සංස්කෘතිය වනසන නාට්‍ය වෙනුවට හරවත් නිර්මාණ අද අවශ්‍ය වී තිබෙනවා

සංස්කෘතිය වනසන නාට්‍ය වෙනුවට හරවත් නිර්මාණ අද අවශ්‍ය වී තිබෙනවා

- අගමැති රත්නසිරි වික්‍රමනායක

අපේ සංස්කෘතිය විනාශ කරමින් මුදල් ඉපයීම මූලික කරගත් නාට්‍ය වෙනුවට ජන මනස රසාස්වාදයෙන් උද්දීපනය කළ හැකි හරවත් නිර්මාණ අද අවශ්‍ය වී ඇතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා පැවැසීය.

ඒ සඳහා ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංග කලා පාසලට සුවිශේෂ කාර්යයක් කළ හැකි යයිද වික්‍රමනායක මහතා කීවේය.

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රචර්ධනය හා පුනර්ජීවය උදෙසා ටවර් හෝල් රඟහල පදනම විසින් පවත්වනු ලබන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (24) දින සව්සිරි පායේදී පැවැත්්විණි. එම අවස්ථාවේ දී ‘ටවර් හෝල්’ රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අතින් වසරේ දක්ෂතම ශිෂ්‍යාට හිමි සහතික පත්‍රය මධුෂානී වින්ධ්‍යාට ප්‍රදානය කළ අයුරු.
ඡායාරූපය:- රංජිත් ජයවීර

සව්සිරිපාය ශ්‍රවණාගාරයේ පැවැති ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්සවයට ඊයේ (24) එක්වෙමින්් අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේය.

තෙතමනයක් නැති පිරිසකගෙන් දශක තුනක් පුරා අපේ රට බැට කෑ බව පැවැසූ රත්නසිරි වික්‍රමනායක මහතා මිනිසුන් ගේ හදවත් තුළ තෙතමනයක් ඇති කිරීමට නාට්‍ය කලාව හවුල් කරගත හැකි යයිද සඳහන් කෙළේය.

අගමැතිවරයා මෙසේද අවධාරණය කෙළේය.

අද දින ඩිප්ලෝමා සහතික පත් ලබාගත් සියලු සිසු දරු දැරියන්ට මා සුබ පැතුම් එක්කර සිටිනවා.

දශක තුනක යුද්ධය නිම කරමින් අලුත් ශ්‍රී ලංකාවක් කරා අප පියනඟමින් සිටිනවා. එම අලුත් ගමන යද්දී ආර්ථික වශයෙන් පමණක් අප සංවර්ධනය වීම ප්‍රමාණවත්් නැහැ.

සංස්කෘතිය, සදාචාරය, කලාව යන සියලුම ක්ෂේත්‍රයනුත් එක සමානව සංවර්ධනය විය යුතුයි. එවිටයි අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය හැකි වන්නේ.

කලාවට ජාති, ආගම්, කුල, පාට, පක්ෂ භේද නැහැ. සියලුදෙනා එකට එක්වී සමඟියෙන් ජීවත් කිරීමට කලාවට සුවිශේෂි කාර්ය භාරයක් කළ හැකියි.

නාට්‍ය ක්ෂේත්‍රයට ඇතුල් වෙද්දී අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම දැනුම ලබා ගත යුතුයි. එවිට තමයි දක්ෂ, පිරිපුන් කලාවේදියකු විය හැක්කේ.

අද නාට්‍ය කලාව නිසා ගම පිබිදී තියෙනවා. ඊට හේතුව ලෙස මා දකින්නේ් සංස්කෘතික මධ්‍යස්ථාන ගමට ගොස් ඒ මඟින් විශාල සේවයක් කිරීමයි.

අප ඔබට දොර විවෘත කර දී තිබෙනවා. ඔබ යා යුතු ගමන හොඳින් වටහාගෙන යන්න කියලා මා ඉල්ලා සිටිනවා.

තිරිසන් ලොවින් මිදිලා මනුෂ්‍ය ලොවට පියමං කරන මේ මොහොතේ ඒ ලොව ශක්තිමත් කර ගන්්න ඩිප්ලෝමා දැරූ ඔබ සැමගේ සහාය ලබාදෙන්න යයි ඉල්ලා සිටිනවා.

සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජී. එල්. ඩබ්ලිව්. සමරසිංහ මහතා -දශක තුනක යුද්ධය අවසන්් වී අලුත් ගමනක් යන මේ මොහොතේ ඊට අවශ්‍ය දරු පරපුරක් බිහිවීම ගැන අප සතුටට පත්වෙනවා.

1956 වසරේ මෙරට විශාල වශයෙන් වෙනසක් සිදුවුණා. එදා සරත් චන්ද්‍රයන් මනමේ නාට්‍යයන් ඇති කරමින් සමාජයට, දරු පරපුරට හරවත් දේ ලබාදුන්නා.

56 දී ඉදිවුණා වගේ නාට්‍ය 2009 දීත් නිර්මාණය කර ජාතික ප්‍රබෝදය උද්දීපනය කළ යුතු යැයි මා විශ්වාස කරනවා.

නාගරික වශයෙන් කේන්ද්‍ර කොටගෙන තිබූ නාට්‍ය මේ වනවිට ගමට ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගමෙන් අලුත් දේ බිහිවෙමින් තිබෙනවා.

සංස්කෘතික අමාත්‍යාංශය ගමින් ගමට ගොස් සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කරමින් සංස්කෘතියේ ඇති වැදගත්කම කියාදීමේ වැඩ සටහන් රැසක් සිදුකරමින් සිටිනවා.

අප ආරම්භ කර ඇති ආර්ථික, සමාජයීය, සංස්කෘතික සංවර්ධනය හරහා තව වසර කිහිපයක්් යනවිට ඉන්දියාව, චීනය, සිංගප්පූරුව ඉක්මවා සංවර්ධනයක් ලබා ගැනීමේ වාසනාව අප රට සතුව තියෙනවා.

ඒ ගමන සාර්ථක කර ගැනීමට අද දින ටවර් නාට්‍ය හා රංග කලා පාසලෙන් ඩිප්ලෝමා සහතික පත් ලබා ගත් දරු දැරියන් සිය සහයෝගය ලබා දෙන්න යයි හෙතෙම කීවේය.

ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික - මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා

ටවර් නාට්‍ය හා රංග කලා පාසලෙන් බිහිවූ දරුවන්් හුදු සහතිකයකට පමණක් සීමා වී නැහැ. ඔවුන් දැනුමෙන් හා කුසලතාවයෙන් පිරිපුන් පිරිසක් යයි මා ඔබ සැමට ප්‍රකාශ කරනවා.

පෝස්ටර්වලට මුලාවී කිසිදු ප්‍රමිතියක් නැති තැන්වලට හසුවෙමින් අපේ කලාව විනාශ වෙමින් යනවා. එහෙත් අප බලාපොරොත්තු වෙනවා අද මේ පාසලෙන් එළියට යන දරුවන් හරවත්, ගුණවත් දේ සමාජයට ලබාදේවි කියලා.

21 වැනි සියවසට ගැලපෙන නාට්‍ය නිර්මාණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, රඟපෑම කළ හැකි පිරිසකගේ් දැඩි අවශ්‍යතාව පැනනැඟී තියෙනවා.

විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීම අද එතරම් අපහසු කාර්යක් නොවෙයි. එවැනි සිල්ලර හුදු දේ ඔබගෙන් අප බලාපොරොත්තු වෙන්නේ් නැහැ.

නාට්‍ය කලාව විශ්ව කලාවක්. නාට්‍යයක් නිර්මාණය කරද්දී බොහෝ දේ ගැන සිතිය යුතුයි. එය ආවට ගියාට කළ නොහැකියි. එසේ නොමැතිව හිතුමතේට වැඩ කලහොත් ජන සමාජය ම විනාශ විය හැකියි.

2012 දී පැවැත්වෙන ඔලිම්පික්් උළෙල සඳහා නාට්‍ය කලාව ක්‍රීඩාවක් ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

අපේ දරු දැරියනුත් නාට්‍ය කලාව හරහා ඔලිම්පික්් පදක්කම් මෙරටට ගෙන ඒමට සිතාගත යුතුයි.

එසේ කළහොත් ටවර් හෝල් පදනම බලාපොරොත්තු වූ කාර්ය සාර්ථක වුණා යයි සතුටු විය හැකි යයිද හෙතෙම කීවේය.

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා -1978 අංක 01 දරන ටවර් හෝල් රඟහල පදනම පනත මඟින් ටවර් හෝල් රඟහල පදනම ස්ථාපිත කොට, වසර 30 ක් ද, ටවර් රඟහල විවෘත කොට පුරා වසර 98 ක්් ද පිරී තිබෙනවා.

ටවර් නාට්‍ය හා රංග පාසල විද්වත් කළමනාකරණ මණ්ඩලයක උපදේශකත්වයක් හා සුවිශේෂී ආචාර්ය මණ්ඩලයක්් මඟින් මෙහෙය වීම නිසා දැනුමෙන් පිරිපුන්්, කුසලතා හා දක්ෂතා සපිරි දරු පිරිසක් දැයට බිහිකර ගැනීමට අපට හැකි වී තියෙනවා.

නාට්‍ය කරණය හදාරන දරුවන් මේ පාසලෙන් එළියට එන විට ඔවුන් වේදිකා නාට්‍ය රැසක සිය දක්ෂතා පෙන්වා තමයි සමාජයට ගොඩබසින්නේ.

මේ පදනම යටතේ අනාගතයේ වෘත්තියක් ලෙස නාට්‍ය කරණයේ යෙදෙන කණ්ඩායමක් ලෙස ඔවුන් ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වර්ධනය කරගත හැකි නාට්‍ය සමාගමක් බිහිකිරීම පිළිබඳව අධ්‍යයනයේ නිරත වී සිටින බවද කීවේය.

මෙහිදී සිසු දරු දැරියන් 22 දෙදෙනකු ටවර් නාට්‍ය හා රංග කලා පාසලෙන් ඩිප්ලෝමා සහතික ලබා ගත්හ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය පී. දයාලතා ලේකම්ගේ, ද්විතික හා තෘතික අධ්‍යාපන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය ශිරොනිකා කරුණානායක යන මහත්මීන් මහාචාර්ය, ආචාර්යවරුන්, සිසු දරු දැරියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා