කාත්තන්කුඩි ඛේදවාචකය

කාත්තන්කුඩි ඛේදවාචකය

ආගමික වතාවත් අතර බැතිමතුන්ට වෙඩි ප‍්‍රහාරයක්
මරණ 127යි : සිය ගණනකට තුවාලයි

මේ 1990 අගෝස්තු මස 3 වෙනිදා ය. සිකුරාදාවකි. ඝනදුර පරිසරය ම වෙලා ගනිමින් පැවැතිණි. වෙලාව රාතී‍්‍ර 7.00 – 7.30 අතර වන්නට ඇත. මඩකළපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ‘අල්හුසේනියා” සහ “මීරා ජුම්මා” පල්ලිවලට සිය ගණනක් ඉස්ලාමී බැතිමතුන් පැමිණ සිටියහ. ඔවුන් පැමිණ සිටියේ දිනයේ අවසාන යාඥාව පැවැත්වීමට ය. මද වේලාවක් ගතවී යාඥාව ඇරඹුණි.

බැතිමත්හු මහත් භක්තියෙන් යුතුව සිය ආගමිත වතාවත් හි නියැලුණි. මේ අතර හදිසියේ ම දේවස්ථානයේ විදුලි බලය ඇණ හිටිණි. අඳුර වුව ඉස්ලාම් භක්තිකයන් සිය යාඥාව කරගෙන යාමට බාධාවක් කරගන්නේ නැත. ඔවුහු අදුරේ සිට ම සිය වතාවත් හි යෙදුණි. ඉස්ලාම් ජාතිකයන් අදින පළදින ආකාරයට අනුව ඇද පැළදගත් පිරිසක් ද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් පිරිසකුත් පල්ලිය ඇතුලට ආවේ මේ යාඥාව මාධ්‍යයේ ය.

කැළඹුණු කාත්තන්කුඩිය

පළමුව පල්ලිය අසලට පැමිණි ඔවුහු සාකච්ඡාවකට යැයි කියා පල්ලියේ ප‍්‍රධාන පූජක තැන හමුවීමට අවශ්‍ය බව කීහ. ඒ සමඟම පල්ලිය ඇතුළට කඩා වැදුණු ඔවුන් එක දිගට ම විනාඩි 5 ක් පමණ වෙඩි වරුසාවක් මුදා හැරියේ ය. වෙඩි වරුසාවත් සමඟ ම මර ලතෝනියක් ඇසෙන්නට විය. මරලතෝනි අතර මධ්‍යයේ බෝම්බ තුනක් පල්ලි තුළට කොටි දමා ගැසූහ.

මෙතෙක් වෙලාවක් සහෝදරයන් මෙන් එකට ආගමික වතාවත් කළ පිරිසෙන් බොහොමයක් උන් හිටි තැන්වල ම මැරී ඇදවැටුණහ. තවත් සමහර පිරිස් බරපතළ තුවාල ලැබී ය. පල්ලියේ බිම සහ බිත්ති ලෙයින් නැහැවී යාමට ගතවූයේ මිනිත්තු කිහිපයක කෙටි කාලයකි.

කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පල්ලි දෙකක මේ සමූල ඝාතනය සිදු වන විට ඒවායේ තුන්සියයක පමණ පිරිසක් ආගමික වතාවත්වල නියැලෙමින් සිටියහ. ඉන් 127 ක් ම මරුමුවට පත්වූහ. තවත් සියයකට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

දෙවැනි ඊළාම් යුද්ධය

මේ ප‍්‍රහාරය කොටි ත‍්‍රස්තවාදීන් ඉතාමත් සැලසුම් සහගතව මෙහෙයවා තිබුණි. ඒ අනුව ත‍්‍රස්තවාදී 30 දෙනෙකු පමණ පිරිසක් කණ්ඩායම් දෙකක් ලෙස මඩකළපුවේ සිට බෝට්ටු මගින් පැමිණ ඉන් පසුව හයි එස් වර්ගයේ වෑන් රථයකින් කාත්තන්කුඩි ප‍්‍රදේශය කරා පැමිණ තිබේ. ඉතා කෙටි කලකින් ප‍්‍රහාරය අවසන් කළ බෝට්ටු මගින් පැන යාමට ද සමත් වූහ. මේ සඳහා ගත වූ කාලය කෙටි වුව ද කොටි සිදු කර තිබුණේ බරපතළ හානියකි. විශේෂයෙන් ම මුස්ලිම් පල්ලියක වතාවන් හි නියැලෙමින් සිටි පිරිසක් ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ.ය සිය පැසිස්ට්වාදයේ කෘරිරු බව ලෝකයාට පෙන්නුම් කෙළේ ය.

එල්.ටී.ටී.ඊය මේ ඝාතනය සිදු කරන විට ඔවුන් “දෙවෙනි ඊළාම් යුද්ධය” ආරම්භ කර තිබුණි. මේ වන විටත් එල්.ටී.ටී.ඊ. ය විසින් ප‍්‍රහාර ගණනාවක් එල්ල කර තිබූ අතර මේ ප‍්‍රහාරවලින් අසරණ සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය වී තිබුණි.

ඒ අනුව ජූලි 4 වෙනි දින අම්පාර අරනගන්වල ප‍්‍රදේශයට එල්ල කළ ප‍්‍රහාරයෙන් ගම්වාසීන් අට දෙනෙකු මිය ගියේ ය..ඊට පසු දින එනම් ජූලි 25 දින පොලොන්නරුවේ මියන්කුලමේ දී ද සිවිල් වැසියන් අට දෙනෙක් ඝාතනය කෙරිණි. එදින ම ති‍්‍රකුණාමලයේ ගම්මානයකට කඩා වැදුණු ත‍්‍රස්තයෝ තවත් නව දෙනෙකු ඝාතනය කළහ. ජූලි 26 වෙනිදින අනුරාධපුර තම්මැන්නාවට එල්ල කළ ප‍්‍රහාරයකින් තවත් 19 දෙනෙකු මරා දමා තිබුණි. 29 වෙනිදා අම්පාර සමන්තුරේ දී මුස්ලිම් වැසියන් 14 ක් මරා දැමූහ. අම්පාරේම අක්කරෙයි පත්තුවේ දී මුස්ලිම් වැසියන් 14ක් ජූලි 30 වෙනිදා ඝාතනය කළහ. ඊට පසු දින ති‍්‍රකුණාමලයේ දී 11 ක් මරා දැමූහ.

මෙලෙස කාත්තන්කුඩි හි පල්ලි දෙකට ප‍්‍රහාර එල්ල වීමට පෙර ගම්මාන රැසකට පහර දී ගම්වාසීන් රැසක් මරා දැමීමට එල්.ටී.ටී.ඊ.ය කටයුතු කළේය. පල්ලි දෙකට ප‍්‍රහාර එල්ල කර පසුව එලැඹි දිනයන් හි දී ම නැඟෙනහිර පළාතේ ප‍්‍රදේශ ගණනාවකට ම කොටි ප‍්‍රහාර එල්ල කළහ. ඒ අනුව අගෝස්තු 5 වෙනිදා අම්පාර ප‍්‍රදේශයේ ගොවීන් 17ක් මරා දැමුණි. අගෝස්තු 6 වෙනිදා තවත් ගොවීන් 34 දෙනෙකු ගේ ඝාතනයක් අම්පාරෙන් ම වාර්තා විය. ඒ සමඟ ම අගෝස්තු 17 වෙනි දින අම්පාර බණ්ඩාර දූව ප‍්‍රදේශයේ දී ගම්වාසීන් 30 දෙනෙකු මරා දැමුවේ ය.

අගෝස්තු 8 වෙනිදා වවුනියාවේ දී හත් දෙනෙකු ද 11 වෙනිදා එරාවුර්හි දී 173 ක් ද අගෝස්තු 12 එෙඩ්රමුල්ලේ දී 4 දෙනෙකු ද, 13 වෙනිදා අරන්තලාවේ දී 10 දෙනෙකු ද මුතූර් හි දී 6 දෙනෙකු ද පුල්මුඩේහි දී 14 ක් ද ලෙස අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කෙළේ ය. මෙලෙස ප‍්‍රහාර දැඩි වූ පසුව නැගෙනහිර පළාතෙන් මුස්ලිම් ජනතාව පන්නා දැමීමට ද එල්.ටී.ටී.ඊ. ය කටයුතු කළහ.

එල්.ටී.ටී.ඊ. ඝාතනයන් වඩාත් කෘර මිලේච්ච වන විට දකුණේ දේශපාලනය තුළ ද විශාල වෙනස්කම් රැසක් පැවැතිණි. 1989 අප‍්‍රියෙල් මාසයේ දී රජය විසින් රට පුරා ම සටන් විරා ම ප‍්‍රකාශයට පත් කෙළේ ය. ජනතා විමුක්ති පෙරමුණට සහ එල්.ටී.ටී.ඊ.යට රජය සමඟ සාකච්ඡාවලට පැමිණෙන මෙන් ඉල්ලීමක් කෙරිණි. මේ ආරාධනය ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කළ අතර එල්.ටී.ටී.ඊ.ය විසින් පිලිගන්නා ලදී. මේ අනුව පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ.ය අතර සාකච්ඡා 1989 මැයි මාසයේ දී ආරම්භ විය. මේ සාකච්ඡා සඳහා ජනාධිපති පෙ‍්‍ර්මදාස මහතාත් ආරක්ෂක ලේකම් සේපාල ආටිගල සහ කැබිනට් ඇමැතිවරුන් ගණනාවක් සහභාගි විය.

තුවාල ලැබූ පිරිසට ප‍්‍රතිකාර

මේ සාකච්ඡාවේදී ඉන්දියානු හමුදාව ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කරගත යුතු බවට එල්.ටී.ටී.ඊ.ය යෝජනා කෙළේ ය. මෙයට ප‍්‍රතිචාර දැක්වූ ආණ්ඩුව ඉන්දියානු හමුදාවට පිටත්වන්නැයි ප‍්‍රකාශ කර තිබුණි. මේ අතර ඉන්දියානු හමුදා එල්ල කර තිබූ දරුණු ප‍්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. නායකයා “වන් පෝ බේස්” කඳවුරට කොටු වී තිබුණි. ඉන්දියානු හමුදාව එල්.ටී.ටී.ඊ.යට එල්ල කර තිබූ ප‍්‍රහාර කොතරම් දරුණු ද යත් බී.බී.සී වාර්තාකරුවකුට ප‍්‍රකාශයක් කරන ප‍්‍රභාකරන් මෙවැන්නක් කියා තිබුණි.

“අවස්ථා කිහිපයක දී ම ඔවුහු මගේ මුලස්ථානයට යාර 50 සිට යාර 100 දක්වා ආසන්න දුරකට පැමිණියහ. ඇතැම් අවස්ථාවන් හි කිලෝග‍්‍රෑම් 250 ක් බර බෝම්බ දමනු ලැබූ අතර ඒවා මගේ නිල ඇඳුම පිසගෙන ගියා. ඒ සමඟ ම උග‍්‍ර ආයුධ හිඟයකට සහ පිරිස් හිඟයකට ද එල්.ටී.ටී.ඊ.ය මුහුණ පෑහ.

මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියානු හමුදාව පන්නා දැමීමට මහත් උත්සාහයක් දරමින් සිටි ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.යට ආයුධ ලබා දීමට කටයුතු කළ බවට කට කතා පැතිරුණි. මෙය රහසක් ලෙස තබා ගන්න ලෙස ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණ ද එය පසුව ප‍්‍රසිද්ධ රහසක් බවට පත්විය.

1989 ජූලි මාසයේ දී ආයුධ ලබාදීම සිදු වූයේ එල්.ටී.ටී.ඊ.ය විසින් අතින් දෙන ලද ලැයිස්තුවකට අනුව ය. මෙහි දී කාලතුවක්කු හා මෝටාර් ද එල්.ටී.ටී.ඊ.ය ලේඛනයට ඇතුළත් කර තිබුණි. එහෙත් ඒවා ලේඛනයෙන් කපා දැමූ ආරක්ෂක ලේකම් සේපාල ආටිගල මහතා සෙසු ආයුධ වර්ග වූ ටී – 56 සහ එම් – 16 රයිපල් තුවක්කු පතරොම්, ආදී ආයුධ වර්ග රැසක් ලබා දුනි. මේ අතර සිංගප්පූරුවෙන් යුද උපකරණ ගෙන්වීමට කටයුතු කළ එල්.ටී.ටී.ඊ.ය කොන්සර්ටිනා කම්බි, බැටරි, සිමෙන්ති කොන්කී‍්‍රට් නිමැවුම් හා මාංචු ද ඉල්ලා සිටියේ ය. මේ අතර එල්.ටී.ටී.ඊ.ය සහ ඉන්දියානු හමුදාව අතරත් එල්.ටී.ටී.ඊ. ය සහ දෙමළ ජාතික හමුදාවත් අතර සටන් උග‍්‍රලෙස ඇවිලිණි.

ඔක්තෝම්බර් මාසය වන විට ඉන්දියානු හමුදාව උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත්වීම ආරම්භ කර තිබුණි. ඉන්දියානු හමුදාව පාලනය අතහැර ගිය භූමිය එල්.ටී.ටී.ඊය විසින් සිය ග‍්‍රහණයට හසු කර ගන්නා ලදී. සාම කතා පැවැත්වෙන අතරතුරම ප‍්‍රභාකරන් යුද්ධය සඳහා මැනවින් සූදානම් වෙමින් සිටියේ ය. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වල විශාල වශයෙන් සිමෙන්ති බංකර් ඉදිකරනු ලබමින් පැවැතිනි.

මිය ගිය අය තැන්පත් කර තිබූ අයුරු...

ප‍්‍රභාකරන් ආණ්ඩුව කෙරෙහි ධනාත්මක ප‍්‍රතිචාරයක් දක්වන සෙයක් පෙනේනනට තිබුණේ නැත. හමුදා මෙහෙයුම් සඳහා එල්.ටී.ටී.ඊ.යේ සූදානම දුටු රජය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් තිබිණි. ආරක්ෂක හමුදා ක‍්‍රමයෙන් උතුරු නැගෙනහිර පළාත් කරා යොමු කරමින් පැවැතිණි. ප‍්‍රභාකරන් ඉන්දියානු හමුදා පලා හැරියේ තමා මිස ශ‍්‍රී ලංකා රජය නොවන බව ප‍්‍රකාශ කෙළේය.

මේ අතර ම එතෙක් කල් පොලිස් ස්ථානවල සිටි පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් කඳවුරුවලින් ක‍්‍රමයෙන් එළියට එන්නට විය. මේ සමඟ ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට අසභ්‍ය වදනින් බැණ වදින්නට පටන්ගෙන තිබුණි. සමහර පිරිස් එල්.ටී.ටී.ඊ. මුර පොලවල් අසල දණගස්වා තිබෙන තත්ත්වයන්ට පවා පත්විය.

තවත් තීරණාත්මක යමක් 1990 ජුනි මස 10 වෙනිදා සිදු විය. මඩකලපුව නගරයේ ඇදුම් මසන්නෙකු සහ කාන්තාවන් අතර ඇතිවුණු සිදුවීම සුළු ආරවුලක් විය. ඉන් පසු කාන්තාව විසින් ඇඳුම් මසන්නාව පොලිසියට බාර දෙන ලදී. සුලු තුවාල ලබා සිටින නිසා පොලිසිය විසින් දෙදෙනාවම රෝහල් ගත කළහ. එදින රාතී‍්‍ර 9.30 ට පමණ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙකු මඩකළපු පොලිසිය වෙතට ගොස් පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාට පහර දී ඇති බව චෝදනා කෙළේ ය. මේ ඇඳුම් මසන්නා එල්.ටී.ටී.ඊ.යේ ඇදුම් මසන මුස්ලිම් ජාතික තරුණයකු විය. එදින මඩකලපුව පොලිසියෙන් එල්.ටී.ටී.ඊ.ය ඉවත්ව ගියේ ළඟදී ම සියලු දෙනා ම මඩකලපුවෙන් පන්නා දමන බවට තර්ජනය කරමිනි.

පෙරලා සටන් කිරීම

ඉන්දියානු සාමසාධක හමුදා භටයන්

මේ අතර ඊට පසු දින සිය ගණනකට ආසන්න එල්.ටී.ටී.ඊ පිරිසක් පොලිසිය වට කළහ. පොලිස් භටයන්ට තමන්ව ත‍්‍රස්තවාදීන් විසින් වරකර ඇති බව අවබෝධ විය. ඔවුහු ද පෙරලා සටන් කිරීමට උත්සාහ කෙළේය. එහෙත් මෙහි දී පොලිසියට ඉහළින් නියෝගයක් ලැබුණේ ය. ඒ අනුව කියවුණේ ඔවුන් සියලු දෙනා යටත් වන ලෙසයි. පොලිස් භටයන්ට ද කොළඹින් ලැබුණු ඒ නියෝගය බාර ගන්නවා හැරෙන්නට වෙන කිරීමට දෙයක් තිබුණේ නැත.

ඒ සමඟ ම පොලිස් භටයන් සියලු දෙනාම යටත් වූහ. මේ පිරිස නිරායුධ කොට ඇස් බදිනු ලැබූහ. මොවුන්ව බස්රථයකට නංවාගත් කොටි පසුව වෙනත් ප‍්‍රදේශයකට ගෙන ගොස් බිමට බස්සවා පේලියට තබා දණ ගස්වා වෙඩි තබන ලද බව වාර්තා විය. මෙහිදී ඝාතනය කෙරුණු පිරිසෙන් බහුතරය සිංහල පොලිස් නිලධාරීන් වූහ.

මේ සම්බන්ධයෙන් විවිධ කතාවන් පැතිර ගිය අතර මේ කුරිරු ඝාතනයෙන් දිවි ගලවා ගෙන කිහිප දෙනෙකු පලා යාමට සමත් වී තිබුණි. එහෙත් පසුව කොටින් විසින් මේ පලාගිය පොලිස් භටයන් ද වට කොට මරා දමන ලද බව වාර්තා වුණි. එක් උප පොලිස් පරීක්ෂක වරයකු පමණක් ජීවිතය ගලවා ගැනීමට සමත් විය. පසුව ඔහු මේ සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කර තිබුණි.

“අපිට ඕනේ වුණේ දිගට ම සටන් කරලා මිනිස්සු වගේ මැරෙන්න. ඒ වුණාට අපිව නිරායුධ කරලා කොටින්ට බාර දුන්නේ අපේ ආණ්ඩුවමයි. මේ සිදුවීම් මාලාව දෙවැනි ඊළාම් යුද්ධය ඇරඹීමට මඟ පෑදිනි. ඒ වන විට ඉන්දියානු හමුදාව ශ‍්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් ගෙවී තිබුණේ මාස තුනකටත් අඩු කාලයකි.

ජුනි මස සිට ම්ලේච්ඡ ඝාතන වැලක් කි‍්‍රයාත්මක කෙළේ ය. ඒ සහන වැලේ තවත් එක් ප‍්‍රහාරයක් ලෙස කාත්තන්කුඩි ප‍්‍රහාරය හැදින්විය හැකි ය.

මේ ප‍්‍රහාරයෙන් පසුව අගෝස්තු 5, 6 වෙනි දිනවල ද නැඟෙනහිර ජනතාව ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කෙළේ ය. මේ සමඟම නැඟෙනහිර පළාතෙන් මුස්ලිම් වැසියන් පන්නා දැමීම කි‍්‍රයාත්මක කළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා