කෝටි තුන හමාරක හොර සිගරැට් රේගු දැලේ

කෝටි තුන හමාරක හොර සිගරැට් රේගු දැලේ

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ බළකාය මගින් රුපියල් තුන්කෝටි පනස් නව ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ නිසා රජයට අහිමි වූ බදු ආදායම රුපියල් දසකෝටි අසූඑක් ලක්ෂයකට ආසන්න බව ගණන් බලා තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝල්ඩ් සීල් වර්ගයේ සිගරැට් කාටුන් 23960 කි.

මාස තුනක් වැනි කාලයක දී මැදපෙරදිග සේවය කර ආපසු පැමිණෙන මගීන්ගේ නම් හා ලිපිනයන් ව්‍යාජ ලෙස භාවිතා කරමින් ගමන් බඩු ලෙස ඩුබායි සිට මේ දුම්වැටි තොගය මෙරටට ගෙන්වා ඇති බව රේගුව ප්‍රකාශ කරයි. මේ දුම්වැටි තොගය විනාශ කිරීමට නියමිතය.

මේ දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ සහකාර රේගු අධ්‍යක්ෂ ජයන්ත පොන්නම්පෙරුම මහතාගේ උපදෙස් පරිදි රේගු අධිකාරිවරුන් වන ආර්. එම්. හේවාගම, එල්. එන්. ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන එස්. එස්. චන්ද්‍රසිරි, පී. එන්. මානවඩු, එන්. පල්ලියගුරු, කේ. ඒ. ඒ. පී. කහඳව, එස්. පී. ආර්. සෙනෙවිරත්න, එම්. පී. පී. විජේතුංග, ජයලාල් ප්‍රනාන්දු, දමිත් අමරසිංහ, එස්. අතුකෝරළ යන මහත්වරුන් විසින් වැටලීම සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබ ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා