අද වතුකරයේ ජනතාවට අලියා එපා වෙලා

අද වතුකරයේ ජනතාවට අලියා එපා වෙලා

වී. රාධාක්‍රිෂ්ණන්
නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති

ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන වී. රාධාක්‍රිෂ්ණන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වතාවට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටී. මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යධූරය හොබවමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් කළ ඒ මහතා වතුකරයේ ගුරු හිඟය නැති කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළේ ය.රාධාක්‍රිෂ්ණන් 1991 වසරේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් වෙමින් ඇරැඹූ දේශපාලන ගමන තුළ වතුකයේ ජීවත්වන සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ට භේදයකින් තොරව සැලකූ® දේශපාලනඥයෙකි.මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත, ක්‍රීඩා හින්දු කටයුතු හා ද්‍රවිඩ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ රාධාක්‍රිෂ්ණන් මහතා සමඟ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් ලංකා කම්කරු කොංග්‍රසය රජයට දිගටම සහාය ලබාදීමට ගත් හේතු පිළිබඳවත් කළ සාකච්ඡාවකි මේ.

* එක්සත් ජාතික පක්ෂය සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළ තොන්ඩමන් මහතා ප්‍රමුඛ ඔබ පක්ෂය එක්වරම එක්සත් ජාතික පක්ෂය මුළු මනින්ම අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙතරම් සමීප වීමට හේතුව කුමක් ද ?

ඊට ප්‍රධාන හේතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මෙරට සිටි බොහෝ දේශපාලන නායකයන් සමඟ දේශපාලනය කිරීමේ ඉතිහාසයක් ඇති අප පක්ෂයට මෙරට දේශපාලන නායකයන්ගේ ක්‍රියාකාරිත්වය හොඳින් තේරෙනවා. අපේ ජනතාවට සේවය කරන බවට නොයෙක් පොරොන්දු ලබා දී බලයට පැමිණි බොහෝ නායකයන් වතුකරයේ ජනතාව අමතක කැර දැමුවා. මේ ජනාධිපතිතුමා එහෙම කළේ නෑ. මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළ ඇතුළත් වතුකරයේ විශේෂයෙන් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව නඟා සිටුවීම සම්බන්ධයෙන් ඇතුළත් කරුණු ඉටු කරමින් සිටිනවා. අපේ ජනතාවට සේවය කරන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා විශාල විශ්වාසයක් අපේ පක්ෂයට තිබෙනවා. අපේ ජනතාවට තිබෙනවා.

* ඔබ පක්ෂය හා ඔබලා මේ තරම් රජයේ හොඳ හා ජනාධිපතිතුමා කළ සේවය ගැන කිව්වත් එම පණිවිඩය හරි හැටි වතුකරයේ ජනතාව අතරට ගොස් නැති බවයි පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙනී ගියේ ?

පසුගිය ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කය පරාජය වීමට බලපෑ ප්‍රධාන හේතුව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ඇතුළු පිරිස ගෙන ගිය බොරු ප්‍රචාරවලට වතුකරයේ සමහර දේශපාලන ක්‍රියාකාරීන් හසු වීමයි. අපි ඔවුන්ට සත්‍ය අවබෝධ කැර දෙමින් මැතිවරණය මෙහෙය වූවා. ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් බොරු සහ මඩ, අවලාද, අසත්‍ය ප්‍රචාර ගියා. නමුත් සත්‍ය අභිබවා වතුකරයේ බොරු පොරොන්දු පැතිරුණා. නමුත් මේ වන විට ජනතාව තේරුම් අරන් තිබෙනවා. තමන් විශාල ලෙස මුලා වූ බව. ඔවුන් අපට ඒ බව කියනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වඩා මහ මැතිවරණයේ දී ඒ ජනතාව අවබෝධයෙන් ඡන්දය පාවිච්චි කරාවි යැයි අප විශ්වාස කරනවා.

* එදා ලංකා කම්කරු කොංග්‍රසය මෙරට රජුන් තනන පක්ෂය ලෙස විශාල අභිමානයක් ගොඩනගා ගෙන තිබුණා. නමුත් දැන් දැන් සිදු වෙන දේ වලින් පේන්නෙ එම පදනම දෙදරා ගොස් ඔබලාට අභියෝග කරන කණ්ඩායම් වතුකරයේ වැඩි බලයක් අත්පත් කැරගෙන සිටින බව නේද ?

නැහැ, එම තර්ක වැරැදියි. ඇත්තෙන්ම අපේ ඡන්ද පදනමට කිසිදු හානියක් සිදුවී නැහැ. වතුකරයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙන්‍රුවෙන් කටයුතු කරන ප්‍රබලම දේශපාලන පක්ෂය අපියි. අනෙකුත් පක්ෂත් තිබෙනවා. ඔවුන් ද ඒ අයට හැකි අයුරින් මේ ජනතාවට සේවය කරනවා. පාර්ලිමේන්තුව පළාත් සභා පළාත් පාලන ආයතනවල අප පක්ෂයේ නියෝජිතයන් ගණන අරන් බලන්න ඔබට තක්සේරු කරන්න පුළුවන් අපගේ බලය. වතුකරයේ වෙනත් කිසිදු පක්ෂයකට අපට තරම් ජන පදනමක් නෑ.

* ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඔබ පක්ෂයට අභියෝගයක්වී ඇති බවත්, උඩරට ප්‍රදේශයෙන් ඡන්දය ඉල්ලන මනෝ ගනේෂන්, දිගම්බරම් වගේ අය ඔබලාගේ සම්ප්‍රදායික දේශපාලනයට තර්ජනයක්වී ඇති බවත් ඇතැමුන් කියනවා.

මොන තර්ජනයක් ද ඔවුන් ඇවිත් ඉන්නෙ අපේ ජනතාවගේ ඡන්දය උදුරාගෙන යන්න. ඡන්දය දිනුවත් පැරැදුනත් ඔවුන් ආපසු යනවා. මෙහි ඉන්නෙ නැහැ. මේ පොළොවෙ හැමදාම පය ගහල ඉන්නේ අපි. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉන්නෙත් අපි. අපේ පක්ෂයේ නායකතුමා ඕනෑම වෙලාවක නුවරඑළියේ ඉන්නවා. මහා මැතිවරණයේ දී ජනතාව මේ රැවටිලි කාරයන්ට පාඩමක් උගන්වාවි. ෆොන්සේතා මහත්තයා එක්ක එකතු වෙලා කියපු බොරු මේ පාර කියන්න බෑ.

* පසුගිය වසර ගණනාවක් එජාප රජය යටතේ මෙන්ම සන්ධානය යටතේත් ඔබ මධ්‍යම පළාත් සභාවේ ප්‍රබල අමාත්‍යධූරයක් හෙබවූවා. ඒ තුළින් වතුකරයේ ජනතාවට කළ සේවය පිළිබඳ සතුටට පත්විය හැකිද ?

මේ ප්‍රදේශවල ජනතාව දීර්ඝ කාලයක් පුරා විශාල දුෂ්කරතා රැසක් මැද ජීවත් වෙන්න, ආර්ථික, සමාජ, දේශපාලන ගැටලු රැසක් ඔවුන්ට තිබෙනවා. නමුත් අපේ ජනතාව කවදාවත් උතුරේ ජනතාව වගේ ආයුධ අතට ගන්න ගියේ නැහැ. අප ඒ සඳහා ඉඩ තැබුවේත් නැහැ. තිබෙන ප්‍රශ්න හඳුනා ගෙන ක්‍රමානුකූලව පැවැති හැම රජයකින්ම වතුකරයේ ජනතාවට ලබා දිය යුතු සියලු වරප්‍රසාද ලබා දුන්නා. වත්මන් ජනාධිපතිතුªමා පත්වීමත් සමඟම අපේ ජනතාවට අප හිතුවාටත් වඩා සුවිශේෂ වරප්‍රසාද රැසක් ලැබී තිබෙනවා.

වතුකරයේ ඇවිදල බලන්න අද කොන්ක්‍රීට් කරපු නැති පාරක් හොයා ගන්න නෑ. විදුලිය නැති ලයින් කාමර නැහැ. ප්‍රධාන මාර්ග සියල්ලම කාපට් කරලා. ගමේ පාරවල් හදලා. පානීය ජලය, සෞඛ්‍ය පහසුකම්, බස් රථ සේවාවන්, තමන්ගේ බෝග නිෂ්පාදන නගරයට ගෙන යන්න පහසුකම් මේ සියල්ල මේ ජනාධිපතිතුමාගේ කාලයේ දී දීලා තිබෙනවා. එදා තිබුණ වතුකරය නොවයි අද තිබෙන්නෙ. ශීඝ්‍ර සංවර්ධනයකට යොමු වෙලා.

* ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ මේ මැතිවරණයෙන් පසුව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපතිතුමා පවසනවා. ඊට සමගාමීව උඩරට වතුකරය දියුණු කිරීමට ඔබට විශේෂ වැඩපිළිවෙළක් තිබනෙවාද ?

උතුරු වසන්තය නැඟෙනහිර සංවර්ධනය, දකුණු සංවර්ධනය වගේම මධ්‍යම පලාත විශේෂයෙන් නුවරඑළිය ප්‍රදේශය වෙනමම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. මා මුලින් කිව්වා වගේ ඒ යටතේ මේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ කැර අවසන්. සමහර ව්‍යාපෘති නිම කර අවසන්. යුද්ධය තිබියදීත් සමහර සංවර්ධන වැඩ අවසන් කළා. යටිතල පහසුකම් පිළිබඳ සෑහීමකට පත් වන්න පුළුවන්. නමුත් ඊළඟ ප්‍රශ්නය විරැකියාව වතුකරයේ තරුණ තරුණියන්ට හොඳ අධ්‍යාපනික තත්ත්වයක් යටතේ ඉහළ රැකියාවකට යාමට අවශ්‍ය පසුබිම සැකසීමට අප පියවර ගත යුතුයි.

වතුකරයේ පාසල් සඳහා මෙතෙක් තිබූ ගුරු හිඟය මගේ දැඩි උත්සාහය නිසා මඟ හරවා ගන්න හැකි වුණා. ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරුන් 3900ක් වතුකරයේ පාසල්වලට ලබාදීම පිළිබඳව අපේ ජනතාව ජනාධිපතිතුමා ට කෘතඥ වෙනවා. තේ කර්මාන්තය මත පදනම් වුණු උඩරට වතුකර ආර්ථිකය ජාත්‍යන්තර ආර්ථිකය හා සම්බන්ධ කළ හැකි ලෙස වෙනත් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට මා පියවර ගෙන තිබෙනවා. ඉංග්‍රීසි දැනුම පරිගණක දැනුම ඇති තරුණ පරපුරක් බිහි කළ හොත් තව අවුරුදු ගණනාවකට රැකියා ප්‍රශ්නය මඟ හැර ගත හැකිය.

* වතුකරයේ ජනතාව වෙන මොන ලකුණ තිබුණත් ඡන්දයකදී අලියා ලකුණු හොයාගෙන ගිහින් ඡන්දය දෙන බවට එදා මතයක් තිබුණා. ඇත්තටම අලියා ලකුණ යටතේ එජාපය සමඟ ළඟින්ම දේශපාලනය කළ ඔබලාට බුලත් කොළය ඉදිරියේ සන්ධානයට කතිරය ගහන්න කියා දෙන්න අපහසු වුණාද ?

ඇත්තෙන්ම එහෙම තතත්වයක් තිබුණා. එදා එජාපයට අප උදව් කළ ආකාරය අනුවයි. එය තීරණය වුණේ වතුකරයේ ජනතාවට අලියා ලකුණ ඒ තරම් සමීප වුණේ අප එජාපය සමඟ සිටි කාලයේ දී පමණයි. අද වතුකරයේ ජනතාවට අලියා එපා වෙලා. එදා හිටිය තේජවන්ත අලියා වෙනුවට අද ඉන්නෙ ඇද වැටෙන්න ඔන්න මෙන්න අලියෙක්. එ වගෙ අලියෙක් පිටේ නගින්න තරම් අපේ ජනතාව මෝඩ නැහැ. මොකද දන්නවද අපේ ජනාතව හොඳ ශක්තිවන්ත නායකයන්ට හරි කැමැතියි. අද එජාපයට නාම යෝජනා පත්‍රයක්වත් හරියට දාගන්න බෑ. ඒකෙ ටිපෙක්ස් ගානවා. මේ වගේ දුර්වල අයට ඡන්දය දෙන්නෙ මොකට ද කියලා අපේ මිනිස්සු අහනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා