‘අන්තිම මොහොතේ මැරෙන්න එපා. මේ ටිකත් කවර් කරන්න’

‘අන්තිම මොහොතේ මැරෙන්න එපා. මේ ටිකත් කවර් කරන්න’

හමුදා නිලධාරීන්ගෙන් ශානකට ඉල්ලීමක්

යුද පෙරමුණේ සියලු තතු ඔවුන් සජීවීව අප වෙත ගෙන ආවේ දැවැන්ත අවදානමක් දරා ගනිමිනි. රණබිමේ වෙඩි හුවමාරුවක් මැද හිඳ යුද පුවත් වාර්තාකරණයේ යෙදුණු ඔවුන් ගේ ඒ කාර්යභාරය ලඝුකොට තැකිය හැකි නොවේ. ස්වර්ණවාහිනියේ ශානක ද සිල්වා ඉදිරිපත් කළ රණබිමේ අත්දැකීම් ලිපි පෙළේ අවසන් කොටසයි මේ.

රම්පුරම්වලින් පසු විශ්වමඩු ප‍්‍රදේශය අත්පත්කර ගැනීමත් මේ මෙහෙයුමේ විශේෂ අවස්ථාවක්. මේ කිට්ටුව සුන්දරම් පුරම් කියල සුන්දර හුදකලා ගමක් තිබුණා. නමුත් හොඳට සල්ලි එහෙම තියෙන මිනිස්සු මෙහි හිටියේ. එල්.ටී.ටී.ඊ.යේ වාහන අමතර කොටස්, ඉන්ධන සහ අවි ආයුද විශාල ප‍්‍රමාණයෙන් මෙහිදී ගොඩ .ගත්තා. අප එහි යනවිට පුදුකුඩුඉරිප්පු හරහා සාමාන්‍ය වැසියන් රජයේ පාලන ප‍්‍රදේශයට එමින් සිටියා.

කැලේ මැදින් පැමිණෙන මේ පිරිස සුන්දරම් ගම හරහා ඇවිත් 58 වන සේනාංකයේ විශ්වමඩු පරීක්ෂක කපොල්ල හරහා කිලිනොච්චියට ගෙන ගියා. මේ මිනිසුන් රාති‍්‍රයේ කැලෑව මැදින් එන දර්ශන අප රූගත කළා. ඒක ඇත්තටම හරිම අමාරු දෙයක් වුණා. ඔවුන්ට බොන්න වතුරවත් නෑ.

අපි අපේ වතුර බෝතල් ඔවුන්ට දුන්නා. පොඩිළමයි, වයසක අය ට‍්‍රැක්ටර්වල දාලා විශ්වමඩුවලින් සෝදිසි කරලා යවනවා. අපි දවස් දෙකක් විතර මේ දර්ශන ආවරණය කළා. 581 වන බලසේනාධිපතිවරයා පහුවදා උදේ මට හමුවුණා.

ශානක කොහෙද යන්නේ ?

ගම පැත්තට යනවා තව දර්ශන ටිකක් ගන්න

අර චෙක් පොයින්ට් එකේ සිද්ධි අරගත්තද ? ඔහු ඇහුවා. මම කලින් දවසේ ඒ දර්ශන ගත්ත නිසා එතනට යන්න ගිහිල්ලාත් ආපහු හැරුණා. ඒ හැරිලා විනාඩි 5 ක් වත් ගියේ නැහැ. මුරපොළ තිබුණ තැන පුපුරා ගියා. ඊට කලින් දවසේ එතැනදී අහුවුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් සමඟ මම කතා කළ දර්ශන එදා රෑම විකාශය වුණා.

ඔහු එල්.ටී.ටී.ඊ.යේ තොරතුරු බොහොමයක් හෙළිකළා. 58 සේනාංකාධිපතිවරයා අපිත් නිතරම මෙතැනට ආවා ගියා. එල්.ටී.ටී.ඊ.ය එතැන පුපුරවන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. කුමක් හෝ වාසනාවකට අපි බේරුණා. ඒ වේලාවේ ආපසු හැරෙන තීරණය කොහොම ගත්තා ද කියලා පසුව හිතුණා.

මෝටාර් ප‍්‍රහාර

මේ සුන්දරම් පුරම්වලදී අපි මෝටාර් ප‍්‍රහාරයකටත් මැදි වුණා. ලොකු ගැටුමකින් පසුව එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ මළසිරුරු වගයක දර්ශන ගන්න යද්දි මට පාර වැරදුණා. ඒ කිට්ටුව හිටිය හමුදා නිලධාරියෙක් කිව්වා මේ පැත්තෙන් නෙවෙයි අනික් පැත්තෙන් යන්න මේ පැත්ත එච්චර ආරක්ෂිත නැහැ කියලා.

ඒ කිව්වා විතරයි එතැනට එල්.ටී.ටී.ඊ. මෝටාර් වැටෙන්න පටන් ගත්තා. එතැන පොඩි යුද අගලක් තිබුණා. මමත් රියැදුරාත්, කැමරාශිල්පියාත් ඒ අගලට බැස්සා. ඒ බහින විටත් වලේ ඉන්න විටත් දිසා අටටම වැටෙනවා වගේ මෝටාර් වැටුණා.

එතන හිටියොත් ඉවර තමයි කියලා මට හිතුණා. අන්තිමට අපිට කොහොමහරි ඒ ළඟ තිබුණා. ර්‍ණමඥප ඩඥචඤ බංකරයක් ඇතුළට රිංගා ගන්න පුළුවන් වුණා. පැයක් විතර ඒ ප‍්‍රහාරය තිබුණා. ප‍්‍රහාරය ඉවර වෙන්න කිට්ටුව හමුදා සෙබළු තේ හදාගෙන ආවා. ඉදිරියේ ඉන්න සෙබළුන්ට.

ඉතින් ඒ ප‍්‍රහාරය අතරේ මමත් තේ බිව්වා. දැන් නම් මතක් වෙන කොට හිනාත් යනවා. මගේ එදා හිටිය කැමරා ශිල්පියා සහ රියැදුරා අලුත් අය. ඔවුන් බොහොම භීතියෙන් හිටිය අවස්ථාවක් වුණා ඒක.

මෙයින් පසුව එල්.ටී.ටී.ඊ.යට තමන්ගේකියන්නට ඉතිරි වූ එකම ගම පුදුකුඩුඉරිප්පු පමණයි. ඉතිරිය යුද මුක්ත කළාපයේ තීරුවක්. පුදුකුඩුඉරිප්පු අවසන් සටන අපි අඛණ්ඩව විකාශය කළා. පුදුකුඩුඉරිප්පු අල්ලාගැනීමට යන ගමනේදී 5 වන සන්නාහසන්නද්ධ බලකාය 9 වන ගැමුණු හේවා බලඇණිය 12 වන ගජබා රෙජිමේන්තුව සෑහෙන කාර්යයක් කළා. එහි යුද හමුදා සැලැස්ම හරිම තීරණාත්මකයි. එල්.ටී.ටී.ඊ.යට එයට මුහුණ දෙන්න බැරිවුණා.

බට්ටෝ පාත්ති

අප එහිදී ඉදිරි දර්ශන ලබා ගන්න සන්නාසන්නද්ධ රථවල නැගිලා ගියේ. එක් තැනකදී මම එයින් බැහැලා දර්ශන රූගත කළා. එතැනට වෙඩිවරුසාවක් වැටෙන්න පටන් ගත්තා. මම හිතුවා එතැනදි නම් ඉවරයි තමා කියලා. බට්ටෝ පාත්ති හැමතැනම. ඒ නිසා මම උපක‍්‍රමයක් පාවිච්චි කළා. ඒ යුදටැංකිය ගිය පාරේ ඉදිරියට යාමයි.

ශානක ඔයා නුවණක්කාර වැඩක් කළේ” කියලා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කිව්වා. එතන වෙඩි තැබීම ඉවර නෑ රූගතකර අවසන් වී අපි යුද ටැංකියට නැගගත් පසුවත් එල්.ටී.ටී.ඊ.ය ටී 56 කින් අපේ රථයට වෙඩිතිබ්බා.

එල්.ටී.ටී.ඊ. නායකයා අවසන්වරට රැඳී සිටි බංකරය මෙහිදී යුදහමුදාව අත්පත්කරගත්තා. මම 58 බල සේනාංකාධිපති සමඟ එතැනට ගියා. ඒ වනවිට එහි බිම්බෝම්බ ඉවත්කර ආරක්ෂා කර තිබුණේ නැහැ.

මේ නිසාම වෙනත් රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදීන් ඒ ගේ ඇතුළට යන්න ඉදිරිපත් වුණේ නැහැ. නිලධාරීන් කීපදෙනෙක් උළුකැටවලින් සලකුණු කරලා මට පාරක් හදා දුන්නා.

මම කැමරා ශිල්පියාව පවා එළියේ තියලා සම්පූර්ණ අවදානම අරගෙන සෙබළු කීප දෙනෙක් සමඟ ඒ ගේ ඇතුළට ගියා. එතැන තිබුණ භාණ්ඩවලින් මම පෙ‍්‍ර්ක්ෂකයාට තහවුරු කළා ඒ ප‍්‍රභාකරන්ගේ නිවෙස බව. ප‍්‍රභාකරන් සමූහ ඡායාරූපවලට පෙනීසිටියදී භාවිත කළ තිර රෙදි, ඔහු වාඩි වෙන වේවැල් පුටුව. එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ අය නායකයාට දුන් සමරු තිළිණ, අධිසුඛෝපභෝගී කාමර, එහි තිබුණා. ගේ ඇතුළට බහින්න තිබුණේ බංකරයකින්. ප‍්‍රභාකරන් භාවිතා කළ බෙහෙත්, ව්‍යායාම කළ උපකරණ, ලස්සන කැබිනට්, ජලයෙන් වැඩකරන පංකා, නානකාමර, ශක්තිමත් දොරවල් එහි තිබුණා.

පුංචි රෝමය

පුදුකුඩුඉරිප්පු අත්පත්කරගත්තට පසුව ඉතුරුවුණේ යුද මුක්ත කලාපය පමණයි. හමුදාවේ ප‍්‍රධාන ඉලක්කය වුණේ සිවිල් වැසියන් බේරා ගැනීම. කළපුවත් සමඟ තිබූ මේ ප‍්‍රදේශය රාති‍්‍රයට ලයිට් දාලා වාහන එහෙ මෙහේ යනවා. හරියට වෙන රටක් වගේ සෙබළු මේකට කිව්වේ පුංචි රෝමය කියලා. එය අල්ලා ගැනීමයි ඊළඟ මෙහෙයුම වුණේ.

මෙතැනදීත් ආරක්ෂක බැමි බිඳදාලා 115000ක් පමණ වූ සිවිල් වැසියන් ප‍්‍රමාණයක් මුදාගන්න හමුදාවට හැකිවුණා. පොඩි ළමයි පවා හරියට වතුර ඉල්ලුවා. අම්මකෙනෙකුට දෙන වතුර බෝතලෙන් ළමයින්ට ටික ටික පෙව්වා.

සමහරු නන්දිකඩාල් කළපුව තරණය කළේ සල්ලි, රත්තරන්, ලියකියවිලිවගේ සියලු සම්පත් අත්දෙකේ තියාගෙන. මේවා සමහරවිට කළපුවට වැටෙනවා. ඔවුන් අඬ අඩා ආවේ. අපි කිව්වා “ඉතින් ඔයාගේ ජීවිතය බේරුණානේ ඒ මදිද කියලා” අපේ සෙබළු මේ නැතිවුණ දේවල් සොයාදෙන්නත් හුඟක් උත්සාහ කළා.

තාත්තා කෙනෙක් වඩාගෙන ආව පොඩි දරුවෙකුට වෙඩි වැදිලා. තාත්තාගේ අතටත් දරුවගේ ඔළුවටත් ළමයා මැරිලා. එල්.ටී.ටී.ඊ.ය. තමන්ගේ මිනිස්සුන්ට අන්තිම මොහොතේ සැලකුවේ එහෙමයි. මේ මිනිස්සු මෙහෙම දුක්විඳින්න ඕනෑද ? ඇයි අපි මේවා දකින්නේ කියලා එවෙලේ නම් හිතුනා.

ඉරට්ටෙ වයික්කාල්, අම්පලාවන්පොක්කනේ ප‍්‍රදේශවලදී අපි එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයකට ලක්වෙලා බේරුණා. වෙඩි ප‍්‍රහාර මැද්දෙ තමයි අපි ඉරට්ටේ වයික්කාල් ආවරණය කළේ. වැල්ලත් එක්ක බට්ටෝ පාත්ති තිබුණේ. ඇත්තටම එතැනදි නම් කකුලක් යයි කියලා මට හිතුණා.

ඒ මොහොතෙම මට ඉදිරියෙන් ගිය කපිතාන්වරයෙකු බට්ටෙකුට අහුවෙලා උඩගියා. එතැන තිබුණා වැලි විසිවෙලා මගේ ඇස්වලට වැටුණා. ඒ තරම අවදානම් ගමනක් අපි ගියේ. ඒක විවෘත භූමියක්. අපි බිම දිගාවෙලත් ගියා. කොයි මොහොතේ කොතනින් වදියිද කියලා කියන්න බැරිවුණා.

යුද මුක්ත කලාපයේ අපි ඉන්න සීමාව ඊට ටිකක් ඉදිරියට ගිහින් අපි පෙන්නුවා. ඒක එල්.ටී.ටී.ඊ.යට දැනිලා තිබුණා. නමුත් ලොකු අවිවලින් ප‍්‍රහාරඑල්ල කරන්න බෑ දුර නිසා. අපිට රේඩියෝ පණිවිඩවලින් ඇහුණා එවන්න හදනවා කියලා. අපි රූගතකරලා මේ පැත්තට එමින් සිටියා. එතැන පොඩි උස්බිමක්. ස්නයිපර් ප‍්‍රහාරයක් මගේ ළඟට ආවා.

ඒ මගේ කුකලේ අයිනෙන් ගිහින් මට පිටුපසින් සිටි නිලධාරියාගේ කකුලට වැදුණා. ඒ මොහොතේ මට හිතුණා.මට දෙවැනිවරටත් තුවාල වුණා තමයි කියලා. ඒ තුවාල කාරයව එතැනින් අරන් යන්න ඉඩ දුන්නේ නැතිව ත‍්‍රස්තවාදීන් දිගටම ප‍්‍රහාර එල්ල කළා. එහායින් තිබුණා අපේ වාහනයටත් ප‍්‍රහාර එල්ල වෙලා තිබුණා. ඒ විදිහට මම තුන්වරක් බේරිලා තිබුණා.

අන්තිම දවස්වල අපට දැනුණා එල්.ටී.ටී.ඊ. නායකයන් මෙතැන ඉන්නවා කියලා. කරයාමුල්ලිවයික්කාල් රෝහල පවත්වාගෙන ගියේ කරයාමුල්ලි වයික්කාල් ඉස්කෝලේ මේ රෝහල කුඩුවෙනතුරු හමුදාවෙන් ප‍්‍රහාර එල්ල කරලා කියලා එල්.ටී.ටී.ඊ.ය මේ දිනවල ප‍්‍රචාරයක් ගෙන ගියා.

නමුත් එතැන වහලයවත් රෝහලේ එක බෙහෙත් බෝතලයක්වත් බිඳිලා තිබුණේවත් නැහැ. මේක බොරුවක් බව අපි ඔප්පු කළා. ජාත්‍යන්තර මාධ්‍යයට ඇත්තටම අවශ්‍යතාවක් තිබුණා යුද ජයග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාව වගේ රටකට නොදෙන්න. අපිට එතැනදි පුළුවන්කම ලැබුණා වගකිවයුතු මාධ්‍යයක් විදිහට මිනිසුන්ට ඇත්ත මොකක්ද කියන එක පෙන්නලා දෙන්න.

අවසන් සටන

අවසන් සටනේ අවසන් දින කීපය ඉතාම තීරණාත්මකයි. මොකද එල්.ටී.ටී.ඊ.යෙන් මිදුණ සිවිල් ජනතාව ටික ටික මේ පැත්තට එන්න පටන්ගත්තා. 58 වන සේනාංකය ත් 59 වන සේනාංකයත් මුහුදු තීරය ඔස්සේ සම්බන්ධ වුණා. ඒක ඓතිහාසික සිදුවීමක් වුණා. එතැනදී මුහුදු තීරයේ බලය සම්පූර්ණයෙන්ම මුහුදු කොටින්ගෙන් ගිලිහිලා ගියා.

මුලතිව් පැත්තේ ඉඳලා වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරය සමඟ මේ සේනාංක දෙක සම්බන්ධ වුණාම එල්.ටී.ටී.ඊ.ය කොටුවුණා. එතැනින් පස්සෙ අවසන් සටනට ක‍්‍රමයෙන් ඔවුන් කොටුකරගෙන ආවා. මැයි මාසේ 14, 15, 16 වන විට සිවිල් ජනතාව වැල නොකැඩී 59 වන සේනාංකය පැත්තට ආවා.

මම 58, 53, 59 සේනාංක තුනම ආවරණය කළා. සිවිල් වැසියන් නන්දිකිඩාල් කළපුවේ ගැඹුරුම පැත්තෙන් ආවේ. තෙප්පම් හා ටයර් ටියුබ් පාවිච්චි කරලා ඒ මිනිසුන්ට එල්.ටී.ටී.ඊ,ය වෙඩි තිබ්බා. එතැන ලී කොටවලින් ආවරණයක් හදලා තිබුණා. නමුත් උඩට ආවරණයක් තිබුණේ නෑ. එතැන සිටි 59 වන බල සේනාධිපති කර්නල් ආරියසිංහ මාව ඉදිරියට අරන්ගියා. ඒ වනවිටත් එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාර එල්ලවෙනවා.

මේ එන මිනිසුන් ගේ මුහුණේ හැගීම් කැමරාවට ගන්න මට ඕනෑ වුණා. කැමරාවට වතුරත් විසිවුණා. ඒ වෙලාවේ හමුදා සෙබළු ඒ මිනිසුන්ව බේරගන්න කළේ පුදුමාකාර කැපකිරීමක්. එක මනුස්සයෙක් එතැනට එද්දී වෙඩි වැදුණා. එතන මඩවෙලා තිබුණේ. ඔහු එතැන බිම වැටුණාම ඒ ලේ ටික මගේ කකුල් දෙක වටේට බිම ගලාගෙන ගියා. තව ටිකක් එහා මෙහා වුණා නම් මටත් වෙඩි වදිනවා. එතැනදි ඒ අන්තිම මොහොතෙත් මැරෙයි කියලා මට හිතුණා.

සතිපොළ

ශාන් අන්තිම මොහොතේ මැරෙන්න එපා. මේ ටිකත් කවර් කරන්න කියලා මට එතැන හිටිය කට්ටිය විහිළුවට වගේ කිව්වා. සිවිල් මිනිස්සු සේරම ආවට පස්සේ ප‍්‍රභාකරන් කොටුවුණා. ඒ අවසන් රාතී‍්‍ර තුනම අපි හිටියේ ඉදිරි මෙහෙයුම් මැදිරියේ.

ඒ මෙහෙයුම් මැදිරියට සෙබළු කියන්නේ ‘සතිපොළ’ කියලා. හැම ඒකකයක්ම අණදෙන්නේ එතැන ඉඳලා. ඉතින් සමහරු කෑ ගහනවා. සෙබළු මෙහෙයවනවා. කෑම බීම එහෙමත් තිබුණා. ඒ සේරම නිසායි එතැනට සති පොළ කිව්වේ. ඉතින් අපිත් සතිපොළට යනවා කියලා තමයි එතැනට ගියේ. අවසන් සටන වුණත් ඒ එකතු වීම තුළ හරිම සතුටක් තිබුණා.

මේ කාල සීමාවෙදි අපි බොහොම දේවල් ඉගෙන ගත්තා. යුද වාර්තාකරණයෙදි මුහුණදිය හැකි සියළු සිදුවීම්වලින් ඉගෙන ගත් දේවල් අපිට වැදගත් වුණා. අනික අපිට හිටියේ මිත‍්‍ර ශීලී හමුදාවක්.

අන්තිමට ප‍්‍රභාකරන් මිය ගියා කියන පණිවිඩය අපට ලැබුණා. ප‍්‍රභාකරන්ගේ මළසිරුර නන්දිකඩාල් කළපුවේ සිට රැගෙන එන විට සියලු සේනාංකවල පිරිස 5000ක් 6000ක් විතර වටවෙන්න පටන් ගත්තා. කෑගහනවා.

ඔල්වරසන් දෙනවා. ඝාතකයාගේ අවසන් දර්ශන මම රූගතකළේ ඔහුගේ සිරුර උඩින් කකුල් දෙපැත්තට දාලා හිටගෙන මොකද සෙබළු ඒ තරමට මේ අන්තිම දර්ශනය බලන්න තෙරපුණා.

අපිට අන්තිමේ කැමරා අරන් එතැනින් යන්න බෑ. හමුදාවේ වාහනයි සෙබළුයි පිරිලා. මම අපේ රියැදුරාට කලින්ම කියලා තිබුණා කිලෝමීටරයක් විතර ඈතින් අපේ වාහනය හරවලා තියාගන්න කියලා. සෙනඟ පීරගෙන දුවද්දී සෙබළු කැ ගැහැවුවා “අන්න ස්වර්ණවාහිනිය මේක පෙන්වන්න යනවා’ කියලා. අපි ක්ෂණිකව දර්ශන පළමුවෙන්ම ලෝකයට පෙන්වන්න සමත් වුණා.

අවසන් සටන අපි ඉතාම සාර්ථකව හොඳ විදියට ආවරණය අවසන් කළා. අපට ජීවිතයේ මාධ්‍යවේදියෙකු ලෙස ලබා ගන්න තිබුණ ඉහළම අත්දැකීම් ටික ලබා ගත්තා කියලා හිතෙනවා.

මේ කාර්යයේදී කැමරා ශිල්පී ලලිත් මඩිහේ ගජමන්, ශාන්ත රූපස්සර, ලක්ෂිත බණ්ඩාරගමගේ, රියැදුරන් වන එස්. පත්මසිි, නදීෂ රොෂාන් යන පිරිසගෙන් ලැබුණු දායකත්වය මම ඉතාම ඉහළින් අගය කරන්න ඕනෑ.

අවසානයි

ස්වාධීන රූපවාහිනියේ සුජිත් විතානපතිරණගේ යුද බිමේ අත්දැකීම් හෙට සිට දිනමිණේ පළ වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා