කොකාකෝලා ක්‍රිකට් වැඩසටහනෙන් 19න් පහළ පිලට ක්‍රීඩකයන් 12ක්

කොකාකෝලා ක්‍රිකට් වැඩසටහනෙන් 19න් පහළ පිලට ක්‍රීඩකයන් 12ක්

දකුණු අපි‍්‍රකාවේ තුන්කොන් ක්‍රිකට් තරගාවලි සංචාරයක නියලෙමින් සිටින සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට “කොකාකෝලා ක්‍රිකට් පාත් වේ” ක්‍රිකට් පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩකයන් 12 දෙනකු ඇතුළත්ව සිටිති.

දිවයින පුරා විසිරී සිටින තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික තලයට ගෙනඒම සඳහා කොකාකෝලා ආයතනය මගින් අරවින්ද ද සිල්වා ක්‍රිකට් පදනම හා එක්ව වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන “කොකාකෝලා ක්‍රිකට් පාත් වේ” ව්‍යාපෘතියෙන් බහුතර ක්‍රීඩක පිරිසක් ජාතික පිලට එක්වීම එම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට කදිම නිදසුනකි.

දකුණු අපි‍්‍රකානු සංචාරය සඳහා තෝරා ගන්නා ලද 19න් පහළ ජාතික කණ්ඩායමට පිට පළාත්වලින් ක්‍රීඩකයන් හයදෙනකුම ඇතුළත් වූහ. ග්‍රාමීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික තළයට ගෙන ඒම සඳහා මෙම ව්‍යාපෘතියෙන් ඉටුවන සේවය අතිවිශිෂ්ටය.

මාස 18 – 20ක කාලයක් තිස්සේ පාසල් ක්‍රීඩකයන් පුහුණුකොට ඔවුන් ජාතික තළයට ඔසවා තැබීමට හැකිවීම තමන් ලද ජයග්‍රහණයක් බවත් එය ඉදිරි අනාගතයේදී තව තවත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරියට ගෙනඒමට විශාල ශක්තියක් වූ බවත් කොකාකෝලා ඈත පෙරදිග සමාගමෙහි ශ්‍රී‍්‍ර ලංකා සහ මාලදිවයින් කළමනාකරු මනිෂ් චතුර්වේදි ප්‍රකාශ කළේය.

මේ ව්‍යාපෘතියේ කොටස්කරුවකු බවට පත්වීමට ලැබීම තමන්ට ඉමහත් අභිමානයක් ගෙනදෙන්නක් බවත්, ග්‍රාමීය ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තරය කරා රැගෙන යාමට ඉදිරියේදී ද කැපවීමෙන් කටයුතු කරන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී පැවැති එක්දින තරගමාලාව ජයග්‍රහණය කළ 19න් පහළ ජාතික කණ්ඩායමට ද මේ ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩකයන් ඇතුළත්ව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා