කුරසෝවා හරහා ජපන් සිනමාවට හරස්කඩක්

කුරසෝවා හරහා ජපන් සිනමාවට හරස්කඩක්

“කුරසොව වනාහි චිත්‍රපට රසිකයින් වෙත ජපන් සංස්කෘතිය මගින් පිරිනැමුණු උත්කෘෂ්ට දායාදයකි. ඔහුගේ කෘතීන් කවර රටක ප්‍රේක්‍ෂකයන් වුව රසවිඳිය හැකිය. ඔහු මනුෂ්‍ය වර්ගයා වීරයන් හා දුෂ්ටයන් ලෙස සානුකම්පිතව ඉදිරිපත් කරයි. ඔහු ලොව පුරා සිටින චිත්‍රපටකරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වනුයේ එහෙයිනි.”

ජපන් සිනමාව වෙත එසේ නැතහොත් පෙරදිග සිනමාව වෙත ජාත්‍යන්තරයේ අවධානය ගෙන ආ ප්‍රමුඛ සිනමාකරුවා අකිර කුරසොවාය. මෙතෙක් ලෝකයේ පහළ වූ උත්තම ගණයේ සිනමාකරුවෙක් ලෙස සැලකෙන කුරසෝවා පුළුල් ජීවන දෘෂ්ඨියක් සහිතව නිර්මාණකරණයේ යෙදුණු කලාකරුවෙක් බව ඔහුගේ දීර්ඝ නිර්මාණාවලිය දෙස පරීක්‍ෂාවෙන් බලන්නෙකුට පෙනී යනු ඇත.

දිනෙන් දින අලුත් වෙමින් ප්‍රේක්‍ෂකයා රඳවා ගනිමින් අඛණ්ඩව සිනමා නිර්මාණයෙහි යෙදුණු මෙම විශිෂ්ට සිනමාවේදියාගේ චිත්‍රපට බොහොමයක් සටහන්ව ඇත්තේ කලු සුදු මාධ්‍යයෙනි. එතෙක් කලු සුදු සිනමාවෙහි රැඳී සිටි සිනමාකරුවන් බොහෝ දෙනෙක් වර්ණ සිනමාව ඇරැඹීමත් සමඟම ඒ වෙත පිවිසිීමටත්, ඔහුට පසු පරම්පරාවේ බොහෝ සිනමාකරුවන් තම සිනමා දිවිය වර්ණ සිනමාවෙන් අරඹන විටද කුරසෝවා තවදුරටත් කලු සුදු සිනමාව අතරම රැඳීම එම ප්‍රතිපක්‍ෂ වර්ණ දෙක අතර නෙක අන්තරයන් සොයන්නට ඔහුගේ ඇති කැමැත්ත මැනවින් ප්‍රකාශ වන්නකි.

සිනමා මාධ්‍ය භාවිතය, කැමරාකරණය, චරිත හා සිද්ධීන් ගොඩනැගීම අතින් කුරසෝවටම වෙන්වුණු ජවයක් හා එය පසුපස එන සංයමයක් ද දක්නට ලැබේ.

මෙම චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය වීමට නියමිත කුරෝසාවාගේ අද්විතීයම සිනමා නිර්මාණය වන “රෂෝමොන්” නිර්මාණය කරන ලද්දේ 1950 වසරේදීය. රෂෝමොන් වූ කලි කුරෝසාවාගේ චිත්‍රපට අතරින් ජාත්‍යන්තර සිනමා උළෙලකදී අවධානය දිනා ගත් පළමු චිත්‍රපටයය. 1951 දී පැවැත්වූ වැනීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී එයට Grand Prix  ත්‍ය්‍යාගය හිමිවූ අතර 1952 දී පැවැත්වූ American Academy උළෙලේ දී එයට හොඳම විදේශීය චිත්‍රපට හිමි සම්මානය හිමිවූයේය.

රෂෝමොන් චිත්‍රපටය විශ්ව කීර්තියට පත් වූ ප්‍රථම ජපන් චිත්‍රපටය වන්නාක් මෙන්ම විදේශික ප්‍රේක්‍ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූ චිත්‍රපටය ද වන්නේය. අප මෙම කෙටි සටහන ආරම්භ කළ පරිදිම කුරසෝවාගේ චිත්‍රපටවලට වෙනත් දේශයන්හි ප්‍රේක්‍ෂකයන්ටද දේශ සීමා මායිම්වලින් තොරව සමීප වීමේ හැකියාවක් දක්නට ලැබේ. “රෂොමාන්” කුරසෝවාගේ විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැළකෙන අතරම තවත් සමහර සිනමා විචාරකයින් සලකන්නේ “ඉකිරු” ඔහුගේ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙසය.

රෂෝමොන්

”ඇතැම් අවස්ථාවලදී මට මරණය ගැන කල්පනා වේ. ඉතා කෙටි කාලයක් පමණක් ජීවත් වී ඉටුකිරීමට විශාල වැඩ කොටසක් තවමත් ඉතිරිව තිබියදී අවසන් හුස්ම හෙළිය හැක්කේ කෙසේදැයි සිතෙන විට මා තුළ නොසන්සුන් බවක් හට ගනී. ...... ඉකිරු බිහිවූයේ එබඳු සිතුවිලි වලිනි.”

”ඉකුරු” කුරසෝවාගේ ලෝක දෘෂ්ඨිය මොනවට පැහැදිලි කරන සිනමා කෘතියකි. නිලධාරිවාදය තියුණු ලෙස විවේචනයට ලක්කරන සිනමාකරුවා ජීවන තතු දෙස මානව භක්තිය මුසු දෑසකින් බලන්නට ඉකිරු හරහා අපට ආරාධනා කරයි. 1961 දී බර්ලින් චිත්‍රපට උළෙලේ දී Dolden Laurel ත්‍යාගය එම චිත්‍රපටයට හිමිවිය.

කුරසෝවාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් කොළඹ දී පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙලට කුරසෝවාට සමකාලීනව ජාත්‍යන්තර අවධානයට ලක්වූ අනෙක් සිනමාකරුවා වූ යසුජිරෝ ඔශුගේ චිත්‍රපට දෙකක් හා මෑත කාලීන ජපන් සිනමාවේ වඩාත් අවධානයට ලක්වූ සිනමාකරුවෙක් වන කොන් ඉචිකාවගේ සිනමා කෘතියක් එක් කර ගැනීමට සංවිධායකයන් ගනු ලැබූ තීරණය අගය කළ යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව අකිර කුරසෝවා හරහා ජපන් සිනමාව අධ්‍යයනය කිරීමට මහඟු අවස්ථාවක් මෙරට ප්‍රේක්‍ෂකයන්ට ලබාදීම නිසාය.

යසුජීරෝ ඔශු පමණ දේශීය ලක්‍ෂණ පිළිබිඹු කළ වෙනත් සිනමාකරුවෙක් නැති තරම්ය. ඒ නිසා ඔශුගේ චිත්‍රපට නරඹන ප්‍රේක්‍ෂකයාට ජපන් සිනමාව ගැන පමණක් නොව සුවිශේෂ අනන්‍යතාවයකින් යුත් ජපන් සංස්කෘතිය පිළිබඳවද යම් තරමක අවබෝධයක් ලබා ගත හැක.

කුරසෝවා හා ඔශු එකිනෙකට වෙනස් සිනමා මාධ්‍ය භාවිතාවක් පෙන්වන සිනමාකරුවන් දෙදෙනෙකි. ඔශුගේ චිත්‍රපටවල කතා වස්තුව එතරම් වැදගත් නොවන අතර ඔහු නිර්මාණය ගොඩනැගීමේදී අවධානය යොමුකරන්නේ චරිත හා සිද්ධි කෙරෙහිය. චරිත නිරූපණය සරලය. සංකීර්ණ කතා ව්‍යුහයක් ඇත්තේ නැත.

ඉකුරු

කුරසෝවා චිත්‍රපට අභ්‍යන්තර ඝට්ටනයන් බහුලය. සංකීර්ණ කතා තේමාවක් ඇත. චරිත නිරූපණය සංකීර්ණය. කෙතරම් ප්‍රතිවිරෝධතාවයන්ගෙන් බහුල වුවද ජපන් සිනමාවේ ප්‍රධානම ධාරාවන් දෙක නියෝජනය කරන සිනමාකරුවන් දෙදෙනා ඔවුන්ය.

ඔශුගේ චිත්‍රපටවලට බොහෝ විට වස්තු විෂය වී ඇත්තේ මධ්‍යම පාන්තික ජීවිත ගතකරන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන ගැටලුය. විශේෂයෙන්ම ජපන් ජන සමාජය කාර්මිකකරණය යටතේ ලබා ගත් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයත් සමඟ ඔවුන්ගෙන් අහිමිව ගිය පවුල් සබඳතාවය පිළිබඳවය. අවසානයේ පුද්ගලයාගේ හුදෙකලා වීම පිළිබඳවය.

එකී ශෝකාකූල පුවත ඔශු විවරණය කරන්නේ කුරසෝවා මෙන් සංකීර්ණ ව්‍යුහයකින් නොව ඔහුටම අනන්‍යය වූ ආත්ම සංයමයකිනි. මෙලෙස ඔවුන් දෙදෙනාගේම චිත්‍රපට මාලාවක් එකම අවස්ථාවකදී දැකගැනීමට ලැබී ඇති මෙම දුර්ලභ අවස්ථාව ලාංකීය සිනමා රසිකයා ඉතා උද්යෝගයෙන් පිළිගනු ඇතැයි අප එකහෙළා බලාපොරොත්තු වෙමු.

කුරසෝවාගේ සිනමා උළෙල චිත්‍රපට ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීමට සංවිධායකයන් අවධානය යොමු කිරීමද වැදගත්ය. සිනමා උළෙලේ ආරම්භක දිනය වන අප්‍රේල් 05 වෙනිදා පෙ. ව. 9.30 සහ ප. ව. 1.30 ට ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ ආචාර්ය ධර්මසේන පතිරාජගේ හා ආචාර්ය ටියුඩර් වීරසිංහ, සංගීතවේදී නදීක ගුරුගේ මෙහෙයවන කුරසෝවගේ සිනමා අධ්‍යයන සැසිය හා අප්‍රේල් 06 හා 07 යන දෙදින කොළඹ ජෝන් ද සිල්වා පරිශ්‍රයේදීම එම වේලාවන් තුළදීම පැවැත්වෙන කුරසෝවාගේ සිනමා කෘති ආශ්‍රය කොටගත් සංවාද සභාව පොදුවේ සිනමා ලෝලීන්ටත් විශ්වවිද්‍යාල ඇතුළු සිනමාව අධ්‍යයනය කරන ආයතනයන්හි දැනුම සොයන විද්‍යාර්ථින්ටත් වැදගත් වේ.

මෙයට පෙර 1996 වර්ෂයේදී ජපන් තානාපති කාර්යාලය විසින් මෙරටදී පවත්වන ලද අකිර කුරසෝව සිනමා උළෙල බෙහෙවින් සාර්ථකත්වයට පත්වීමෙන් මෙරට ප්‍රේක්‍ෂකයාත් ඔහුගේ සිනමාව කෙරෙහි දක්වන ඉමහත් ඇල්ම මනාව ප්‍රකට වේ.

මෙම කුරසෝවා ජන්ම ශත සංවත්සර සිනමා උළෙල මෙයට පෙර පවත්වන ලද සිනමා උළෙලයන්ට වඩා සුවිශේෂ වැදගත්කමක් දක්වන්නේ කුරසෝවාගේ ජාත්‍යන්තර අවධානයට ලක්වූ ප්‍රමුඛම සිනමා කෘතීන් ද්විත්වය වන “රෂෝමොන්” හා “ඉකුරු” මෙරට තුළදී තිරගත වන ප්‍රථම අවස්ථාව ද මෙය වීමය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා