මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ළමා කාලයේ කතා

දුප්පත් දරුවන් ගේ මිතුරා 21

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ළමා කාලයේ කතා

“පුතේ,” පිරිමි චරිතයක් මිස ගැහැණු චරිත රඟපාන්න යන්න එපා”

දිනක් මහින්ද සහ ඩික්සන් දෑල යන ශිෂ්‍යයෝ තර්ස්ටන් විදුහලේ ආචාර්ය දයානන්ද ගුණවර්ධන මහතා හමු වූහ.

“සර්, අපේ ස්කෝලෙ ළමයි දාලා හොඳ නාට්‍යයක් කරමුද ?”මහින්ද ඇසීය.

“මගේ ළඟ හොඳ නාට්‍ය පිටපතක් තියෙනවා. අපට ලයනල් අල්ගම සර් ගෙ උදව්වත් ලැබෙනවා. ඒත් ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා.”

“ඒ මොනවද සර් ?”

“එකක් තමයි මුදල් ප්‍රශ්නය”

“ඒක අපි විසඳගනිමු”

“අනෙක් ප්‍රශ්නය තමයි නිළියන්ට ගැහැණු ළමයි හොයාගන්නේ කොහොමද ? මේක පිරිමි පාසලක් නෙ”

“ඒක නම් අමාරුයි. ඒත් මේ කිට්ටුව තියෙන බාලිකා විදුහලකින් ළමයි කීප දෙනෙක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ.”

“බාලිකාවල ළමයි එහෙම එවන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නය” මොහොතකට පසු මහින්ද විසඳුමක් ඉදිරිපත් කළේය.

“සර්, එක ගැහැණු චරිතයකට මට එන්න පුළුවනි”

“හොඳයි, අපි නාට්‍ය කරන්න බලමු”

නරිබෑණා නමින් දයානන්ද ගුණවර්ධන නාට්‍යයක් නිෂ්පාදනය කරන්න යන බවද එහි ගැහැණු චරිතයක් රඟපාන්නේ මහින්ද බව ද ප්‍රචාරය විය.

මහින්ද ගේ් මවට මෙය අසන්නට ලැබිණ.

“ඇත්තද පුතේ ගම දුව ගේ චරිතයට පුතා එනවා කියන්නේ? “අම්මා ඇසුවාය.

“ඔව් අම්මේ. අපේ ස්කෝලෙ ඉන්නේ පිරිමි ළමයි විතරයි නේ”

“ඒ වුණාට පුතේ, පුතා පිරිමි චරිතයක් මිස ගැහැණු චරිත රඟපාන්න යන්න එපා.”

අගනුවර බාලිකා විදුහලක දැරියන් මේ නාට්‍යයේ රඟපෑම සඳහා එක්කර ගැනීමට දයානන්ද ගුණවර්ධන මහතා සමත් විය. ගෝතමී විදුහලේ ශි‍්‍රයාණි අමරසේන ඒ නාට්‍යයේ රඟපෑමට පැමිණි එක් ශිෂ්‍යාවකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා