කුසහොත් දරුවන් පවා නිදහසේ සුව විඳිනවා

කුසහොත් දරුවන් පවා නිදහසේ සුව විඳිනවා

ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ

බිම් කඩක් බිම් කඩක් පාසා උතුරු නැඟෙනහිර ප්‍රදේශය කුරිරු ත්‍රස්ත ග්‍රහණයට නතුව පැවතුණා. එම ප්‍රදේශය ඉක්මවා යමින් දකුණු ප්‍රදේශයට යුද බිය පැතිර ගිය අවධියක කලාකරුවන් එක්රොක් වුණේ සැබෑ ජාතික හැඟීමෙන්. 2005 මැතිවරණය මෙරට සියලු ජනතාවට අභියෝගාත්මක මැතිවරණයක්. මෙරට ත්‍රස්ත භීෂණය දුරු කළ හැකි නායකයෙක් තෝරා ගැනීමේ අභියෝගය ජනතාවට ප්‍රබලව දැනුණා.

චරිතය හා ක්‍රියාකලාපය අනුව ජනපති වරණ අපේක්ෂකයන් අතරින් එවක විශ්වාසය තැබිය හැකි එකම කෙනා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. අපි ඔහු වටා පෙළ ගැහිලා ඉල්ලුවෙ සංවර්ධනයවත්, පෞද්ගලික අපේක්ෂාවන්වත් නොවෙයි. අපි ඉල්ලපු එකම දේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් නිදහස් රටක්.

අපේ එකමුතුවට විවිධ තර්ජන ගර්ජන පැමිණුනත් නිදහස පතා මහින්ද රාජපක්ෂයන් වටා අපි පෙළ ගැහුණා. එහි ඵල ප්‍රයෝජන අද භුක්ති විඳිනවා. කලාකරුවන් වශයෙන් අප පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව අද නිදහසේ හුස්ම ගන්නවා. උපදින්න ඉන්න දරුවන් පවා ඒ සාමය උරා ගන්නවා. එය සැබෑවක්. සදා නොමියෙන සැබෑවක්.

පොළොන්නරුව වැනි දුෂ්කර ප්‍රදේශයකින් බිහිවූ කලාකරුවකු වශයෙන් මම යුදබිය අත්වින්දා. ආරක්ෂක සෙබලුන් රෑ දවල්හිදී පොළොන්නරුව රෝහල්වලට රැගෙන විත් තියෙනවා. ඔවුන් දෑස් ඉදිරිපිට මියයනවා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, බොරවැව, පන්සල් ගොඩැල්ල වැනි කුරිරු ඝාතන සිදුවූ අවස්ථාවල ඒවා වේදනාකාරී හැඟීම් මා විඳ තිබෙනවා.

කෙනෙකුට මෙහෙම ප්‍රශ්න කරන්න හැකියාව තිබෙනවා. 2010 දීත් ඇයි එකම කෙනා තෝරා ගන්නෙ කියල. අන්න එතැනදි අපිට හොඳ පිළිතුරක් තියෙනවා. සංවර්ධනය, සදාචාරය, සංස්කෘතියෙන් හෙබි අපේ රටක් අපේ දැයක් අනාගත දරු පරපුරට උරුම කරදිය හැකි එකම නායකයා ඔහු වීම ඊට හේතුවයි. මෙය කළගුණ සැලකීමක් හෝ් අනුකම්පාව හෝ වෙන්නෙ නෑ. රට ගැන හිතන රටේ සුබ අනගාතයක් ප්‍රාර්ථනා කරන එකම නායකයා ජනාධිපති රාජපක්ෂ බව අපිට පැහැදිලියි.

එතුමාට විපක්ෂය සමඟ කිසිම අරගලයක් නෑ. අරගලය ඇත්තේ විපක්ෂයෙ පොදු කණ්ඩායමක් මෙම අවස්ථාවේ මහජනයා වැරදි මාවතකට යොමු කරන්න උත්සාහ කිරීම තුළයි. එහෙත් ජනතාව බුද්ධිමත්. ඔවුන් මේ දූෂණය, භීෂණය ගැන කියන කතා කොළඹ ප්‍රදේශවලට පමණක් සීමා වුණ දේවල්. එතැනින් එහාට ගම්මාන තුළින් නැගෙන්නෙ එකම හඬක්.

රණවිරුවන් වශයෙන් රටට දායාද කළ පුතුන් බොහොමයක් හමුවන්නේ ගම්මාන තුළින්. ලේ කඳුළු වැගිරුනේ බොහොමයක් ගැමියන්ගෙන්. ඒනිසා නිදහසේ නැවුම් සුවය අදත් ඔවුන් අත්විඳිනවා. රාජ වංශකතාවේ නිමාවත් සමඟ අපට බිහි වූ එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ගම්මුන් අදහනවා. ගැමි වපසරියකින් බිහි වූ කලාකරුවෙක් හැටියට මමත් එය අදහනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා