හොරණ බස් නැවතුම්පළේ අඩුපාඩු බලන්න

හොරණ බස් නැවතුම්පළේ අඩුපාඩු බලන්න
බස්නාහිර පළාත් ප‍්‍රවාහන ඇමැති යයි

හොරණ බස්නැවතුම්පළේ දැනට පවත්නා ගැටලු සම්බන්ධයෙන් අගමැති රත්නසිරි වික‍්‍රමනායක, නාගරික සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ඇමැති ලසන්ත අලගියවන්න, පළාත් සභා මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියේ සභාපති නීතිඥ පියසේන දිසානායක සහ අදාළ අංශ භාර බලධාරින් සමග ඉතා ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමට තීන්දු කර ඇති බැව් බස් නැවතුම්පළේ අඩුපාඩු පිරික්සමින් නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රවාහන ඇමැති උපාලි කොඩිකාර මහතා පැවැසී ය.

බස්නැවතුම්පළේ දෙවන අදියර වැඩ ආරම්භ කිරීම සම්බන්ධයෙනුත් පෞද්ගලික බස් සේවාවන් සහ ලංගම බස් සේවාවන් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ද ඇමැති උපාලි කොඩිකාර මහතා සිය අවධානය යොමු කෙළේ ය.

රු.ලක්ෂ 350 ක වියදමෙන් ඉදිකරන ලද හොරණ පොදු බස් නැවතුම්පළ මීට මාස දෙකකට පෙර විවෘත කළත් මෙතෙක් හොරණ පොදු බස්නැවතුම්පළ හොරණ ලංගම ඩිපෝවට භාරදී නොමැති හෙයින් විවිධ ගැටලු මතු වී ඇතැයි ඩිපෝ බලධාරිහු පවසති. මේ බස් නැවතුම්පළ ඉදිකරන ලද්දේ නාගරික සංවර්ධන හා ප‍්‍රජා භූමි සංවර්ධන අමාත්‍යංශය මගිනි. පළමු අදියර විවෘත කරන ලද අතර දෙවන අදියරේ වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇත.

රයිගම් කෝරළයේ අගනුවර වන හොරණ පොදු බස්නැවතුම් පළෙහි පවත්නා විශාල මට්ටමේ අඩුපාඩු නිසා ප‍්‍රදේශවාසී මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටිති.

බුලත්සිංහල, ඉංගිරිය, මදුරාවල, හොරණ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයන්හි මගී ජනතාවගේ ප‍්‍රවාහන කේන්ද්‍රස්ථානය වන හොරණ පොදු බස් නැවතුම්පළෙහි පවත්නා තත්ත්වය ගැන විමර්ශනය කිරීමට නාගරික සංවර්ධන අමත්‍යංශයේ නිලධාරින් පසුගියදා පැමිණි බවත් ඒ නිලධාරින් තොරතුරු ලබාගෙන ගියත් මේ දක්වා ප‍්‍රතිචාරයක් නොලැබුණු බැව් බස් නැවතුම්පළේ කාර්්‍යභාර නිලධාරිහු පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා