මඩකළපුව සිට මයිලම්බාවලි දක්වා වූ ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා සේනාංක වල කාර්ය භාරය ක්‍ෂණිකව විශේෂ කාර්ය බළකාය විසින් භාරගෙන මාවිල්ආරු කි‍්‍රයාන්විතය සඳහා යුද හමුදාව මුදා හරිමින් ඒ සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලදී.

මාවිල්ආරු හා සාම්පූර් මුදා ගැනීමෙන් අනතුරුව එම ප‍්‍රදේශවල යෙදවීම සඳහා හමුදා සේනාංක මුදා හැරීමට සඳහා මඩකළපුව වවුනතිවු හමුදා සේනාංක විශේෂ කාර්ය බළකාය මගින් සිදු කළ අතර එම ප‍්‍රදේශයන්හි යුද හමුදා විසින් පවත්වාගෙන ගිය කඳවුරු විශේෂ කාර්ය බළකාය විසින් පවත්වාගෙන යාමට කටයුතු කරන ලදී.

නියත ජය

2007 ජනවාරි 04 වන දින අම්පාර දිස්ති‍්‍රක්කය මුදා ගැනීම හා කංචිකුඩි ආරු වනගත ප‍්‍රදේශ මුදා ගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය විසින් ‘නියත ජය’ සංග‍්‍රාමය ආරම්භ කළ අතර ඉතා සාර්ථකව අම්පාර දිස්ති‍්‍රක්කය ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත් විය. ඒ සඳහා ප‍්‍රධාන එල්ටීටීඊ කඳවුර ඇතුළුව උපකඳවුරු සියල්ල විනාශයට පත් කරන ලදී. අවි ආයුධ හා යුද උපකරණ විශාල ප‍්‍රමාණයක් සොයා ගන්නා ලදී.

2007 පෙබරවාරියේ මඩකළපුව හා තොප්පිගල ප‍්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් මහඔය තැම්පිටිය, කොහොඹ ගස් තලාව, පුළුකුනාව හා බදුලු හංදිය යන විකාබ කඳවුරුවල සිට යුද හමුදාව කි‍්‍රයාත්මක කෙළේය. මඩකලපුව මුදා ගැනීමෙන් අනතුරුව වවුනතිවු වෙල්ලාවලී හා කොක්අඩිචෝලේ ප‍්‍රදේශයේ ආරක්ෂාව විශේෂ කාර්ය බළකාය විසින් භාරගත් අතර හමුදා සේනාංක තොප්පිගල මෙහෙයුම සඳහා කි‍්‍රයාත්මක විය.

තොප්පිගල මුදා ගැනීමෙන් අනතුරුව තොප්පිගල අවට ප‍්‍රදේශයේ හා ඒ – 5 මාර්ගයේ ආරක්ෂාව විශේෂ කාර්ය බළකාය විසින් භාරයට ගත්තේය. ඒ සමගම උතුර මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යුද හමුදා සේනාංක එම ප‍්‍රදේශ වලින් මුදා හරින ලදී.

නැගෙනහිර ප‍්‍රදේශයේ මානුෂීය මෙහෙයුම් අවසාන වීමත් සමග අවතැන් කඳවුරු වල අවතැන්ව සිටි ලක්ෂයකට ආසන්න අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහා රජය මගින් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙල සඳහා රජයේ පරිපාලන නිලධාරීන් සමග එක්ව ඉතා සාර්ථකව එම පුද්ගලයින් නැවත පදිංචි කරවීමේ කාර්්‍ය භාරය සඳහා විශේෂ කාර්ය බළකායේ සෘජු දායකත්වය ලබාදීමෙන් සාර්ථකව අවසන් කරන ලදී.

උතුර මුදා ගැනීමේ අවසන් මෙහෙයුම කි‍්‍රයාත්මක වීමේදී යුද හමුදා සේනාංක මුදවා හැරීම සඳහා විශේෂ කාර්ය බළකාය විසින් ඕමන්ත සිට පුලියන්කුලම් කනගරායකුලම් මාර්ගයේ ආරක්ෂක රාජකාරී මෙන්ම ඕමන්ත වැලිඔය දක්වා මාර්ගයේ ආරක්ෂක වළල්ලක් පිහිටුවීම හා වව්නියාව සිට මන්නාරම දක්වා මාර්ගයේ ආරක්ෂක රාජකාරී හා මඩු ප‍්‍රදේශයේ ආරක්ෂක රාජකාරී විශේෂ කාර්ය බළකාය විසින් භාරගෙන සිදු කිරීමෙන් උතුරු මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා තම දායකත්වය සැපයීය.

සීමිත මෙහෙයුම්

උතුරු මෙහෙයුම් කි‍්‍රයාත්මක වීමේදී නැවත නැගෙනහිර හා දකුණ අස්ථාවර කිරීමේ අරමුණින් ත‍්‍රස්තවාදී කි‍්‍රයා සිදු කිරීම සඳහා නැගෙනහිර ප‍්‍රදේශයට හා දකුණු යාල ප‍්‍ර‍්‍රදේශයට පලා ආ ත‍්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ වත්මන් අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ. එම්. එල්. සරත්චන්ද්‍ර මහතාගේ නායකත්වය යටතේ විශේෂ කාර්ය බළකාය විසින් දිගින් දිගටම සීමිත මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලදී.

යාල රක්ෂිත වනය ලාහුගල රක්‍ෂිත වනය දැවැන්ත කැළෑබද ප‍්‍රදේශයන් තුළ සැඟවී සිටින ත‍්‍රස්තවාදී කණ්ඩායම් සොයා ප‍්‍රහාර එල්ල කිරීම පහසු කාර්යයක් නොවූ අතර විශාල අභියෝගයක්ව පැවතිණි.

විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති මෙහෙයුම් ලෙස කටයුතු කරනු ලබන නිපොප ආර්. ඩබ්. එම්. සී. රණවක හා අනෙකුත් වනගත මෙහෙයුම් පිළිබඳ නිපුනතාවයකින් යුතුව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහයෝගයෙන් මේ සඳහා 2009. 04. 02 වන දින කි‍්‍රයාත්මක කරන ලද මෙහෙයුම සාර්ථක ප‍්‍රථිපල අත් කරමින් එම ප‍්‍රදේශයේ සැඟවී සිටි 30 කුගෙන් සමන්විත ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයකු වූ පරමානන්දන් මාස්ටර් ඇතුළු ත‍්‍රස්තවාදීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ අතර නැවතත් 2009. 05. 02 වන දින තවත් කි‍්‍රයාන්විතයකදී ත‍්‍රස්තවාදීන් 04 දෙනෙකු නැවත මරණයට පත් කරවන ලදී.

තවත් ත‍්‍රස්තවාදීන් පොලීසියට භාර වීම නිසා නැගෙනහිර පළාතේ ත‍්‍රස්තවාදය අවසන් වී සාමකාමී වාතාවරණයක් ඇති විය. නැගෙනහිර පළාත සම්පුර්ණයෙන්ම සාමකාමී ප‍්‍රදේශයක් බවට පත් කිරීමට ඉතා වෙහෙසී කටයුතු කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු විශාල පිරිසක් සිටිති. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා වසර 20 කට අධික කාලයක් මෙහෙයුම් කලාපවල රාජකාරී කරමින් කටයුතු කළ නිලධාරීහු විශාල පිරිසක් ඒ අතර වෙති.

බොහෝමයක් තම සේවා කාලයෙන් වැඩි කොටසක් මෙහෙයුම් ප‍්‍රදේශයේ රාජකාරී කොට දිගින් දිගටම මව්බිම ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ සටනට තම දායකත්වය ලබා දුන්නෝ වෙති. විශේෂ කාර්ය බළකාය ලබා දුන් විශිෂ්ඨ මෙහෙර නොවන්නට නැගෙනහිර පළාත පහසුවෙන් ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට අපහසු වේ.

අනාගත පරපුර සඳහා නොබෙදු දේශයක් නොබෙදු රටක් උරුම කර දීමේ අභීත අරමුණින් වර්ගවාදීන් සමග සටන් වැදුණු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ප‍්‍රථම වරට 1984. 09. 01 වන දින පොයින්ට් පේදුරු සහ වැල්වැටිතුරේ අතර මුහුදුබඩ මාර්ගයේදී ට‍්‍රැක්ටරයක් බිම්බෝම්බයකට හසුවීමෙන් නිලධාරීන් 04 දෙනෙකු මිය යන ලදී.

මෙම විශේෂ කාර්ය බළකායේ භටයින් තම රාජකාරී ඉටු කරමින් සිටියදී මව්බිම වැළඳගත් ප‍්‍රථම කණ්ඩායම විය. එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 462 දෙනෙකු ලක් දෙරණ සිප ගත්හ.

විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන්230 දෙනෙකු තම ජාතික අරමුණ වෙනුවෙන් සටන් වැද පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර තුවාල ලැබූ නිලධාරීන් සංඛ්‍යාව 789 කි.

මේ අතර විශේෂ කාර්ය බලකායේ සියලු තරාතිරම් වල නිලධාරීන් සිටි අතර විශේෂ කාර්ය බළකායේ උන්නතිය සහ වර්ධනය උදෙසා දැඩි කැපවීමෙන් කි‍්‍රයා කළ අතිදක්ෂ නිලධාරියකු වූ නියෝජ්‍ය පොලිස්පති උපාලි සහබන්දු මහතා ද විය. ඒ මහතා ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක් වී 1996. 12. 17 දින ජීවිතක්ෂයට පත් විය.

විශේෂ කාර්ය බළකාය අද වන විට ඉතිහාසයේ වැදගත් සන්ධිෂ්ඨානයකට පැමිණ ඇත. එනම් රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා කි‍්‍රයාත්මක කළ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විශේෂ කාර්ය බළකායේ 60 වන විසිරයාමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතව ඇත.

විශේෂ කාර්ය බලකාය ශක්තිමත්ව හමුදා ඒකකයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඉටු කළ වර්තමාන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය මේ සඳහා ලැබීමට නියමිතය. මෙය විශේෂ කාර්ය බළකාය ලද ඉමහත් භාග්‍යයකි. මෙය විශේෂ කාර්ය බළකාය ලද මහත් අභිමානයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා