මිල්ලකන්ද රාජ්‍ය වතු යායෙන් ඉඩම් අරගෙන රණවිරුවන්ට

මිල්ලකන්ද රාජ්‍ය වතු යායෙන් ඉඩම් අරගෙන රණවිරුවන්ට
බෙදාදීමට කි‍්‍රයා කරනවා
 

 - සභාපති තුසිත කුලරත්න

කළුතර දිසා සමූහ දයාරත්න කුමාරසිංහ බුලත්සිංහල සමූහ

“රණවිරු ගම්මානයක් පිහිටුවීම සඳහා බුලත්සිංහල නගරයෙන් දුර බැහැර පෙදෙසක පිහිටි හල්වතුර රාජ්‍ය වතුයායෙන් ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ නමුත් එය අසාර්ථක වූ බවත්, මවුබිම රුදුරු ත‍්‍රස්තවාදීන් ගෙන් මුළුමනින්ම නිදහස් කරගත් රණවිරුවනට නිවාස සාදා ගැනීම පිණිස නගරය සමීපයේ ඇති මිල්ලකන්ද රාජ්‍ය වතුයායෙන් අක්කර පහක භූමි ප‍්‍රමාණයක් ප‍්‍රාදේශීය සභාවට ලබාගෙන මේ කාර්ය කිරීමට පියවර ගන්නා බවත්” බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ මුලසුනගෙන කතා කළ සභාපති තුසිත කුලරත්න (එ. ජ. නි. ස.) මහතා පැවැසීය.

ප‍්‍රාදේශීය සභා කාර්යාලීය රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්වුණි.

විපක්‍ෂ නායක නිහාල් මැන්ඩිස් (එ. ජා. ප.) මහතා විසින් වීරෝදාර රණවිරුවනට නිවාස තනා ගැනීම සඳහා බුලත්සිංහල මිල්ලකන්ද රාජ්‍ය වතුයායෙන් ඉඩම් ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් කළ සභාපතිවරයා කීවේය.

විපක්‍ෂ නායක නිහාල් මැන්ඩිස් මහතා ඉදිරිපත් කළ යෝජනාව අනුව බුලත්සිංහල නගරය සමීපයේ ශ‍්‍රවණාගාරය ආසන්නයේ ඇති මිල්ලකන්ද වතුයායෙන් රණවිරුවනට නිවාස තනා ගැනීමට ඉඩම් ලබාදීමට කටයුතු කරමු.

රජයේ සේවකයන් සඳහා ද මධ්‍යම පංති නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට අක්කර පහක් ද ප‍්‍රාදේශීය සභාවේ යාන වාහන, බැකෝ යන්ත‍්‍ර ගාල් කිරීම සඳහා අක්කර පහක්ද ඇතුළුව අක්කර පහළොවක් ප‍්‍රාදේශීය සභාවට ලබා ගැනීමට මා උත්සාහ ගන්නවා.

වැවිලි කර්මාන්ත ඇමතිතුමාට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කර මිල්ලකන්ද රාජ්‍ය වතුයායෙන් අක්කර පහළොවක බිම් ප‍්‍රමාණයක් නිදහස් කර දෙන්නැයි ඉල්ලීමක් කළ යුතුයි.

 හොරණ වැවිලි සමාගමට හා වතු අධිකාරිවරයාට ද මේ සම්බන්ධව කරුණු දන්වා යවනවා. රණවිරුවනට ඉඩම් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්තුමා සහ රණවිරු අධිකාරිය ද දැනුවත් කරනවා.

සංජීව පුෂ්පකුමාර (ජ.වි.පෙ) මහතා - ප‍්‍රාදේශීය සභාව රණවිරුවන් වෙනුවෙන් මෙවැනි කාර්යයක් කිරීම වැදගත්. කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම ගැන සති ගණනක් රණවිරුවනට උපහාර දක්වා සෙත් පැතීමේ පිංකම් පැවැත්වීම දැන් ප‍්‍රමාණවත්. ඔවුන් සඳහා මෙයට වඩා යම් දෙයක් කළ යුතුයි. සමහර රණවිරුවන්ගේ නිවෙස්වල බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කරලා. මවුපියන්ට ගෙවන්න මුදල් නැහැ.

සුනිල් දොඩංගොඩ (එ. ජ. නි. ස.) මහතා - රණවිරුවන් සඳහා නගරය සමීපයෙන් ඉඩම් කැබලි ලබාදීම හොඳයි. දරුවන් නගරයේ පාසල් වලට ඇතුළත් කිරීමට ද මේ නිසා පහසුකම් සැලසෙනවා. යෝජනාව ඒකච්ඡන්දයෙන් සභා සම්මත විය.

ජනකාන්ත වැලිකල (එ. ජ. නි. ස.) මහතා - කුඩා ගඟේ තොටුපලේ ඇති ජනතාව එගොඩ මෙගොඩ කරන ඔරුව අබලන් තත්ත්වයකයි පවතින්නෙ. ජනතාවගේ ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයට පත්වෙලා අලුත් ඔරුවක් ලබාදෙන්න.

සුනිල් දොඩංගොඩ (එ. ජ. නි. ස.) මහතා - ගං වතුර ගලන කාලයට බෝට්ටු ලබා දීමට කලකට පෙර සභාව තීරණය කළ වැඩපිළිවෙළ තවමත් කි‍්‍රයාත්මක කර නැහැ.

ඉන්දික හේවගේ (එ. ජ. නි. ස.) මහතා - කොස්ගුලන හා අඹගහ තොටුපලවල් වලට අවශ්‍ය තරම් ටියුබ් ලයිට් ලබා දී නැහැ. අඹගහ තොටුපල අසල නිවාස දාහතරක් තියනවා. මේ තොටුපලවල් සඳහා කිසිම කෙනෙක් රේන්දය අරන් නැහැ. අබලන් වූ ඔරු දෙකක් තියෙන්නේ. මගීන් එගොඩ මෙගොඩ කිරීමට අලුතින් ඔරු දෙකක් ලබා දිය යුතුයි.

විපක්‍ෂ නායක නිහාල් මැන්ඩිස් (එ. ජා. ප.) මහතා - ඊස්වරයා කන්ද තොටුපලේ ගල් ගැලවිලා. මේ නිසා පාසල් කරා යන සිසු දරුවනට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න සිදුවෙලා.

උප සභාපති ඩබ්ලිව්. නන්දසිරි පෙරේරා (එ. ජ. නි. ස.) - ඊස්වරයා කන්ද තොටුපල භූමිය මඩ තට්ටුවකින් වැහිලා. ගමන් කරන විට ලිස්සනවා. අවදානම් තත්ත්වයට පත්වෙලා.

සභාපති තුසිත කුලරත්න (එ. ජ. නි. ස.) මහතා - ප‍්‍රාදේශීය සභාවට අයත් හැම තොටුපළක් සඳහාම ඔරුව බැගින් ලබාදීමට කටයුතු කරනවා. දැනට පවතින මිල ගණන් අනුව මිල ගණන් කැඳවා ඔරු මිලදී ගැනීම පිණිස ආදායම් පාලක නිලධාරී වරයාගේ තීරණය ලබාගෙන මේ කාර්ය ඉක්මනින් කරන්නට මා උත්සාහ ගන්නවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා