ලෝක ආර්ථික සමුළුව අද-හෙට ඉතාලියේ දී

ලෝක ආර්ථික සමුළුව අද-හෙට ඉතාලියේ දී

ලෝකයේ ප‍්‍රධාන පෙළේ රටවල්වල මුදල් අමාත්‍යවරුන් ජී. 8 ලෝක ආර්ථික සමුළුවේදී ඉතාලියේදී ජුනි 12 – 13 දී හමුවීමට නියමිතය.

දිනෙන් දින වැඩිවන රාජ්‍ය ණය බර, බැංකු යළි පනගැන්වීම, ගෝලීය මුල්‍යකරණය පිළිබඳ නව නීති ආදිය මෙහිදී සාකච්ඡාවට භාජනය වන ප‍්‍රධාන මාතෘකා වනු ඇත.

ලෝක ආර්ථික පරිහානියෙන් ගොඩ ඒම සඳහා අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය විසින් අනුගමනය කරන ලද කි‍්‍රයාමාර්ග ඉකුත්දා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ දැඩි දෝෂ දර්ශනයට භාජනය විය.

මේ සමුළුවට බි‍්‍රතාන්‍ය, කැනඩාව, ප‍්‍රංශය, ජර්මනිය ඉතාලිය, ජපානය, රුසියාව, සහ අමෙරිකාව සහභාගීවීමට නියමිතය. සමුළුව අවසානයේදී මේ රටවල් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතය.

ඉකුත් වසරේ අපෙ‍්‍ර්ල් මාසයේදී ප‍්‍රබල රටවල මුදල් අමාත්‍යවරුන් අවසන්වරට හමුවූ අවස්ථාවේදීත්, ආර්ථික උත්තේජනය සඳහා රජයන් විසින් කොපමණ මුදලක් වැය කළ යුතුද යන්න සහ වෙළෙඳ ආරක්ෂණවාදය පිළිබඳව යුරෝපා නියෝජිතයන් සහ අමෙරිකන් නියෝජිතයන් අතර මත ගැටුම් ඇති විය.

මේ වසර අවසානය ළඟාවෙත්ම, ගෝලීය ආර්ථිකය ස්ථිරවීම ආරම්භවනු ඇති බවට ශුභවාදී මත දැන් පළවෙමින් තිබේ. කෙසේවෙතත් මුල්‍ය පද්ධතීන් තවමත් අනතුරුදායක තත්ත්වයක පවතින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා