නිසල වූ ප්‍රේමණීය හඬ

නිසල වූ ප්‍රේමණීය හඬ

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර ගීතයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර හීනයක් කොයින්දෝ

සංගීත ලෝකයෙන් නැඟුණු අබේවර්ධන බාලසුරියගේ ඒ ප්‍රේමණීය හඬ අද නිහඬය. කලා ලොවේ ස්වර්ණමය අවධිය වූ 70 දශකයේදී ගී ලොවට පිවිස පුරා දශක හතරක් ශ්‍රාවකයන් සැනසූ ඔහු පසුගිය බදාදාවෙහි අවසන් ගමන් ගියේ අප දෙනෙතට කඳුලක් එක් කරමිනි. වසරකට ආසන්න කාලයක් උගුරේ ආබාධයකට ලක්ව සිට වියෝවූ අබේවර්ධනයන් පිළිබඳ මේ සටහන ඔහුට උපහාර පිණිසම ය. පුරා දශක තුනකට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නිම් වළළු පුළුල් කළ අබේවර්ධන බාලසුරිය නොමියෙන මතකයන් රැසකට හිමිකරුවෙකි.

හලාවත මුගුණුවටවන සුන්දර ගම් පියසෙහි අබේ ගේ ළමා කාලය කෙළි දෙළෙන් ගෙවී ගියේ්ය. ශාන්ත මරියාවෙහි සිප් සතර හැදෑරු ඔහු ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 60 දශකය අගභාගයේදී ය. ඒ අමර බන්දු රූපසිංහ හා එල්මෝ ප්‍රනාන්දු ගේ මග පෙන්වීම යටතේ නවක මඩල, නැවුම් මිහිර ආදී වැඩසටහන් වලට සම්බන්ධ වීමෙනි. අනතුරව ගී පර්යේෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් වූ අබේවර්ධන බාලසූරිය හා හා පුරා කියා පටිගත කළ ‘කවුරුදෝ කවුරුදෝ’ මං නැතිදා ද්විත්ව සංකල්පනාවන් රසික සිත් තුළ අදත් රැව් දෙනවාට සැක නැත.

මීට පසුගාමීව අනේ කුරුලු කූඩු වලට, තොටිල්ලේ ලි වැටෙන් එහා, කල්පනා ලොව, රෑ පැල් රකිනා කුරහන් ආදි ගීත රැසක් ඔහු විසින් ගායනා කරන ලද්දේය. අබේ ගේ දිවියෙහි සංධිස්ථානයක් ලෙස චිත්‍රපට පසුබිම් ගායනය සැලකිය හැක්කේ අදත් එම ගීත තැන තැන රැව් දෙන නිසාය. ඔහු ඊට අවතීර්ණ වන්නේ දුහුළු මලක් චිත්‍රපටයේ බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ ගීතය සමඟිනි. අනතුරුව සරුංගලය චිත්‍රපටයෙහි ‘ඉසුරු දෙවිඳු’ ගීතය මෙන්ම චූඩා මාණික්‍යය, බබාකෙටූ හැටි, සඳකඩපහන වැනි චිත්‍රපටයන්හි ඔහු ගීත ගායනා කළේය.

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි කියමනක් ඇත. එහෙත් අබේවර්ධන බාලසුරියගේ දක්ෂකම් කියා පෑවේ එක් දෙයකට නොව ඔහු පුවත්පත් සඳහා ලිපි සැපයුවේය. චිත්‍රපට පසුබිම් ගායකයකු නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂකවරයෙකු ද වීය.ජාතික රූපවාහිනියේ ‘නන්දන වින්දන’ සංගීතමය වැඩසටහනෙහි නිර්මාතෘවරයා ඔහුය. ඒ මගින් ආධුනිකයින්ට සංගීත කරළිය හෙළි පෙහෙළි කළේය.

මංගල දිනය දා

ඔහුගේ කලාකාමී ළබැදියාව නිසාම කලා කාමි පවුලකට අබේවර්ධන බාලසුරිය සම්බන්ධ වන්නේ විවාහයත් සමගය. එවක පටන් ඔහුගේ දිවියෙහි පහන් එළිය වූයේ නිරංජලා සරෝජිනී ය. මහචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, නිර්මලා රණතුංග, විජේරත්න රණතුංග, මනෝජ් පීරිස්, සකුන්තලා පීරිස් ඔහුගේ සංගීතමය ගමන් මග ශක්තිමත් කළෝය. අබේ – නිරංජලා සංගීත ලෝකයෙහි එකම යුග ගීතයකි. ගීතයට බද්ධ වූවෝ ඔවුනොවුන්ටද හෘදයාංගම වූහ. එනිසාම නිරංජලා ඔහුට ශක්තියේ සෙවණැල්ල වීය.

අබේ – උනන කඳුළු නෙතු මානෙන් රඳවන හැම විට මට හිතෙනවා ජීවිතයත් එහෙම වැටේවිද

නිරංජලා - එහෙමම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර වැටුණු කඳුළුවල නං බැහැ අරුත හොයන්නට නිරංජලා එසේ ඔහු දිරිමත් කළේය.

අනන්තයට ඉගිළ යන කාලය අබේවර්ධනයන් සමග සැඟව ගියේය. එහෙත් ඔබේ සදානුස්මරණීය හඬ රසික හදවත් ඔප දමනු ඇත. ඔවුහු ඔබේ හඬ ඔස්සේ රුව සොයා ඇදෙනු ඇත. ඇගේ හඬ නැංවෙන මානයක් ගානේ ඔබේ රුව ඇදෙනු ඇත. හඬ අවදි වනු ඇත. ගීත ලෝකයෙහි කටු කොහොල් පාරවා ඔබ තැනූවන් හෙට දිනට ආදර්ශවත් මෙහෙවරක් ඉටු කරනු ඇත. ඒ ඔබගේ හද පිරි ප්‍රාර්ථනාව වන්නට ඇත. නිම් නැතිව ඔබ ගැන ලියැවෙන වැකියට මා කොතැනින් තිත තබමිද ? එහෙත් මම මෙසේ ලියමි.

ඔබ ගියාට, ආපසු එන්න!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා