නිල්මිණි ජයසිංහට රන් පදක්කමක්

නිල්මිණි ජයසිංහට රන් පදක්කමක්

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර දී පැවැති ආරාධිත ලෝක කාන්තා බොක්සිං සූරතාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ නිල්මිණි ජයසිංහ සමත් වූවාය.

කිලෝ ග‍්‍රෑම් 51ට අඩු බර පන්තියෙන් තරග වැදුණ නිල්මිණි අවසන් තරගයේ දී කැනඩාවේ බොක්සිං ජාතික සූරිය වන ජුඩෝල් මැන්ඩි පරාජය කරමින් මේ සූරතාව දිනා ගත්තාය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කාන්තා බොක්සිං කී‍්‍රඩිකාවක් ලෝක රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි. පන්නල ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය නියෝජනය කරන නිල්මිණි අවසන් තරගයේ දී මුල් වටයේ සිට ම ඉදිරියෙන් සිටිමින් මේ ජයග‍්‍රහණය ලැබීම පැසසිය යුතුය. එහි දී ඇය 3-1, 4-2, 5-3ක් සහ 6-5ක් ලෙස ප‍්‍රතිවාදී කී‍්‍රඩිකාව පරාජය කළාය.

“මම මේ තරගාවලියට සහභාගී වූයේ මගේ මවුබිමට පදක්කමක් ගෙන එනවාය කියන බලාපොරොත්තුව ඇතිව. ඒක කුමන පදක්කමක් ද කියන එක මට වැදගත් වුණේ නෑ.

මුලින් ම මම ලෝකඩ පදක්කම දක්වා පැමිණියට පසුව මට පුදුම ආත්ම විශ්වාසයක් ඇතිවුණා. මම හිතුව මට රන් පදක්කම කරා යන්න හැකිවේවි කියලා.

නමුත් ප‍්‍රතිවාදී කී‍්‍රඩිකාවන් දැක්කහම ඒ බලාපොරොත්තුවේ චකිතයකුත් ඇතිවුණා. ඒත් ඊළඟ තරගයත් ජයගත් පසු මට මා කෙරෙහි පුදුම ආත්ම විශ්වාසයක් ඇතිවුණා.

අවසන් තරගය මට ඉතා ලෙහෙසියෙන්ම ඉදිරියට යන්න හැකිවුණේ ඒ නිසයි” නිල්මිණි ජයසිංහ ජයග‍්‍රහණයෙන් පසුව ‘දිනමිණ’ හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවාය.

මේ තරගාවලිය නියෝජනය කරමින් කිලෝ ග‍්‍රෑම් 48 බර පංතියෙන් සහභාගී වූ අනුෂා කොඩිතුවක්කු ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. ඔවුන් දෙදෙනාගේ පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං පුහුණුකරු කියුබානු ජාතික රෆායල් රම්රේෂ් මහතා ද මේ සංචාරයට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා