ගමටත් නගරයටත් සේවය කිරීම මගේ අරමුණයි

ගමටත් නගරයටත් සේවය කිරීම මගේ අරමුණයි

සමන්ත ධර්මසේන
මාතලේ දිස්ත්‍රික් එ.ජ.නි.ස අපේක්‍ෂක

1992 වසරේ රත්තොට ආසනයේ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තම දේශපාලන ගමන ආරම්භ කළ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ධර්මසේන මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයෙකු ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසේ. ඔහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

* ඔබේ දේශපාලන පසුබිම කවරාකාර ද?

මා 1992 වර්ෂයේ රත්තොට ආසනයේ මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කළා. 1993 පළාත් සභා මැතිවරණයත් 1994 පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුවත් ජයග්‍රහණය කරා ගෙන ඒමට කටයුතු කළා. 1997 වර්ෂයේ දී ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කර වැඩි ම මනාපයෙන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයත් 2001 වසරේ දී විපක්‍ෂ නායක ධූරයත් 2006 වසරේ දී නැවතත් සභාපති ධූරයත් දරමින් පුරා වසර 13 ක් මුළුල්ලේ මේ ප්‍රදේශයට අවංකව කැපවීමෙන් කටයුතු කළා.

මානව දයාව පෙරදැරිකරගත් දේශපාලන ගමන් මඟක ගමන් කරන නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාව ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කිරීම එතුමා මට කළ ගෞරවයක් විදියට සලකන්න පුළුවන්. ඊට අමතරව දිස්ත්‍රික්කය පුරා මහජනතාව රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව ඒ අය වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියේ දී සමාජයේ ආගමික නායකයන් සමඟ තරාතිරම නොබලා එකට එකතු වී නිරන්තයෙන් කටයුතු කිරීමට මා බලාපොරාත්තු වෙනවා.

* ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් ඔබ ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ සේවයක්ද?

රටක භෞතික සංවර්ධනය කොතරම් සිදු කළත් පිරිපුන් ජාතියක් ගොඩනගන්න බෑ. පන්සල, කෝවිල, පල්ලිය සමඟ එක්ව සදාචාර සම්පන්න , විනයගරුක, දැහැමි සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කරනවා. කෘෂිකර්මාන්තය අපේ ප්‍රධාන ආර්ථික සාධකයක්. අතීතයේ ලොව දියුණු ම කෘෂි තාක්ෂණයක් අප සතුව තිබූ බැවින් අප රට ආහාරයෙන් ස්වයංපෝෂිත සමෘද්ධිමත් දේශයක් වුණත් සමෘද්ධිය යළි අප වෙත ළඟා කර ගැනීමට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ සිටින සියලු ම රාජ්‍ය නිලධාරීන් ගේ මෙහෙයවීම මත ගොවි සංවිධාන මැදිහත් විය යුතුයි. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ ගැටලු සහ සංවර්ධනය වෙනුවෙන් සංවේදී ව කටයුතු කිරීමට අපේක්‍ෂා කරනවා.

රටට අවශ්‍ය ආකාරයෙන් දේශීයත්වය අගයන උගත් බුද්ධිමත් ජන කොටසක් බිහි කරලීම අධ්‍යාපනයේ අරමුණ වෙන්න ඕන. ඒ සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී දායකවීම මෙන් ම මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් ඇති කරදීම වෙනුවෙන් ;පනී සිටිනවා. මෙහිදී වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු යි. පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (පෙර පාසල්) සම්බන්ධයෙන් දැනට ඇති වැඩ පිළිවෙළ පිළිබඳ ව එතරම් ම සතුටු වෙන්න බෑ. ඉදිරියේ දී පළාත් පාලන ආයතන සමඟ එක්ව මේ සඳහා ගැලපෙන වැඩපිළිවෙළකට යෑම කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරනවා.

පෞද්ගලික අංශය අද රටේ ප්‍රධාන සාධකයක් බවට පත්වී තිබෙනවා. රාජ්‍ය අංශය සමඟ ගලපා ගනිමින් පෞද්ගලික ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් ඔවුන්ගේ ගැටලු සහ අවශ්‍යතා සපුරාලීමට රාජ්‍ය මැදිහත්වීම සම්බන්ධිකරණය වගකීමක් ලෙස සලකනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු රෝහල්, සායන මධ්‍යස්ථාන ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු කාර්යයන් පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීමට අපේක්‍ෂා කරනවා. කැඩුම් - බිඳුම් වෙදකම ඇතුළුව සිංහල වෙදකමේ විශිෂ්ටත්වය හඳුනාගෙන එය වර්තමානයට උචිත පරිදි වැඩි දියුණු කර, බටහිර වෛද්‍ය ක්‍රමය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළකට යාම කෙරෙහි රජයේ අවධානය යොමු කරන්නත් ඉදිරිපත් වෙනවා.

තරුණ පිරිසගේ සිතුම් පැතුම් හඳුනාගනිමින් ඔවුන් ගේ අනාගත බලාපොරොත්තු සපත කිරීමට රජය ගෙන යන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට අපේක්‍ෂා කරනවා. දිස්ත්‍රික්කයේ සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ කෙරෙහි අවධානය යොමුකර ජෛව විවිධත්වය අනාගත පරපුර සඳහා ආරක්ෂා කර දීමට පරිසරවේදීන් සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ගෙනයාම කෙරෙහි අවධානය යොමු කරනවා. දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට ඉඩම් නොමැතිකම පදිංචි ඉඩමට ඔප්පු නොමැතිවීම, බරපතළ සමාජ ගැටලුවක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා අදාළ ආයතන සමඟ එක්ව කඩිනම් වැඩපිළිවෙළකට යාමට කටයුතු කරනවා.

* ඉහතින් කී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔබ දැනට සැලසුම් කර ඇති සැලැස්ම කුමක්ද?

මාගේ දේශපාලන දිවියේ පුරා 13 වසරක් මුළුල්ලේ මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළා. එනිසා මාතලේ දිස්ත්‍රික්කය තුළ ඇති පොදු කාරණා පිළිබඳ ව මනා අවබෝධයක් මට තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ භූගෝලීය විෂමතාවන්ගෙන් හෙබි ප්‍රදේශයක් සංවර්ධනය කර යටිතල පහසුකම් සංවර්ධනය කර, දැනට අඩු පහසුකම් ඇති ගම් නියම් ගම් නගර බවට සංවර්ධනය කිරීම මාගේ ප්‍රධාන අරමුණයි.

ඒ සඳහා ම කැප වූ ජාතික සංකල්පයක් වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන සංකල්පය යටතේ මාතලේ දිස්ත්‍රික්කය පුරා සංවර්ධන කටයුතු කර ජනතාව නඟා සිටුවීම මාගේ ප්‍රධාන අභිලාෂයයි. ඔබ මා කෙරෙහි තබන විහ්වාසය කිසි විටෙකත් පළුදු කරන්නේ නෑ. එදා වගේම අදත්, අද මෙන් ම හෙටත් ඔබ සමඟ කටයුතු කරන බව නිහතමානීව සිහිපත් කරන්න කැමැතියි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා