ඉරාකයේ සිටින අමෙරිකා හමුදා 2010 වන විට ඉවත්කර ගන්නවා

ඉරාකයේ සිටින අමෙරිකා හමුදා 2010 වන විට ඉවත්කර ගන්නවා

- අමෙරිකා විශේෂ බළකායේ අණ දෙන නිලධාරි

ඉරාකයේ සිටින අමෙරිකා හමුදාව 2010 වසන්ත ඍතුවේදී මුළුමනින්ම ඉවත්කර ගන්නා බව අමෙරිකා විශේෂ බළකායේ අණදෙන නිලධාරී ජෙනරාල් ජේම්ස් කොන්වේ පෙරේදා ප‍්‍රකාශ කැර ඇත්තේ ඉරාකයේ අමෙරිකා යුද මෙහෙයුම අවසන් කරන බවට ඉඟි කරමිනි.

2010 වසන්ත ඍතුවත් සමග සන්නද්ධ බළකායන්ට අදාළ දොරටු වසා සියළු එළි නිවා දමා සියල්ල අවසන් කරන බව ඔහු කීවේය. මෙය 2010 අගෝස්තු මස වනවිට ඉරාකයේ අමෙරිකා හමුදාව ඉවත්කැර ගතයුතු බවට ඉකුත් පෙබරවාරියේ ජනාධිපති බරක් ඔබාමා ප‍්‍රකාශ කළ වැඩපිළිවෙළට අනුගත වීමකි.

ඒ සමඟම යුද්ධයෙහි නොයෙදෙන සෙසු සියලු හමුදා අංශ 2011 අවසානය වන විට ඉවත්විය යුතු බව ඔබාමා කියා ඇත.

දැනට සටනේ නියැලි හමුදා භටයන් 16,000 ක් ඉරාකයේ සිටින අතර 2010 ජනවාරි මස පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හමුදා බළකාය අඩු කිරීම වේගවත් වනු ඇති බව පැවැසී තිබේ.

ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැගීම දැන් අත්හිටුවී ඇති නමුත් සමහර තැනක ශේෂ ගත අල් කයිඩා කොටස් තවමත් දක්නට ලැබෙන බවද ඔහු කීවේය.

තවද ඉරාකයෙන් ඉවත් කැරෙන හමුදා පිරිස ඔබාමා ගේ නියමයෙන් ඇෆ්ගනිස්ථානයේ යොදවන බවද පැවැසී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා