සින්දු සහ රාජු පෙත්සම් නිෂ්ප්‍රභයි

සින්දු සහ රාජු පෙත්සම් නිෂ්ප්‍රභයි

පින්නවල අලි සංරක්ෂණගාරයෙහි සිටි සිංදු සහ රාජු නමැති ඇත් පැටව් දෙදෙනා මහනුවර දළදා මාලිගාවට ගෙන යාමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) නිෂ්ප්‍රභ කෙළේ ය.

එම ඇත් පැටවුන් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි ප්‍රගතියක් ඇති බැවින් එම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව

පෙත්සම්කාර සත්ත්ව මිත්‍ර පදනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවානා රාජපක්ෂ මහත්මිය අධිකරණයට දන්වා සිටියාය. ඒ අනුව පෙත්සම ඉවත් කරන ලදී. අගවිනිසුරු අශෝක ද සිල්වා , සලීම් මර්සුප් , ජගත් බාලපටබැඳී යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මේ පෙත්සම කැඳවන ලදී.

ජනාධිපතිතුමා විසින් එම ඇත් පැටවුන් දෙදෙනා දැනටමත් දළදා මාලිගාවට පූජා කර ඇති බැවින් ඒ සම්බන්ධ නියෝග නිකුත් කළ නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර සඳහන් කෙළේ ය.

එම ඇත් පැටවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යහ පැවැත්ම සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානායක හිමිවරු පියවර ගනු ඇතැයි ද එහිදී සඳහන් කැරිණි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා