මාතෘ භූමියේ නිදහසට විධායක ජනාධිපති ක්‍රමය බෙහෙවින් ඉවහල් වුණා

මාතෘ භූමියේ නිදහසට
විධායක ජනාධිපති ක්‍රමය බෙහෙවින් ඉවහල් වුණා

විධායක බලය හසුරුවනු ලබන්නේ ජනාධිපතිවරයකු විසින් නම් එම ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය. විධායක බලය ක්‍රියාවට නංවනු ලබන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් නම් එම ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය.

1978 ව්‍යවස්ථාවේ මූලික පර්මාර්ථය වූයේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කිරීමය. එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා 1948 සිට 1977 දක්වා පැවැති අගමැති විධායකය වෙනුවට ශ්‍රී ලංකාවට ආවේණික වූ විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමට පියවර ගත්තේය. එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා ජනතාවගෙන් විශේෂ වරමක් ද ඉල්ලා සිටි බව දක්නට ලැබුණි.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එකල රාජ්‍ය ඇමැතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් 1966 දී විද්‍යාභීවර්ධන සංගමය ඉදිරියේ කළ ඓතිහාසික ප්‍රකාශය වැදගත් වන්නේය.

ව්‍යවස්ථාදායකයේ රුචි අරුචිකම් මත රඳා නොපවතින පූර්ණ බලධාරි ජනාධිපතිවරයකු නිර්මාණය කිරීම එම කථාවේ හරය නම් වේ. ජනාධිපතිවරයා උසුලන තත්ත්වය 30 (ධ්) වගන්තියේ මෙලෙස දක්වා ඇත.

“ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය’ යනුවෙනි.

අද විධායක ජනාධිපති ක්‍රමය ගැන මෙරට ජනතාව අතර පුළුල් සංවාදයකට ලක්වී ඇත. දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වී ඇත. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී සිටී. විපක්‍ෂ අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටී. ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. විධායක ජනාධිපති ක්‍රමය බිල්ලකු නොවේ. මේ විධාක ජනාධිපති ක්‍රමයට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වන කරුණු රාශියකි.

විධායක ජනාධිපති ක්‍රමය මගින් රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති වේ යැයි මෙම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අදහස විය. පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට අනුව රටේ සංවර්ධනයට ඇති කාලය ඉතා සීමිත වේ. පාර්ලිමේන්තුවේ කාලය වසර පහකි. මහා මැතිවරණයෙන් පසු පත්වන නව රජය පළමුවන අවුරුද්ද ලැබූ ජයග්‍රහණය භුක්ති විඳීමටත් කටයුතු සූදානම්වීමටත් යොදා ගන්නවා.

මහා මැතිවරණයට පෙර අවසාන අවුරුදු දෙක ගත කරන්නේ ඉදිරියේ එළඹෙන මහ මැතිවරණය ජය ගන්නේ කෙසේදැයි තීරණය කර ගැනීම වෙනුවෙන්ය. නව යෝජනා ක්‍රම අරඹා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කළ හැකි කාලය අවුරුදු දෙකක් ඉක්ම වන්නේ යාන්තමට ය.

මේ කාලය ප්‍රමාණවත් නො වන බැවින් විධායක ජනාධිපති ක්‍රමය මගින් පාර්ලිමේන්තුවේ කාලය වසර හයකින් ද ජනාධිපතිවරයාගේ කාලය වසර හයකින් ද දීර්ඝ කරන ලදී. ව්‍යවස්ථාදායකය මත රඳා නොපවතින ජනාධිපතිවරයකු නිර්මානය කිරීම ද ඊළඟ පියවර විය.

ආණ්ඩු ස්ථාවරත්වය ජනාධිපති ආණ්ඩු ක්‍රමයට පක්ෂව ඉදිරිපත් කළ හැකි කරුණකි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය මෙන් ව්‍යවස්ථාදායකයේ රුචි අරුචිකම් මත රදා නොපවතින විධායකයක් දක්නට ලැබීම මෙහි යහපත් ලක්ෂණයකි. සංවර්ධනය වන රටක විධායකය හුදෙක් මන්ත්‍රී මණ්ඩලයේ රුචි අරුචිකම් මත නොව ස්ථාවරව රඳා පැවැතිය යුතුය.

ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී තීරණ ගැනීමේ බලය තනි පුද්ගලයකු අත ඒකරාශි වී ඇත. එම නිසා ක්ෂණිකව තීරණ ගත හැකිය. ජනවාර්ගික අර්බුදය විසඳීමේ පියවරක් ලෙස ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට හැකිවූයේ විධායක ජනාධිපති ක්‍රමය නිසාය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අහස කඩා වැටුනත් එය කරන බව ප්‍රකාශ කොට ඉන්දියාවේ රජිව් ගාන්ධි අගමැතිවරයා සමඟ එම ගිවිසුමට අස්සන් කරන ලදී. අගමැති විධායකයක් පැවතුනේ නම් කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ජනතාව විරුද්ධව නැඟීසිටින විට එවැන්නක් කළ නොහැකි වන්නේය. විධායක ජනාධිපති ක්‍රමය නිසා වසර තිහක් පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට හැකිවිය. මෙවැනි අර්බුදවලට වඩාත් ශක්තිමත් ලෙස මුහුණදීමේ හැකියාව ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට ඇත.

ඉක්මනින් සහ පහසුවෙන් තීරණ ගැනීමටත් ක්‍රියාත්මක කිරීමටත් හැකිවීමය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වේ.

2005 ජනාධිපතිවරණයේ දී මේ රට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ රටේ සාමය ඇති කරන ලෙස ය. ඔහු එය ඉටු කළේය. මෙයට පෙර ජනාධිපතිවරු හතර දෙනෙක් රට පාලනය කළහ. නමුත් ඔවුන්ට රටේ සාමය ඇති කළ නො හැකි විය. එමගින් ප්‍රදර්ශනය වූයේ ඔවුන්ගේ් දේශපාලන පෞරුෂත්වයේ බෙලහීනතාවයයි.

ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට බටහිර බලවේග සහ දේශීය බලවේග ක්‍රියාකරද්දී වේළුපිල්ලේ ප්‍රභාකරන් විනාශ කිරීමට හැකිවූයේ මහින්ද රාජපක්ෂගේ වසර හතලිහක දේශපාලන අත්දැකීම් සම්භාරය නිසාය. සේනාධිනායකයා ලෙස ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පාලනය කිරීම ඔහුගේ වගකීම වේ. ඒ අනුව හමුදාවේ පිරිස් බලය වැඩි කළ අතර නවීන අවි ආයුධ ලබාදෙමින් අවශ්‍ය සියලු පහසුකම් ඇති කරන ලදී. විශ්‍රාම යාමට ළංව සිටි සරත් ෆොන්සේකා හමුදාපති ලෙස උසස් කරන ලදී.

ජාතික ආරක්ෂාව මෙන්ම නීතිය හා සාමය පවත්වාගෙන යාම විධායකය සතු ප්‍රධානතම වගකීම වේ. හමුදා ප්‍රධානීන් පත්කිරීම, ඉවත් කිරීම, විනයානුකූල පාලනය නියෝග හා ආඥා නිකුත් කිරීම සේනාධිනායකයාගේ බලයට අයත් වේ. මෙයාකාරයෙන් සේනාධිනායකයා වශයෙන් හමුදාවට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය ලබා දුන් රාජ්‍ය නායකයෙක් තවත් නැත. මුළු ලෝකයම විශ්මයට පත් කරමින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත හමුදාව කම්බස් කරන ලදී.

ඔහුගේ පෞඪ දේශපාලන නායකත්වය මෙයට ප්‍රධාන සාධකය විය. ඔහුගේ් දේශීයත්වය, නායකත්ව විලාශය නිසාම සියලු හමුදාවෝ අණට කීකරු වූහ. හමුදාවෝ මුලතිව් වෙත ගමන් කරනවිට දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවෝ එය ව්‍යවර්ථ කිරීම සඳහා කටයුතු කළහ. විදේශීය මහා බලවතුන්ගේ විරෝධය එල්ල වන්නට විය.

නමුත් ජනාධිපතිවරයා ඉන්ද්‍රඛීලයක් සේ නැඟී සිටිමින් සියලු අභියෝග හමුවේ ජය ගත්හ. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ සිදුවූ වඩමාරච්චි සටනේදී ප්‍රභාකරන් අල්ලා ගැනීමට හොඳටම ඉඩ හැකියාව තිබුණත් එය කළ නොහැකි වූයේ ඉන්දියාව විරුද්ධ වූ නිසාය. ඉන්දියානු විරෝධී විදේශ ප්‍රතිපත්තියක් එකල අනුගමනය කරන ලදී. ඒ නිසා විදේශ ප්‍රතිපත්තියෙන් බලාපොරොත්තු වන ජාතික හා ජාත්‍යන්තර අභිලාෂයන් ඉටුනොවේ. කුඩා රාජ්‍යයන් අසල්වැසි රාජ්‍යයන් සමඟ මිතුරු වී සිටිය යුතුය.

එදා මාතෘභූමිය නිදහස් කර ගැනීමේ ක්‍රියාන්විතය අවතක්සේරු කළ, කිසිදාක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැති කළ නොහැකි යැයි වහසි බස් දෙඩූ අය අද පෙළ ගැසෙමින් සිටින්නේ නැවතත් රට බෙදුම්වාදය කරා ගෙන යාමටය. රට ආපස්සට ගෙන යාමටය. එජාපයෙන් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කර තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට, යහ පාලනය ඇති කිරීම යන අරමුණු ඉටුකර ගැනීම සඳහාය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම එතරම් පහසු කරුණක් නොවේ. විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමේදී ලංකා පාර්ලිමේන්තුවේ එවැනි යෝජනාවක් 2/3 බලයෙන් සම්මත විය යුතුය. එවැනි තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි වූ විට පළමුවැනි පියවර අසාර්ථක වේ. එසේ 2/3 බලය ලැබුණහොත් ජනමත විචාරණයේ ද අවශ්‍ය අනුමැතිය ලබාගත යුතුය. මෙය පහසුවෙන් කළ නොහැකි වේ. එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ යුගයේ යහ පාලනයක් මෙරට නොතිබුණු බව ජනතාවෝ දනිති.

ජනාධිපතිවරණයේ වැඩි වාසිය තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බව අනාවරණය වේ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත්, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන කවර හෝ නායකයකු ජනාධිපතිවරණයේදී අන්ත පරාජයට පත්වන බව ඉතා හොඳින් දන්නා නිසා විපක්‍ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට ඇත. මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන අත්දැකීම් සම්භාරයක් හිමිකරගත් පරිණත දේශපාලනඥයකු ලෙස හඳුනාගත හැකිය.

මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු සහ අගමැතිවරයකු ලෙසින් ලබාගත් දේශපාලන අත්දැකීම් සම්භාරය ඔහුගේ ජයග්‍රහණය තහවුරු කරනු ලබන සාධක වේ. ෆොන්සේකා මහතාට මෙවැනි අත්දැකීමක් නොමැත. දේශපාලනය කුමන ස්වරූපයෙන් ක්‍රියාත්මක වූවත් ඒ වූ කලී බලය සඳහා කෙරෙන අරගලයක් වේ. ජනාධිපතිධූරය සඳහා අගමැති ධූරයේ කටයුතු කිරීම සුදුසුකමක් ලෙස සමහරු විශ්වාස කරති. ප්‍රතිවාදී අපේක්ෂකයා අණදෙනු ලැබූ හමුදා නිලධාරියෙකි.

එසේ වූයේ වී නමුත් ප්‍රංශයේ ඩිගෝල් සෙනෙවියා එරට ජනාධිපති වූ අතර අමෙරිකාවේ අයිසන් හවර් හමුදා නිලධාරියා එරට ජනාධිපති වූ බැවින් ලංකාවේ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තෝරා ගැනීම වරදක් නැතැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් ප්‍රංශයේ හෝ අමෙරිකාවේ දේශපාලන සංස්කෘතිය සහ සම්ප්‍රදායන් සමඟ බලනවිට අපගේ දේශපාලන සංස්කෘතියේ සහ සම්ප්‍රදායන් අතර සමානත්වයක් දැකිය නොහැකි බව අවධාරණය කරන්නෙමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා