ඇමැතිවරු මනාප පොරේ මම පාර්ලිමේන්තුවේ

ඇමැතිවරු මනාප පොරේ මම පාර්ලිමේන්තුවේ

ජයන්ත සමරවීර
කළුතර දිස්ත්‍රික් එ.ජ.නි.ස අපේක්‍ෂක

නතා විමුක්ති පෙරමුණේ අදූරදර්ශී ක්‍රියා කලාපය හේතු කොටගෙන විමල් වීරවංශ මහතා පක්‍ෂයෙන් ඉවත් වනවාත් සමඟම ඔහු හා සම්බන්ධ වී ජාතික නිදහස් පෙරමුණ ගොඩනඟා එහි ප්‍රචාරක ලේකම් වශයෙන් ද, ජාතික සංවිධායක වශයෙන් ද ජයන්ත සමරවීර කටයුතු කරනු ලබයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ආශීර්වාදය මැද කළුතර දිස්ත්‍රික්කයෙන් එ. ජ. නි. සන්ධානයෙන් මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන මොහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

* මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ඔබ දකින්නේ කෙබඳු දෘෂ්ඨි කෝණයකින් ද?

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ ඉදිරි ගමන් මඟ පිළිබඳ ව තීරණය කරනු ලබන සන්ධිස්ථානයක් වෙනවා. අවුරුදු 30 ක් මේ රට ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයෙන් මුදාගෙන පවත්වනු ලබන ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයයි මේ. පසුගිය මැතිවරණයේදී යුද ජයග්‍රහණය සඳහා උරදුන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ජනතාව විසින් කෘතවේදී වෙමින් රට භාර දුන්නා.

දැන් පවතින්නේ රටේ ඉදිරි ගමන් මඟ සරුකරන දේශප්‍රේමීන්ගෙන් සමන්විත වූ මැති සභාවක් ඇතිකර ගැනීමයි. ලබාගත් ජයග්‍රහණය විනාශ කර රට තුළ නැවතත් ව්‍යාකූල තත්ත්වයක් ඇතිකිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක කිරීමේ සැලසුම් අප දකිනවා. ඒ පිළිබඳ අවබෝධයකින් යුක්තව විජාතික බලවේග හමුවේ දණ නොගසන, විදේශ කුමන්ත්‍රණ පරදවාලීමට උරදිය හැකි, රටට අවංකවම ආදරය කරනු ලබන දේශප්‍රේමීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය විය යුතු වෙනවා.

* පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීමට ඔබ ඇතුළු ඔබ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා ඉමහත් කැපවීමක් වුණා. ඒ පිළිබඳ ව ජනතා තක්සේරුව කෙබඳු ද?

2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් අප මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. එදා එය අපි කළේ ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහර මැති ඇමැතිවරුන්ගේ තාඩන පීඩන මැද්දේ අපි කිසිම ලාභ ප්‍රයෝජන, තාන්න මාන්නවලට නොවේ වැඩ කළේ. 2010 දීත් එහෙමයි. ජනරාල් ෆොන්සේකා කුමන්ත්‍රණකාරයෙකු හැටියට මුලින්ම කීවේ අපි. එහිදී අපි විජාතික බලවේග, අභ්‍යන්තර කුමන්ත්‍රණ දුටුව නිසා ඒවා ලුහුබැඳ ගොස් හඬ නැඟීමක් කළා. ඒ බව ජනතාව හොඳින් දන්නවා. එය මගේ පෞද්ගලික ජයග්‍රහණයටත් හේතු වෙනවා.

* ඔබ පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා මෙවර මැතිවරණයේදී “මව්බිමේ පංචායුධය” යන නාමයෙන් ප්‍රසිද්ධියක් දී තිබෙනවා. එහි යථාර්ථය පැහැදිලි කරනවා නම්?

අපේ පක්‍ෂයේ තේමාව තමා ඒ. අපි හිතනවා මේ මවුබිම රැකගැනීම. අපල උපද්‍රාවන්ගෙන් රට බේරාගැනීම සිදුවී ඇත්තේ අපගෙන් කියලා. එහි කොටස්කරුවන් වී ඉතිහාසයට එක්වෙනවා. අපි නිර්මාණය කරන්නේ සෞභාග්‍යමත් ශශ්‍රී ලංකාවක්. එයට මුලින්ම භූමිය රැකගන්න ඕනෑ. අනතුරව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕනෑ. යහපාලනයක් ඇතිකරන්න ඕනෑ. ඒ සඳහා අපි කැපවීමෙන් වැඩ කරනවා.

* පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ පක්‍ෂය සන්ධානගත වුවත් තුන් කට්ටුවක් ලෙසින් තරග බිමේ සිට ජයග්‍රහණය කළා. මෙවර දිස්ත්‍රික්කයකට එක් අපේක්‍ෂකයකු පමණක් තරග කරන්නේ ඇයි?

අපේ පක්‍ෂය පිහිටුවා තවම වසර 02 යි. අපි දේශපාලන සංවිධානයක්. අපේ හැකියාව අපි කලින්ම තක්සේරු කළා. එහෙම කරල සෑම දිස්ත්‍රික්කයකටම එක් අපේක්‍ෂකයකු බැගින් සන්ධානගත කළා. මෙහි ප්‍රතිඵලය සෑම දිස්ත්‍රික්කයකින්ම අපේ අපේක්‍ෂකයකු ජයග්‍රහණය කරවීමයි. මේ අවුරුදු 02 ක ඇතුළත දී අපිට පක්‍ෂය ගොඩනඟා ගැනීමට කාලයක් තිබුණේ නැහැ. අපට සිද්ධ වුණේ ආරම්භයේ සිටම මැතිවරණවලට මුහුණදීලා ඒවා ජයග්‍රහණය කරවීමයි.

* මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජ. වි. පෙ. තම පක්‍ෂය හා ලාංඡනය අතහැර අලුත්ම නායකත්වයකින් හා ලාංඡනයකින් තරග කරනවා. මෙහි අවසාන ප්‍රතිඵලය ඔබ දකින්නේ කොහොමද?

මහත් වූ සෝදාපාළුවකට ලක්ව පක්‍ෂය අතුගෑවී යනවා.

* හොඳයි ඔබ ජයග්‍රහණය කළාට පසු කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන සංවර්ධන සැලැස්මක් තියෙනවද?

කළුතර දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති ගම්වල ගම නැඟුම යටතේ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක් ලබාදුන්නා. වැසී යාමට ගිය පාසල් 3 ක් නැවත ගොඩනැඟුවා. මොරොන්තුඩුව ධම්මානන්ද විද්‍යාලය එවැනි එක් විදුහලක් අද වන විට එහි සිසුන් 03 ක් විශ්වවිද්‍යාලයට යවන්න හැකිවීම අපේ ජයග්‍රහණයක් වෙනවා.විශේෂයෙන් දිස්ත්‍රික්කය පුරා සංචාරක, ධීවර, කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය සඳහා ජාතික වැඩපිළිවෙළකට ගොනු වී රැකියා අවස්ථා ඇති කිරීමේ විශේෂ සැලැස්මක් තියෙනවා. ඒ වගේමයි, බොල්ගොඩ උතුර, දකුණ කෘෂිකාර්මික බිම් පුරන්වෙලා ඒවා අස්වැද්දීමේ වැඩපිළිවෙළක් ද තියෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා