වසර 20ක් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ සනත්ට නව වසරේ දී උපහාර තිළිණයක්

වසර 20ක් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ
සනත්ට නව වසරේ දී උපහාර තිළිණයක්

අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමේ වසර 20ක් ක්‍රීඩා කළ සනත් ජයසූරිය වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කොට ඇත. ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වසර 20ක් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වූ සනත් ජයසූරිය වෙනුවෙන් ජනවාරි මුල් සතියේ දී මේ විශේෂ උපහාර උත්සවය පැවැත්වීමට තීරණය වී තිබේ.

මෙදිනම මුත්තයියා මුරලිදරන් වෙත ද උපහාර පිරිනැමේ. මුරලිදරන් එක්දින කඩුලු 500 සීමාව පසු කිරීම වෙනුවෙන් එම උපහාරය පිරිනැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවැසීය.

මුරලිදරන් මේ වසරේ ජනවාරි මාසයේ දී එක්දින ජාත්‍යන්තර කඩුලු 500 සීමාව පසුකිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපහාර තිළිණයක් සූදානම් කළ ද එය ප්‍රදානය කිරීමට නොහැකිවී තිබුණි.

වසර 1989 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි සනත් ජයසූරිය ඊයේ සහභාගිවූයේ 444 වැනි එක්දින තරගයටය. ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනිද්දී තරග 110කට සහභාගිවී තිබුණි.

සනත් ජයසූරිය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ උපහාර උළෙල පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා