ප‍්‍රභාකරන්ගේ උප්පැන්න සහතිකය අපේ හමුදාව අතට හෙට ‘දිනමිණ’ කියවන්න

තිරුමුරුකණ්ඩි කෝවිලේ පූජාවක්

යුද වාර්තාකරණය ඔස්සේ යුද පුවත් සජීවි ලෙසින් ලොවට රැගෙන යනු ලැබුවේ විද්‍යුත් මාධ්‍යවේදීන් විසිනි. මේ දැවැන්ත කාර්යභාරය සුළු පටු කටයුත්තක් නොවේ. යුද බිමේ සිටින යුද හමුදා සමඟම, අවි අත දරා නොසිටියත් ඔවුන් අත රැඳුණේ කැමරා ආම්පන්නයි. ඒ හරහා සජීවි තොරතුරු නිවැරැදි ලෙසින් සමස්ත ලෝකයාට පෙන්වීමට තරම් ඔවුහු දක්ෂයෝ වූහ. ජාතික රූපවාහිනී සංස්ථාවේ සමන් කුමාර රාමවික‍්‍රම සමඟ සාකච්ඡා කොට සැකැසූ දොළොස් වැනි පෙළ ගැස්මයි මේ.

අක්කරායන්කුලම් ප‍්‍රදේශයේ දරුණු ගැටුම්වලින් පසු මේජර් ජනරාල් ජගත් ඩයස් ගේ මෙහෙයවීම යටතේ 57 සේනාංකය කිලිනොච්චියට දකුණු දෙසින් පිහිටි පිවිසුමක් වන තිරුමුරුකණ්ඩි කෝවිල අසළ ප‍්‍රදේශයේ බලය තහවුරු කළා.

ඒ - 9 මාර්ගයේ පිහිටි මේ ප‍්‍රදේශය අත්කර ගැනීමත් සමඟ ඒ – 9 මාර්ගයේ තවත් මුදාගැනීමට ඇත්තේ සීමිත දුරක් පමණයි. තිරුමුරුකණ්ඩි කෝවිල ආශි‍්‍රත දර්ශන අපි ඉක්මනින්ම ලබාගත්තා. ඒවා සෙසු නාලිකාවලටත් ලබා දුන්නා.

ඒ – 9 මාර්ගය ඔස්සේ ඉදිරියට යන විට යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපය හමුවෙනවා. එම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය සඳහා රජය මුදල් වියදම් කළත්, පහසුකම් ලබා දී තිබුණත් එල්. ටී. ටී. ඊ. ය ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර තිබුණා. මේ මණ්ඩපය ආශි‍්‍රත භූමිය අක්කර 40 ක පමණ විශාල ප‍්‍රදේශයක්. එය දුටු විට කොළඹ විශ්වවිද්‍යාලය සිහිපත් වෙනවා.

මේ ස්ථානය මෙතරම් විශාල තැනක් බව බොහෝ දෙනෙක් දැන සිටියෙත් නැහැ. නමුත් එල්. ටී. ටී. ඊ. ය මේ පහසුකම් විනාශ කර තිබුණා. මේ ආශි‍්‍රතව අප වාර්තා කළ ප‍්‍රවෘත්තිය ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ දින ගණනාවක්ම පළකර තිබුණා. ඒ මේ සත්‍යය ජනතාව දැනගත යුතු නිසයි.

තිරුමුරුකණ්ඩි කෝවිලට ආසන්න ප‍්‍රදේශයේදී 572 බල සේනාවට අයත් භට පිරිස් එක් උදෑසනක දී භයානක අත්දැකීම් ලැබුවා. අපි රැඳී සිටියෙත් ඒ ආසන්නයේමයි. මේ වන විට කිලිනොච්චි අත්කර ගැනීම සඳහා ගුවන් ප‍්‍රහාර එල්ල වෙමින් තිබුණේ.

එදින එක් වරම 572 බල සේනාව රැඳී සිටි තැනට කිලෝමීටරයකටත් වඩා මෙපිටින් ගුවනින්හෙලූ බෝම්බයක් වැරදීමකින් පතිත වුණා. අඩි 25 ක් තරම් ගැඹුරු වළවල් හෑරී තිබුණත් ඒ ආසන්න මංසන්ධියේ සිටි සොල්දාදුවන්ට කිසිම හානියක් වුණේ නැහැ. මේ බෝම්බයෙන් ප‍්‍රදේශය දෙදරුම් කෑවා. අපි ඒ වෙලේම එතැනට ගියා. මේ බව වාර්තා කළේ නැතත් අපට ඒ අත්දැකීම අමතක වන්නේ නැහැ.

ඒ-9 මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් සිටි භට පිරිස්වලට දරුණු ලෙස බාධක හමුවුණා. ඒත් ඔවුන් ඉරණමඩු මංසන්ධිය දෙසට පසු නොබා සටන් කරමින් ගොස් මංසන්ධිය අත්කර ගත්තා. එම ස්ථානයේ එල්. ටී. ටී. ඊ. මාලතී බලකායේ නායිකා මාලතී ගේ පිළිරුවක් ද තිබෙනවා.

මේ ප‍්‍රදේශයේ දරුණු සටන් පැවතුණා. අප ඒවා වාර්තා කළා. මේ ප‍්‍රදේශ මුදාගැනීමෙන් පසු මේජර් ජනරාල් ජගත් ඩයස් ගේ මූලිකත්වයෙන් තිරුමුරුකණ්ඩි කෝවිලේ පූජාවක් පවා පැවැත්වූවා. මෙතැනින් පසු තවත් විශේෂී ප‍්‍රදේශයක් වන පරන්තන් අත්පත් කර ගනිමින් 58 සේනාංකය වේගයෙන් ඉදිරියට යමින් සිටියා.

උතුරින් 58 සේනාංකයත් දකුණින් 57 සේනාංකයත් එල්. ටී. ටී. ඊ. ය කිලිනොච්චියට කොටුකර තිබුණේ. පරන්තන් ප‍්‍රදේශයේදී එල්. ටී. ටී. ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙකුත් ගැටුම් අතරතුර හමුදා අත්අඩංගුවට පත් වුණා. මේ ප‍්‍රදේශයේ බලය අහිමිවීම එල්. ටී. ටී. ඊ. යට තීරණාත්මක ලෙස බලපාන නිසා කාලතුවක්කු, බබා මෝටාර් ආදිය විශාල වශයෙන් යොදා ගනිමින් ඔවුන් සටන් කළත් එය රැකගැනීමට ඔවුන්ට නොහැකි වුණා.

පුනරින් – පරන්තන් ප‍්‍රදේශ හමුදාව මුදාගැනීමත් සමඟ කොයි මොහොතේ හෝ කිලිනොච්චියේ බලය අහිමිවීමේ අවදානමට එල්. ටී. ටී. ඊ. ය මුහුණ දී සිටියා. එල්. ටී. ටී. ඊ. යේ හදවත වශයෙන් සැලකූ කිලිනොච්චිය ආරක්‍ෂක හමුදා විසින් මුදාගැනීම පිළිබඳ උපරිම විශ්වාසයක් ගොඩනැඟී තිබියදී මේ ජයග‍්‍රහණය වාර්තා කිරීම සඳහා මෙරට සියලු මාධ්‍ය ආයතන නියෝජන කරමිනුත්, විදේශීය මාධ්‍ය ආයතන ගණනාවක් නියෝජනය කරමිනුත් මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක් උතුරට පැමිණ සිටියා.

ප‍්‍රභාකරන්ගේ උප්පැන්න සහතිකය අපේ හමුදාව අතට හෙට ‘දිනමිණ’ කියවන්න

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා