සියවසකට මඟ කී සිවුවස

සියවසකට මඟ කී සිවුවස

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 නොවැම්බරයේදී භාරගත්තේ දෙකඩ වී යාමට ආසන්නව තිබූ රටකි. යම් හෙයකින් එම මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස්විණි නම්, ඒකීය රාජ්‍යයක් පිළිබඳ ජනතාව තුළ තිබූ ප්‍රාර්ථනය තවදුරටත් සිහිනයක්ම වීමට හොඳට ම ඉඩ තිබිණි.

එහෙත්, තම ඉදිරි පාලන සමය සඳහා මහජන අනුමැතියට ඉදිරිපත් කළ ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලාංකීය ඉතිහාසයේ විජයග්‍රාහී පරිච්ඡේදයක් සළකුණු කරන ගමන ඇරැඹුයේ දැක්මක් සහිත නායකයකු වශයෙනි.

එම වැඩපිළිවෙළෙහි ඉහළින් ම තිබුණේ දශක දෙක හමාරක් පමණ තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳින මවුබිමත්, ජනතාවත් නිදහස් කර ගනිමින් ත්‍රස්තවාදය මුළුමනින් පරාජය කිරීමයි.

එකී මහා අභියෝගයට මුහුණ දෙන අතර රට ගොඩනඟන සංවර්ධන ක්‍රියාවලිය පෙරට ගන්නේ කෙසේද යන්නත් මහින්ද චින්තනයේ පැහැදිලිව සටහන් වී තිබිණි. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් ඔස්සේ රට භෞතික වශයෙන් ගොඩනඟන අතර ගුණදහමින් පිරි සමාජයක් බිහිකරමින් අධ්‍යාත්මික සංවර්ධනය කරා යොමු කිරීමට ද අදාළ ක්‍රියාමාර්ග එහි ඇතුළත් විය.

එක් අතකින් ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුම් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අන්දමේ සංවිධානාත්මක සැළැසුම්වලින් යුතුව හා නිවැරැදි නායකත්වයකින් යුතුව ඉදිරියට ගන්නා අතර රට ගොඩනඟන ක්‍රියාවලිය ද පෙරට ගැනිණි. ගම නැඟුම – මඟ නැඟුම ආදී වැඩපිළිවෙළ ඔස්සේ අතීතයේ කොළඹ සහ නගර කේන්ද්‍රීයව පැවැති සංවර්ධනය ශීඝ්‍රයෙන් ගමට ගියේ යුද්ධය නිමාවනතුරු බලා නොසිටිමිනි. යුද්ධය රට ගොඩනඟන ක්‍රියාවලියට බලවත් බාධකයක්ව තිබුණ ද ඒ බාධකයට මුවාවී රටේ සංවර්ධනය කල් දැමීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂ පාලනයට නොවිණි.

ගමට යන දුෂ්කර මාර්ග කොන්ක්‍රිට් පාරවල් වූයේ ද, අධිවේගී මාර්ග වේගයෙන් ඉදිරියට ගියේ ද, පාලම්, ගුවන් පාලම් තැනුනේ ද නව බලාගාර හා බහුකාර්ය යෝජනා ක්‍රම ඉදිවුණේ ද හම්බන්තොට වරාය සිහිනය යථාර්ථයක් වෙමින් තිබීම ඇතුළුව මෙරට වරාය 5 ක සංවර්ධන කටයුතු ඇරැඹුණේ ද අංග සම්පූර්ණ හා නවීන පහසුකම්වලින් යුතුව රෝහල් ගොඩනැගුණේ ද, භෞතික හා ගුණාත්මක පහසුකම්වලින් යුතුව අධ්‍යාපනය ඉහළට ඔසොවා තැබුණේ ද බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමඟ සටන් කරන අතර ම ය.

මහින්ද චින්තනයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු අකුරට ම ඉටුකරන බව සනාථ කරමින් මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවර්ෂ පූර්ණය වනවිට රටේ නැඟෙනහිර ත්‍රස්තවාදී බලය මුළුමනින් බිඳ දැමීමට හැකිවිය. යුද ටැංකි ගමන් කළ මාවත් දිගේ බුල්ඩෝසර් නැඟෙනහිර දුෂ්කර ගම් බිම් කරා ඇදෙමින් තිබිණි.

‘නැෙඟනහිර නවෝදය’ වැඩපිළිවෙළ ඔස්සේ අලුත් හිරුරැස් නැෙඟනහිර ජනජීවිතය වෙත පතිත කර තිබේ. රටේ සංවර්ධනය වෙනුවෙන් නැෙඟනහිර ජනතාවගේ දායකත්වය විශාල වශයෙන් ලැබෙමින් පවතී. තම පාලනයේ සිවු වර්ෂ පූර්ණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සළකුණු කළේ ත්‍රස්තවාදයෙන් මුළුමනින් නිදහස් කර ගනිමින් දශක ගණනාවකට පසු එක්සේසත් කළ රටකයි.

ඔහු අකුරට පොරොන්දු ඉටුකළ නායකයෙකි. මහින්ද චින්තනයෙන් රට හමුවේ තැබූ වැඩපිළිවෙළ ඉතාමත් ශක්ති සම්පන්න ලෙස ඉදිරියට ගෙන යමින් එම පොරොන්දුවලින් 2/3 කටත් වඩා ඉටුකළ අවංක හා කියන දේ කරන නායකයකු ලෙස ඔහු යළිත් වේලාසනින්ම ජනතාව අතරට පැමිණ සිටී.

රට රැක ගැනීමේ මහා අභියෝගයක් ඇතුළුව ලොකු කුඩා බොහෝ අභියෝග ජයගත් නායකයකු ලෙස ඕනෑම මොහොතක ජනතාව හමුවට යාමට ඔහු බියවන්නේ කුමටද? එසේම ඔහු මේ රටේ සාමාන්‍ය ජනයා අතරින් මතු වූ, ජනතාවත් සමඟ ජීවත්වන ඔවුනගේ හදගැස්ම, දහදිය සුවඳ, කඳුළ, සුසුම, සිනහව හොදාකාර හඳුනන නායකයෙකි. රට රකින ක්‍රියාවලිය අකුරට සම්පූර්ණ කළ මේ නායකයා රට හදන ක්‍රියාවලිය මහ ජවයකින් යුතුව පෙරට ගෙන යාම සඳහා අලුත් ජනවරමක් අපේක්ෂා කරයි.

2005 දී, රට රකින ගමනට ඔහුට සෑම අතින්ම අකුල් හෙළු සියලු බලවේග අද 2009 දී රට හදන ගමන වළකාලීම වෙනුවෙන් යළි කඳවුරු බැඳ සිටී. ගතවූ සිවු වසර තුළ මානුෂීය මෙහෙයුම විජයග්‍රාහීව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජාතික ධනයෙන් විශාල කොටසක් නොපැකිළව වැයකරන අතර සංවර්ධනය සඳහා කරන ලද දැවැන්ත ආයෝජනය විපක්ෂයට නොපෙනේ. එහෙත්, ජනතාවට එය පෙනේ, ඔවුනට එය දැනේ.

මාර්ග සංවර්ධනය වෙනුවෙන් 2005 දී වැය කර තිබූ මුදල රුපියල් මිලියන 49000 කි. 2009 වසර වනවිට එය රුපියල් මිලියන 75,000 ඉක්මවීය. ගම නගරය යා කරමින් දියත් වූ සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් ගත වූ සිවු වසර තුළ රුපියල් මිලියන 189,499 ක් වැයකර තිබේ. රුපියල් බිලියන 59.5 ක ආයෝජනයකින් යුතුව ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන වසර වනවිට ජනතා අයිතියට පැවරෙනු ඇත.

අම්පාර, බදුල්ල, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3000 ක් පමණ යොදවා ඇත. රුපියල් මිලියන 32,120 ක් වියදමින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඉදිවෙමින් පවතී. සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ප්‍රදේශවල මාර්ග සංවර්ධනය සඳහා පමණක් රජය රුපියල් මිලියන 8000 ක් පමණ වැයකර ඇත. උතුරු නැඟෙනහිර පළාත්වල ගැටුම්වලින් විනාශයට පත් මාර්ග සංවර්ධනය සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 කට වැඩි මුදලක් වැයකර තිබේ.

ඉදිවෙමින් ඇති ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ගය සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන 12,000 කි. උතුරු පළාතේ මාර්ග සංවර්ධන කටයුතු ඉදිරියට යමින් ඇත. එය රුපියල් බිලියන 123 ක ආයෝජනයකි. මඟ නැගුම යටතේ ග්‍රාමීය මාර්ග කි.මී. 7817 ක් පිළිසකර කිරීම සිදුවිය. වැය වූ මුදල රුපියල් මිලියන 10,000 ඉක්මවයි. ඉන් මාර්ග කි.මී. 2385 ක් කොන්ක්‍රීට් යොදා ඇත.

මේ හැරුණුවිට සෙසු මාර්ග සංවර්ධනය සඳහා ද විශාල මුදලක් යොදවා තිබේ. රටේ ඕනෑම ප්‍රදේශයකට යන අයකු මේ දියුණුව පිළිබඳ සාක්ෂි දරනු ඇත. මේ මාර්ග ඔස්සේ යන එන විපක්ෂ දේශපාලන නායකයන් කියන්නේ රටේ සංවර්ධනයක් සිදුව නැති බවයි.

‘මහින්ද චින්තන’ යටතේ සැමට විදුලිය ලබාදීම අරමුණු කරමින් බලශක්ති ක්‍ෂේත්‍රයේ ශිඝ්‍ර වර්ධනයක් අත්කර ගැනීමටද හැකිවී ඇත. පසුගිය සිවු වසර තුළ රුපියල් මිලියන 90,000 කට වැඩි වියදමක් දරමින් මහා පරිමාණ විදුලි ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවිණි. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිවන්නේ රුපියල් මිලියන 38000 කට වැඩි ආයෝජනයකිනි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ආරම්භ වූයේද රුපියල් මිලියන 50000 කට වැඩි ආයෝජනයකිනි. කෙරවළපිටිය තාප බලාගාරය රුපියල් මිලියන 35000 ක පමණ වියදමකින් ස්ථාපිත කෙරිණි. මේ ආදී ඉදිරි පියවර තබමින් 2005 වසරේ වාර්තා වූ මෙගාවොට් 2409 විදුලිබල නිෂ්පාදන ධාරිතාව 2009 වනවිට මෙගාවොට් 2690 දක්වා ඉහළ නැංවීමට සමත්ව තිබේ. මේ කාලය තුළ ක්‍රියාත්මක වූ ග්‍රාමීය විදුලි ව්‍යාපෘති 7000 ඉක්මවයි.

මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතාවක් වන පානීය ජල පහසුකම සපුරාලීම අරමුණු කරමින් සැමට පානීය ජලය හා සනීපාරක්ෂාව යන තේමාව ඔස්සේ දැවැන්ත ආයෝජනයක් සිදුකර තිබේ. පානීය ජල පහසුකම් වෙනුවෙන් 2009 දී වැය කළ මුදල රුපියල් මිලියන 25,947 ක්. එය 2005 දී රුපියල් මිලියන 12633 කි. නාගරික ජල සම්පාදනයට සමගාමීව ග්‍රාමීය ජල ව්‍යාපෘති දහස් ගණනක් ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල පහසුකම් සපුරා ඇත.

සෞඛ්‍ය සම්පන්න නාගරික පරිසරයක් ඇතිකිරීම සඳහා නාගරික මළාපවාහන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් 2005 වැයකළ රුපියල් මිලියන 340 ක මුදල 2009 වනවිට රුපියල් මිලියන 4538 දක්වා ඉහළ නැංවී ඇත්තේ එකී පහසුකම්ද ඉහළ නංවමිනි. උතුරු පළාතද ඇතුළුව දිවයිනම ආවරණය වන පරිදි සැළසුම් කර ඇති ජලසම්පාදන යෝජනා ක්‍රම සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 28000 කි.

රුපියල් 350/- කට පොහොර මිටියක් ලබාදීම ඇතුළුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ලබාදුන් සහනාධාරවල ප්‍රතිඵලයක් ලෙසත්, ‘අපි වවමු - රට නඟමු’ වැනි ව්‍යාපෘතීන් නිසාත් වී වගා කළ බිම් ප්‍රමාණය පමණක් 2005 ට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගියේය. 2005 හෙක්ටයාර් 337,000 ක් වූ එය 2009දී 1,053,000 ක් විය. වී කිලෝවක සහතික මිල 2005 දී රු.13.50 ක් වූ අතර එය 2009 දී රු.31.50 කි. දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ලබාදුන් සහන හා කරන ලද ආයෝජනය තුළින් එම ක්ෂේත්‍රය 8% ක වර්ධනයක් සටහන් කළේය.

නිදහස් රටක නිදහස් සංචරණය අර්ථවත් කරමින් රටේ සිවුදිග පාලම් ඉදිවෙමින් පවතී. මනම්පිටිය පාලම ඉදිවූයේ රුපියල් මිලියන 1278 ක වියදමකිනි. දිගින් මීටර් 160 ක් වූ ආරුගම්බේ පාලම රුපියල් මිලියන 1400 ක වියදමකින් සම්පූර්ණ විය. ලංකාවේ දිගම පාලම ලෙස වාර්තා තැබූ කින්නියා පාලම ජනතා අයිතියට පත්වූයේ රුපියල් මිලියන 789 ක ආයෝජනයකිනි.

වානේ පාලම් ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික් ගණනාවක පාලම් ඉදිවී ඇත. නුගේගොඩ කැලණිය හා දෙහිවල ගුවන් පාලම් රුපියල් මිලියන 1000 කට වැඩි ආයෝජනයකින් ජනතා අයිතියට පත්වූයේ රථවාහන තදබදයට ස්ථිර විසඳුම් දෙමිනි. පන්නිපිටිය, ගම්පහ කොන්ක්‍රීට් ගුවන් පාලම් ඉදිවෙමින් ඇති අතර ඔරුගොඩවත්ත ගුවන් පාලම නොබෝදා විවෘත විය තවත් නාගරික ප්‍රදේශ කිහිපයක ගුවන් පාලම් ඉදිවෙමින් ඇත.

සුව පහසු මගීී ප්‍රවාහන සේවයක් ජනතාවට උරුම කරදීම අරමුණු කරමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ද, රජය විශාල ආයෝජනයක් සිදුකර ඇත. 2009 වනවිට රුපියල් මිලියන 27,323 ක් ඊට වැය කර ඇත. 2005 දී එම මුදල රුපියල් මිලියන 14,409 ක් විය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රජය දරා ඇති මුළු වියදම රුපියල් මිලියන 126,104 කි.

උතුරු දුම්රිය මාර්ගය ද ඇතුළුව නව දුම්රිය මාර්ග ඉදිවෙමින් පවතී. චීනයෙන් නව දුම්රිය මැදිරි 100 ක් ආනයනය කෙරුණු අතර නව බලවේග කට්ටල 15 ක් ධාවනයට යොදවා තිබේ. 2005 – 2009 කාලය තුළ ධාවනයට එක් කළ නව ලංගම බස් රථ සංඛ්‍යාව 2200 කි. මගී ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට තවත් පියවර ගණනාවක් ගෙන ඇත.

නිල් අහස නිල් දියඹ ජය ගැනීම වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා සංවර්ධනය සඳහා 2009 වසරේදී කරන ලද ආයෝජනය රුපියල් මිලියන 8000 ඉක්මවෙයි. 2005 දී එය රුපියල් මිලියන 5300 කි. විදේශාධාර ද ලබාගනිමින් හම්බන්තොට වරාය ඉදිවීම ද ඇතුළුව වරාය 5 ක සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් දකුණේ මන්තල දී ඇරැඹිණි. කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය සඳහා රුපියල් බිලියන 15 කට වැඩි මුදලක් වැයකර තිබේ.

කෙතට දියවර මුදාහැරෙන බහුකාර්ය සංවර්ධන ක්‍රම රැසක් ද ක්‍රියාත්මකයි. උමාඔය, යාන්ඔය, දැදුරුඔය, රඹුක්කන් ඔය, හැඩඔය ව්‍යාපෘති වසර 2012 දී නිම කෙරෙනු ඇත. වෙහෙරගල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරිණි. රුපියල් මිලියන 1900 ක වියදමින් මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ ඇරැඹී තිබේ. මේ හැර ක්‍රියාත්මක වෙමින් ඇති වාරි ව්‍යාපෘති සංඛ්‍යාව විශාලය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් ද දැවැන්ත ආයෝජනයක් රජය ඉකුත් සිවු වසර තුළ සිදුකර ඇත්තේ නැණ ගුණෙන් යුතු හා නිරෝගී දැයක් බිහිකිරීම අරමුණු කරමිනි. 2005 වසරේදී සිසුන් 16292 ක් වූ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2009 දී 20369 ක් වූයේ උසස් අධ්‍යාපනය සඳහා කරන ලද ආයෝජනය හේතුවෙනි.

නිදහස් අධ්‍යාපනය අරුත් ගන්වමින් 2008 වසර තුළ පාසල් පෙළ පොත් සඳහා පමණක් රුපියල් මිලියන 3387 ක් වැයකර ඇත. නිල ඇඳුම් හා පෝෂණය සඳහා මිලියන 2000 කට වැඩි මුදලක් වැයකර තිබේ. සුව සම්පත රැකීම වෙනුවෙන් රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමට පමණක් මේ වසරේදී රුපියල් මිලියන 14000 ක් වැයකර ඇත.

2005 දී එය රුපියල් මිලියන 7100 කි. බඳවා ගන්නා වෛද්‍යවරු සංඛ්‍යාව ඉහළ නංවා ඇත. අලුතෙන් හෙදියන් 15000 ක් සේවයට එක්කර ගැණිනි. ප්‍රධාන රෝහල් ගණනාවක් සියලු පහසුකම්වලින් යුතුව නවීකරණය හා ග්‍රාමීය සෞඛ්‍යය නඟාසිටුවීම සඳහාද විශාල ආයෝජනයක් ගතවූ සිවු වසර තුළ කෙරී තිබේ.

ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමත් සමඟ උතුරු වසන්තය මඟින් උතුරේ ජනජීවිත ගොඩනඟමින් ඇත්තේ රටේ සංවර්ධනය සඳහා ඔවුන්ද හවුල්කරුවන් කර ගනිමිනි.

මෙහි සඳහන් කළේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඉටුකළ පොරොන්දු කිහිපයක් පමණි. ඒ සියල්ල මේ රටේ සංවර්ධනයේ ඉදිරි වකවානු සළකුණු කරයි. එම ඇතැම් ව්‍යාපෘති මඟින් සැළසුම් කර ඇත්තේ ඉදිරි දශකය නොවේ. ඉදිරි සියවස යි. ඒවායේ ප්‍රතිඵල එතරම් දිගුකාලීන ආයෝජනයන් ය. මේ හැම එකක් ම අතර ගුණ දහමින් පිරි සමාජයක් ගොඩ නැඟීමට තැබූ ප්‍රයෝගික පියවර ඔස්සේ සංවර්ධනය වඩා අර්ථාන්විත කර තිබේ.

මෙරට ඉතිහාසයේ අන්කිසි කළෙක නොවූ තරමේ ශීඝ්‍ර හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක ඊළඟ පරිච්ඡේදය මවුබිමේ අනාගතය ගොඩනඟන අපේ රටේ මිනිසුන් අතින් ජනවාරි 27 දා සිට ලියැවෙනු ඇත. ඒ සුබ අනාගතයක් වෙනුවෙනි.


හිසට සෙවණක් හදන අපේක්‍ෂාව

තල්පෙ ආරියජෝති හිමි
ඓතිහාසික උණවටුන වැල්ලේ දේවාලයේ අධිපති
යද්දෙහිමුල්ල අමරසිංහාරාමාධිපති

අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මේ රටේ ගෞරවනීය සාමයක් ඇති කර සියලු ආගම් සියලු ජාතීන් එකම සහෝදරත්වයෙන් බැඳී ජීවත්වී අලුත් ශ්‍රී ලංකාවක් දැන් අපට ඇත.

පසුගිය එක්සත් ජාතික පක්‍ෂ 17 අවුරුදු පාලන සමයේ කුඩම්මාගේ සැලකිලි ලැබූ දකුණු පළාත තුළ ශීීඝ්‍ර සංවර්ධන කටයුතු දැන් සිදුවෙමින් පවතී. උපන් මවුබිමට ආදරය කරන දකුණේ උපන් එඩිතර ජනනායකයාට දකුණේ ජනතාව පක්‍ෂ ආගම් කුල මල භේදයෙන් තොරව ලබන ජනවාරි මස 26 දා එතුමා දෙවැනි වතාවටත් මේ රටේ ජනාධිපති බවට පත්වීම අපට ආඩම්බරයකි. කළගුණ දත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සිය යුතුකම් ඉටුකිරීමට මේ වනවිට සැදී පැහැදී සිටිති.

එක්සත් ජාතික පක්‍ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට ඉහළ මට්ටමේ සිට බිම් මට්ටම දක්වා සිය සාමාජිකත්වයේ දැඩි විරෝධයක් ඇති බව අපට පෙනී යයි. මෙදා මොන උප්පරවැට්ටි දැම්මත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව අවධාරණය වී ඇත.

රට හදන අලුත් ශ්‍රී ලංකාවක් මෙන්ම වෛරය තුරන් කරන සියලු පක්‍ෂ ඒකරාශි කරගෙන වෙනත් කිසිම රටකට අත නොපා ශ්‍රී ලාංකික ජනතාවට ජීවත්වීමේ පරිසරයක් තැනීමට ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට ශක්තිය වාසනාව ලැබේවායි අපි පතමු.


සංවර්ධන ඉලක්කය ජයගනිමු

හරුමල්ගොඩ කස්සප නාහිමි
ගාල්ල දිසාවේ ප්‍රධාන සංඝනායක
හරුමල්ගොඩ මංගලාරාමාධිපති

එදා දුටුගැමුණු මහරජතුමා මේ රට බේරා ගැනීමේ මහා සටන දියත් කළේ දකුණු ප්‍රදේශයෙනි. අද මෙරට ජනතාවට ගෞරවනීය සාමයක් සංස්ථාපිත කිරීමේ සටන දකුණේ මැදමුලනෙන් ආරම්භ කර නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර ඇත.

ලොව පුරා අණසක පැතුරූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ගතවුයේ වසර තුනහමාරකට අඩු කාලයකි. එතුමාගේ අවංක අධිෂ්ඨානශීලී නොසැලෙන නායකයා වටා එක්රොක් වූ වීරෝදාර ත්‍රිවිධ හමුදාව හා පොලිස් විරුවන් ඇස් ඉස් මස් ලෙයින් මේ මහපොළොව තෙත් කළේය.

ඒ අනාගත පරපුරට නිදහස් දේශයක් බිහිකර දීම පිණිස ය. ඒ උදාර අරමුණු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ අනගි මෙහෙය වංශ කථාවේ රන් අකුරින් ලියවේ. දෙස් විදෙස් කුමන්ත්‍රණවලට නොරැවටී, ආර්ථික අපහසුතා විඳ දරා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෑත් සවිමත් කළ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව මෙම මහා ජයග්‍රහණයේ රැඳී සිටිය බව අපි දනිමු. එහි ප්‍රතිඵලයක් ලෙස අද තුන් සිිංහලයම නෑදෑයන් බවට පත් විය.

ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනඟා සංවර්ධිත නව දේශයක් බවට පත් කිරීමේ අභියෝගය ජය ගැනීම එතුමාගේ ඊළඟ අභියෝගයයි. මෙම උතුම් පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ජාති ආගම් කුල මල පක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව එක්රොක් විය යුතුය. රට පෙරට ගෙන යා හැකි සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි වතාවටත් මේ රටේ ජනාධිපති බවට පත්විය යුතුය.


සංවර්ධනයේ නියමුවා

ගාමිණී ගුණසිංහ හබරාදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ලෝකයේ සිටින ජන නායකයන් හා සංසන්දනය කරන විට උපන් මවු බිමට හා එහි ජනතාවට ආදරය කරන දේශීය ඇඳුමට ප්‍රිය කරන සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති විදේශීය බලපෑම් හමුවේ එඩිතර තීන්දු ගන්නා ජනතාවගේ සැබෑ මිතුරා ජනාධිපති මහින්ද රාජපක්‍ෂයි. එවැනි නායකයකු මේ රටේ මෙතෙක් බිහි වී නැති බව අපි අදහමු.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරු තිදෙනෙක් රට පාලනය කළේය. එහෙත් සිදු වූ සංවර්ධනයක් නැත. 1948 ලැබූ නිදහසින් පසු මේ රටේ බිහිවූ අග්‍ර ගණයේ නායකයා මහින්ද රාජපක්‍ෂයි.


දේශීය දේ අගයන අපේ ජන නායකයා

ජේ. කේ. ඩී. ජයවික්‍රම ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති

ත්‍රස්තවාදය මෙරටින් අතු ගා දමා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා රට සංවර්ධනය කිරීමේ ශක්තිය හා එඩිතර නායකත්වයක් ඇති මහින්ද රාජපක්‍ෂ මහතා හැර වෙනත් නායකයකුට රටේ පාලනය බාර දුන්නොත් නැවත වතාවක් විදේශීය කුමන්ත්‍රණකරුවන් එක් වී ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමට කටයුතු යොදනවාට කිසිදු සැකයක් නැත. මෙරට ජනතාව මෙවැනි යුගයක් බිහිවනවාට අකැමැති බව පැවැති පළාත් සභා මැතිවරණවලින් සාධනය කෙළේය.

අඩුම තරමින් තමා ගෙවත්තේ මිරිස් පැළයක්වත් නොසිටවූ කම්මැලියන් බඩු මිල වැඩියි යැයි කෑ ගසමින් ඇවිදිති. වැඩ කරන ජනතාව ඒ ගැන කතා කරන්නේ නැත. මේ වනවිඩ හබරාදුව ආසනය පුරා ග්‍රාමසේවක වසම් 102 පුරා මැතිවරණ කොමිටු හමුවීම්වලට විපක්‍ෂ පාක්‍ෂිකයන් පන්දහසකට අධික පිරිසක් එක් වී සිටී. මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්‍ෂ මහතා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනු නියතයි.


මේ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ ක්‍රියාවකි
 

මහින්ද අබේසුන්දර දිනමිණ ප්‍රධාන කර්තෘ

තිස් වසරක ත්‍රස්තවාදයට මුහුණ දී සිටින රජයකින් ජනතාව වෙනත් කිසිම වැඩක් බලාපොරොත්තු නොවෙති. ඔවුන්ට අවශ්‍ය වූයේ ක්ලේමෝ බෝම්බයෙන් මරාගෙන මැරෙන බෝම්බකාරයන්ගෙන් සහ කොටින්ගේ ගිනි අවියෙන් බේරී නිදහසේ ජීවත්වීමට පමණි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදී මර්දනයට සමගාමීව රට තුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයක් දියත් කිරීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ ක්‍රියාවකි.

ගවේෂණය මෙහෙයවූයේ -

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා