යහපත් දරුවකු බිහිකරන මූලික පාසල පවුලයි

යහපත් දරුවකු බිහිකරන මූලික පාසල පවුලයි

ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සි නාහිමි

සමාජයේ කුඩාම ඒකකය පවුලයි. එහෙත් සමාජයේ වැඩිම වගකීම හිමිවන්නේ ද පවුලට යි. මක්නිසාද පවුල තුළින් බිහිවන රුවන්ගෙන් මුළු සමාජයම නිර්මාණය වී තිබෙන බැවිනි. පවුල යහපත් වීමෙන් මුළු සමාජයම යහපත් කර ගත හැකි බැවින් ඒ මගපෙන්වීමටයි මෙවර ධර්මසභාව වෙන්වන්නේ. යහපත් පවුලක් තුළින් යහපත් පුරවැසියකු බිහිකර ගැනීම සඳහා බෞද්ධ උපදෙස් දීමට මෙවර ධර්ම සභාවට වැඩම කරන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හාමුදුරුවෝ යි.

හාමුදුරුවනේ, ලෝකෝත්තර දහමක් ලෙස බුදුදහම හැදින්වූවත් බුදුරජාණන්වහන්සේ ලෞකිකත්වයට යොමු වූ පවුල් ජීවිත ගැනත් ඒවා යහපත් කරගන්නා ආකාරයත් දේශනා කරල තියෙනවා නේද

බුදුවරයෙක්ගේ පහළ වීමෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධය ලබාදීමයි’ වෙන කිසිදු ශාස්තෲවරයෙකුගේ ඉගැන්වීමක මේ බව සඳහන් වෙන්නේ නෑ. ඒ නිසා ඇතැම් අය සිතනවා බුදු දහම කියන්නේ දුක පදනම් කරගත්ත, සැපගැන සඳහන් නොවන දහමක් කියලා.

මේ චෝදනා කරන අය අල්ලන් ඉන්නෙ ලෝකෝත්තර තත්ත්වය විතර යි. ඒත් ලෞකික ජීවිත යහපත් කරගන්නත් බුදුන්වහන්සේ කදිම උපදෙස් රැසක් ලබාදීලා තියෙනවා. බුදුදහමේ ප්‍රධාන වශයෙන් සැප තුනක් ගැන සඳහන් වෙනවා. ඒ දිට්ඨධම්ම සුඛ (මෙලොව සැප) , සම්පණයික සුඛ (පරලොව සැප) පරමත්ථ සුඛ (නිවන්සැප) කියන ඒවායි.

අපි අවබෝධ කරගන්න ඕනෑ උසස්ම සැපත මොකක්ද කියලා. ධර්මය කියන්නේ ඖෂධයක්, සමහර ඖෂධ ගත්තාම තිබුණ ලෙඩේ හොඳ වුණත් අතුරු ආබාධ ඇතිවෙනවා. ඒ වගේ තමයි සමහර ධර්මයන් පිළිපැදීමෙන් මේ ලෝකෙ දි හොඳට කාලබීල ඉන්න ලැබුණත් පරලෝකෙ දි අප්‍රමාණ දුක් වලට පත්වෙන්න සිදුවෙනවා. බුද්ධ දේශනාවේ වැදගත්කම වෙන්නේ එය දෙලොවටම යහපත් වන ධර්මයක් නිසයි.

පවුල සමාජයේ කුඩාම ඒකකයයි. එය දෙදරා යාම මුළු සමාජයටම බලපෑමක් ඇතිකරනවා. ඒ නිසා සමාජයේ යහපැවැත්මට පවුලේ විශාල කාර්යභාරයක් තියනවා නේද?

සමාජයේ අද බැලුවාම අඹුසැමියන් වශයෙන් ඇතිකරගන්නා සබඳතාව ඉතාමත් සරල, සැහැල්ලු දෙයක් කියලයි බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ. ඈත කාලයේ බැලුවොත් තරුණ පිරිමි ළමයෙක්ට සරිලන උගත්කම්, ගුණවත්කම්, හැසිරීම්, පමණක් නොවෙයි කඩවසම්, ගති තියන සෑම දෙයක්ම සලකලා බලල මවුපියන්ගේ කැමැත්ත අනුවයි විවාහය සිදු වුණේ.

ඒ අය එහෙම එකතුවීමෙන් බලාපොරොත්තු වුණේ තමන්ගේ පරපුර තවත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට සුදුසු දරු පරපුරක් බිහිකිරීම යි. කාලිදාස මහාකවියා පවා එය ප්‍රකාශ කරල තියනවා. “පූජාතෙය ගෘහ මේ දිනිං” ඒ කියන්නේ යුග දිවියට යන්නේ දරු පරපුරක් බිහිකරන්නට යි කියන දෙයයි. අද විවාහවන බොහෝ දෙනෙක් තුළ එවැනි ප්‍රාර්ථනයක් තියන බවක් දකින්න නෑ. අද ඇතැම් නාගරික දුවල පුතාල බොහෝ දුරට දුටු පමණින්ම එක්වෙන්නයි කල්පනා කරන්නේ.

ඒ ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය කාමුක ආස්වාදය වන නිසයි. මෙහෙම යුගදිවිය ආරම්භ කරන අය ටික කලක් ගතවෙද්දී බිහිවන දරුවන්ට පවා ආදරය නොකරන තත්ත්වයට පත්වෙනවා. අද බැලුවම ළමා අනාථ නිවාස බොහෝ වැඩිවෙලා තියනවා. මෙහෙම වෙන්නෙ අර කියන හේතුව නිසයි. මේක ඉතාමත් ඛේදජනක තත්ත්වයක්.

වර්තමානය වනවිට ඇතැම් පවුල් දෙදරාගොස් පවුලේ සාමාජිකයන්ට නීතියේ පිළිසරණ පැතීමට පවා සිදුවෙලා තියනවා. හාමුදුරුවනේ සමාජය මේ තත්තවයට පත් වුණේ ඇයි?

තාවකාලික කාමාස්වාදයට පමණක් මුල්තැන දී යුගදිවිය ආරම්භ කරන අයගෙන් වැඩිදෙනා කෙටි කාලයක් ඇතුළත පවුලේ ආරවුල් ඇතිකරගන්නවා. සියදිවි නසාගන්නවා. ඔවුන් නිසා බිහි වූ දරුවන්ගේ ජීවිත මුළුමනින්ම දුක්බර වෙනවා. මොකද මේඅය පවුල් බර තමන්ට දරන්න පුළුවන්ද කියල නිවැරදි නිගමනයකින් තොරවයි විවාහ වෙන්නෙ.

සමහර විට මවුපියන්ගේ ආශිර්වාදය ලැබෙන්නෙත් නැහැ. තමන් උපයන ධනයට සරිලන විදියට වියදම් කරන්න තේරුමකුත් නෑ. ඒ අතර සමහරු අනාචාරයේ හැසිරෙනවා. ඉතිං පවුල් ජීවිත දෙදරා යනවා. ඔවුන් යුගදිවියෙන් බලාපොරොත්තු වූ ප්‍රීතිය ඉක්මනින්ම අතුරුදහන් වෙනවා.

ඇතැම් මවුපියන් විදේශගත වෙනවා; ආර්ථික දුෂ්කරතා නිසාම. ඇතැම් අයගේ රැකියා නිසා තමන්ගේ දරුවාව බලා හදාගන්නවත් කාලයක් බොහෝ අයට නැතිවෙලා තියෙනවා. අද ගොඩක් ළමයි හැදෙන්නේ අම්මල තාත්තල ළඟ නෙවෙයි. කිරිඅම්මල කිරිඅත්තල ළඟ. සමහර ළමයි සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවාට වයස අවුරුදු 6 – 7 වනවිට මොළයේ සියලු ශෛල වැඩී අවසන් වන බව වෛද්‍ය විද්‍යාව පිළිගන්නවා. මේ කාලෙ වෙද්දි මවුපියො දරුවො ළඟ නෑ.

පැරණි සමාජයේ දරුවකු බිහිකරන්න බලාපොරොත්තු වන මවුපියන් ඒ ගැන විශේෂ අවධානයකින් ගුණධර්ම පුරමින් යහපත් ජීවිත ගතකළා. ඒ තුළින් කුසේ සිටින දරුවා යහපත් දරුවකු වෙන බව ඔවුන් දැනගෙන හිටියා. අද වෛද්‍ය විද්‍යාවත් මේ බෞද්ධ මතය පිළිගන්නවා. ඒත් අද තරුණ මවුපියො මේ අදහස් ඒතරම් පිළිගන්න බවක් නම් දකින්න ලැබෙන් නෑ.

අතීතයේ තරම් පවුල තුළ සාමාජික සංඛ්‍යාව විශාල නොවුණත් අද එදාට වඩා පවුල තුළ ගැටලු ඇතිවන්නට සමාජයේ විවිධ වූ සාධකත් බලපාලා තියනවා නේද?

ඔව්. ඇත්තටම අද අසහනකාරී සමාජයක් ගොනැගිල තියන නිසයි පවුල් ජීවිත පවා විශාල වශයෙන් අවුල් වෙලා තියෙන්නේ. එක පැත්තකින් නිදහස් ආර්ථිකය නිසා ධනයම සොයා මුදල පසුගිපස පියඹායන්න බොහෝ දෙනා උත්සාහ කරනවා.

තව පැත්තකින් එදා උගතුන් අගය කළ චාම් ජීවන ක්‍රමය අද නැති වෙලා. කෑම බීම ඇඳුම් පැළඳුම් දෙස බැලුවත් වෙනත් පාරිභෝගික දේ ගැන බැලුවත් මිනිසුන් ඒවා සොයායාමේ තද ආශාවකින් පෙළෙන නිසා අතෘප්තිකර සමාජයක් තමයි ගොඩනැගිල තියෙන්නේ.

බුදුවරයෙක් පහළවීමට පස්මහ බැලුම් බැලීමේදී මව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දක්වනවා. මව පවුල සංකේතවත් කරනවා. හාමුදුරුවනේ යහපත් දරුවකු සමාජයට දායාද කරන්නට ‘පවුල’ කෙසේ වෙනස් විය යුතුද?

මෙතනදි මවුපියන්ට විශේෂ කාර්යභාරයක් තියනවා. මවුපියන් කියන්නේ පුබ්බාචරිය, එහෙම නැත්නම් මුල් ගුරුවරු, දරුවන් හැමදේම වගේ ඉගෙනගන්නේ අනුකරණයෙන්. ඔවුන් අනුකරණය කරන්නේ තමන්ගේ මවුපියන්වයි. ඒ නිසා මවුපියන් නිතර හොඳදේ කළ යුතුයි. දරුවන්ට උපදෙස් විතරක් ලබා දීල මදි. දැන් විද්‍යාව පවා තහවුරු කරල තියනවා මව්කුස ඉන්න දරුවාට මවුපියන් ගේ විවිධ ක්‍රියාකාරකම් වල බලපෑමක් ලැබෙන බව.

ඒ නිසා මවුපියන් හොඳ ගුණ ගරුක ජීවිත ගත කළොත් තමයි දරුවන් යහපත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. හොඳ ආහාරපාන දරුවන්ට ලබාදිය යුතුයි. නැත්නම් නීරෝගී දරුවෙක් බිහිවෙන් නෑ. හොඳ ආහාර කියන්නේ එක්දාස් නවසිය ගණන්වල මරල ශීතකරණයේ දාල තියන සත්තුන්ගේ මස් වගේ දේවල් නෙවෙයි.

වට පිටාවෙ වගා කරන්න පුළුවන් පළතුරු එලවලු ධාන්‍ය වර්ගවලට දරුවා හුරු කරන්න ඕනෑ. විෂ රසායන ඉහපු එළවලු පළතුරු වලින් අතුරු ආබාධ ඇතිවෙනවා. ඒ නිසා තමන්ම හොඳ ගෙවත්තක් දාගෙන එයින් තමන්ට අවශ්‍ය ආහාර වවාගන්න බොහෝ දෙනාට හැකියාව තියනවා.

ඒ වගේම තමයි දරුවා හොඳ සංකල්ප වලිනුත් පෝෂණය කරන්න අවශ්‍ය වෙනවා. ඉස්සර ගෙවල්වල තිබුණා පිං කැටයක්. මේකට සල්ලි දාල ඒවා විවිධ පින්කම් වලට පූජාකරනවා. පිං කැටේට සල්ලි දාන වාරයක් පාසා හිත මොනතරම් පිරිසුදු වෙනවාද? පඩි ගත්තම එකසැරේ පින්කමකට සල්ලි කීයක් හරි දෙනවට වඩා මේක මොනතරම් හොඳ දෙයක්ද ? ඒ වගේම තමයි අසරණයන්ට දන් දෙන්න එකතු කරන මිටිහාල් මුට්ටියත්.

ඉස්සර මිනිස්සු දොරකඩ තිබුණ පළතුරු ගහේ ගෙඩි ඔක්කොම කඩල කෑවෙවත් විකුණුවෙවත් නෑ. ඒ ගහේ අත්තක ගෙඩි කුරුල්ලන්ට වෙන් කළා. සමහර වතුවල පොල් ගස් වල “පිං” කියල ගහල ඒවා දුප්පත් අයට පරිභෝජනයට වෙන් කළා. මේවයෙන් දරුවන් තුළ මොනතරම් හොඳ සංකල්ප බිහි වෙනවා ද? දරුවා බදාගෙන කෑම වෙනුවට බෙදාගෙන කෑමට පුරුදු වෙනවා. අවට පරිසරයට ආදරය කරුණාව දක්වන්න පුරුදු වෙනවා. මේවා අද සමාජයේ කරන්න බැරි දේවල් නෙවෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා