පනස් තුනේ හර්තාලේ ගාන්ධි අනුගාමිකයා

පනස් තුනේ හර්තාලේ ගාන්ධි අනුගාමිකයා

අනඳපිය කුඩාතිහි

නිල් අහස දෙස බලා සිටි කුඩා ජෝර්ජ් දුටුවේ කුරුලු රෑනක් පියාඹන ආකාරය යි. කුරුලු රෑන දුටු වහාම ඔහු හුන් තැනින් නැඟී සිටියේ ය. එසැණින් ක්‍රියාත්මක වූ ජෝර්ජ් අහසේ පියාඹන කුරුලු රෑන දෙස බලාගෙන කඳු බෑවුම දිග දිව ගියේ ය. හැඳ සිටි සරම පටලැවී ඇද වැටුණු ජෝර්ජ්ගේ දිව දත් අතර තද වී දිවෙන් කෑල්ලක් වෙන් විය.

ජෝර්ජ් වැටුණ බව දුටු ඔහුගේ පියා වහා දිවැවිත් පුංචි ජෝර්ජ්ව ඔසවා ගත්තේ ය. ගාලු මහ රෝහලට ගෙන ගිය ජෝර්ජ් එහි නතර කෙළේ ය. ඔහුට දින ගණනක්ම රෝහලේ නතර වන්නට සිදුවිය.

රෝහලේ ඇඳක වැතිර සිටි සිය පුතුට ඇසෙන ලෙස පියා සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කවි ගායනා කෙළේ ය. ජෝර්ජ් ඒ මිහිරි හඬට සවන්දුන්නේ හරිම ආසාවෙනි. ඒ නිසාම ඔහුගේ වේදනාව ද පහ විය. ජෝර්ජ්ට සනීප වුණත් කතා කිරීමේ දී තරමක ගොතයක් තිබිණි. කාලයක් ගත වන තුරුම මේ ගොතය තිබෙන්නට විය.

කුඩා ජෝර්ජ් පසු කලෙකදි මේ රටට මහඟු සම්පතක්ම විය. ඔහු හෙළයේ භාෂා විශාරදයකු ද, සමාජවාදී දේශපාලන ව්‍යාපාරයේ ප්‍රාදේශීය නියමුවකු ද, මාධ්‍යවේදියකු ද, ලේඛකයකුද, කවියකු ද විය. මවුපියන් විසින් හුරතලයට ජෝර්ජ් නමින් හැඳීන්වූ ඔහු අන් කවරෙකුවත් නොව ඔහු නමින් අනඳපිය කුඩාතිහි ය.

1924 ජූලි 14 වැනිදා මං ඉපදුණා. මගේ උපන් ගම ගාල්ලේ බෝපේ. සිසිලියා ඩයස් අමරවර්ධන මගේ මව, පියා පබිලිස් ද සිල්වා කුඩාච්චි අප්පුහාමි, මට නංගිලා දෙන්නෙක් හිටියා. පවුලේ වැඩිමලා මං. මගේ පියා මට තැබූ නම තමයි ආනන්දප්‍රිය කුඩාච්චි. හුරතලේට මා ඇමැතුවේ ජෝර්ජ් කියලා.

මගේ අධ්‍යාපනය පාසල් කිහිපයකදීම සිදු වුණා. ගාල්ලෙ වැලිපත පාසල, උණවටුන අමරසූරිය බෞද්ධ මිශ්‍ර පාසල, උණවටුන බොනවිස්ටා පිරිමි ඉංග්‍රීසි පාසල, ගාල්ල විද්‍යාලෝක කොළඹ කොලේජ් ඔෆ් හයර් ස්ටඩි ආයතනය යනාදී අධ්‍යාපන ආයතන ගණනාවකින් ම මං ඉගෙන ගත්තා. මේ ඉගෙනීම් කටයුතු සිදුකරන විට උසස් බුද්ධිමත් පුද්ගලයන් ආශ්‍රය කිරීමට ලැබුණා. ඔවුන් ඇසුරු කිරීම මගේ ජීවිතය ගොඩනඟා ගන්න මට මහත් පිටිවහලක් වුණා.

උණවටුන බොනවිස්ටා පිරිමි ඉංග්‍රීසි පාසල උගතුන් ගණනාවක් බිහි කළ පාසලක්. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්වරු මේ පාසලෙන් ඉගෙනුම ලැබුවා. මාතර, ගොඩගම පදිංචි ආර්. එස්. ඩයස් මහතා පාසල් ගුරුවරයෙක්. ඔහු ඇන්ඳේ කදාර් බැනියමයි, සුදු දිග කලිසමයි, හිසට ගාන්ධි හිස් වැසුමක් පැළඳ සිටියා.

ඔහු ගාන්ධි අනුගාමිකයෙක්, ඩයස් ගුරුතුමා හරිම නිහතමානී, ඔහු සැබෑ දේශපේ‍්‍රමියෙක්, එකල ගාලු නගරාධිපති වුයේ විජයානන්ද දහනායක මහතා. ඩයස් ගුරුතුමා විසින් විජයානන්ද මහතා පාසලට ගෙන්වා ඔහුගේ දේශනයක් ළමයින්ට අසන්නට සලසා දුන්නා. දහනායක මහතා ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් කළ ඒ දේශනයට අපි වශී වෙලා වගේ ඇහුම්කන් දුන්නා. එදා සිට දහනායක මහතා අනුගමනය කරන්න මං පුරුදු වුණා.

පවුලේ සාමාජිකයන් සමඟ...

උණවටුණේ දේශපේ‍්‍රමී තරුණ සංගමය ‘පිහිටා තිබුණා, එහි සභාපති එඩ්වින් ආරියදාස, ලේකම් මං මහා සභා රැස්වීමේ දේශනාවක් සඳහා දිනක් ජයමහ වෙල්ලාල, අරිසෙන් අහුබුදු මහත්වරුන්ට ආරාධනා කළා.

ආනන්දප්‍රිය කුඩාච්චි නම, අනඳපිය කුඩාතිහි විය යුතු යැයි දිනක් වෙල්ලාල මහත්තයා යෝජනා කළා. කොහොම හරි ඒ යෝජනාව ස්ථිර වී එදා සිට මගේ් නම අනඳපිය කුඩාතිහි වුණා.

1946 දී මං කොළඹ, කොල්ලුපිටියේ ‘නැෂනල් ඉන්ස්ට්ටියුට් ඔෆ් හයර් ස්ටඩීස්’’ පෞද්ගලික අධ්‍යාපන ආයතනයට බැඳුණා. ලංකා සම සමාජ පක්ෂයේ මූලස්ථානය එවකට පිහිටා තිබුණේ කොල්ලුපිටිය හන්දියේ.

ඒ දිනවල සිටම මං සම සමාජ පක්ෂයට බැඳී ක්‍රියාකාරී සමාජිකයෙකු වුණා. හැමදාම හවසට මං සම සමාජ කාර්යාලයට යනවා. පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු සම සමාජ මුල් පෙළේ සාමාජිකයන් එහිදී හඳුනාගන්න මට අවස්ථාව ලැබුණා. විජයානන්ද දහනායක මහත්තයා ගාලු දිස්ත්‍රික්කයෙන් වාමාංශික මන්ත්‍රීවරයෙක් ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්ව සිටියා. ඒ මහතා සමඟ මගේ කිට්ටුම සබඳතාවක් තිබුණා.

1948 දී ඩී. ඇස්. සේනානායක අගමැතිවරයා වැලිගම ආසනයේ සංචාරයකට පැමිණියා. එකල උණවටුන සමසමාජ තරුණ සමිතියේ ලේකම් ලෙස මං කටයුතු කළා. මාත් සමඟ තව කීපදෙනෙක් එක් වී අගමැතිවරයාගේ පැමිණීමට විරුද්ධව පත්‍රිකාවක් මුද්‍රණය කර ඒ රැස්වීමට පැමිණි පිරිස අතර බෙදා දුන්නා. ඒ පත්‍රිකාවේ ශීර්ෂ පාඨය වුණේ ‘අගමැති ඩී. ඇස් සේනානායක පිළිගනිමු ද ? එක්සත් ජාතික පක්ෂයේ රජයෙන් පළිගනිමුද ?’ යන්නයි.

මේ පත්‍රිකා බෙදාහැරී තරුණයන්ගෙන් දෙන්නෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා මං බේරුණා. පසුව ඔවුන්ගේ මවුපියන් හබරාදුව පොලිසියට ගිහිං තමන්ගේ දරුවන්ව බේරා ගත්තා. මේ පුවත දහනායක මහත්තයට ආරංචි වෙලා තිබුණා. ඒ දවස්වල ඔහු මාත් සමඟ මේ සිදුවීම නිසා අමනාප වී සිටියා. ඊට සතියකට පමණ පස්සේ මං දහනායක මහත්තයාගෙ ගෙදරට ගියා. ගෙයි සාලයේ ඇවැදිමින් හිටිය දහනායක මහත්තයා මට ඇඟිල්ල දික් කරල මෙහෙම කීවා.

තමුසෙ එනකං තමයි මං බලාගෙන හිටියෙ. රටේ අගමැතිවරයා තමුසෙලාගෙ ගමට ආවම ඔහු පිළිගන්නෙ ඔහුට විරුද්ධව පත්‍රිකාවක් මුද්‍රණය කරල බෙදා හැරීමෙන් ද ? තමුසෙ පොලිසියෙන් අල්ලාගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කළා නම්, තමුසෙගෙ අම්මා තාත්තාගෙන් දොස් අහන්න වෙන්නෙ මටයි. තරුණකමට කරන ඔය වාගේ වැඩ දැන්වත් නවත්වනවා’ කියමින් දහනායක මහත්තයා මට උපදෙස් දුන්නා. ඒ වෙලාවෙ මං දහනායක මහත්තයාගෙන් සමාව ඉල්ලා හිටියා. ඊට පසුව ඔහු ටිකක් සන්සුන් වුණා. ඒ අමනාපය එතැනින් කෙළවර වුණා.

ගාලු නගර සභාවේ ලිපිකරු තනතුරක් මට ලැබුණා. සතියේ දවස්වල උදේ 9 සිට සවස 4.30 දක්වා කාර්යාලයේ සේවය කළා. ඉතිරි කාලයත්, නිවාඩු දවසුත් හෙළ හවුලේ වැඩවලට සහ සමසමාජ ව්‍යාපාරයේ වැඩ වලට යෙදුවා.

1952 පාර්ලිමේන්තු මහ මැතිවරණයට වැඩකිරීමටත් මට සිදු වුණා. පානි ඉලංකෝන් සහෝදරයා සමාජවාදී අපේක්ෂකයෙක් ලෙස වැලිගම ආසනයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. ඔහුගේ රැස්වීම්වලට මං නිතරම සහභාගී වුණා. නගර සභා නිලධාරින්ගෙන් අවසර නොගෙන රාජකාරියට නොගිහින් දේශපාලන රැස්වීම්වලට සහභාගීව සිටි මට දවසක් නගර සභා කොමසාරිස්වරයාගෙන් විදුලි පණිවිඩයක් ලැබුණා. එහි සඳහන් වුණේ් මගේ කන්තෝරු මේසයේ යතුරු වහාම ගෙනැවිත් බාරදෙන ලෙස. ඊට පසුදාම මං යතුරු ටික ඉංජිනේරු අංශයට ගිහිං භාර දුන්නා. ඒකෙන් මගේ රැකියාව යම්තමින් බේරුණා.

ගම් කාර්ය සභා මැතිවරණයක් 1953 දී පැවැත්වුණා. හබරාදුව ගම් සභාවේ මැටරඹ ආසනයට කොමියුනිස්ට් පක්ෂයෙන් මං ඉදිරිපත් වුණා. ගමේ තරුණ පිරිස මේ ඡන්දයේදී මට බොහෝ උදව් වුණා. දොස්තර වික්‍රමසිංහ මහතාත් මගේ රැස්වීමකට සහභාගි වී කතා කළා. ඉතා කෙටි කාලයකින් ගමේ අබලන් වූ පාරවල් දෙකකුත් ලිඳක් සාදා දෙන්නත් මට හැකි වුණා.

1953නේ හර්තාලෙන් කොටසක් සිදුකිරීමට ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ගාලු ශාඛාවේ ලේකම්වරයාත්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ මාත් භාරගත්තා. අපි හර්තාල් කළා. හර්තාලයට සහභාගී වූ සමහර තරුණ කොල්ලන්ට රැකියාත් අහිමි වුණා. ඔවුන්ගේ රැකියා නැවත ලබා දෙන්න මං උත්සාහ කළා. කොළඹට ආවා ගියා. මගේ උත්සාහයන් සාර්ථක වුණා. ඒ අනුව හර්තාලයේ දී රැකියා අහිමි වුණ කොල්ලන්ට නැවත රැකියා ලබාදීමට හැකි වුණා.

ගාලු නගර සභා පිටියේ දී හෙළ හවුලේ මෙහෙයවීමෙන් රැස්වීමක් පවත්වන්නට කටයුතු යොදා තිබුණා. මෙහි මුලසුන රැයිපියල් තෙන්නකෝන් මහ කවියා දැරුවා. කෝදාගොඩ සිරි ඥාණාලෝක නාහිමියන් ද, ගාල්ලෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා ද මෙහි දේශන පැවැත්වීමට නියමිතව තිබුණා. කොමියුනිස්ට් පක්ෂයේ සිටියත් සිංහලය රජයේ බස විය යුතුය යන මතයට මාත් එකඟ වුණා.

රැස්වීම පටන්ගෙන තිබියදි ටික වෙලාවකින් දහනායක මහතා පිරිවරාගෙන පිරිසක් ජයඝෝෂා නංවමින් රැස්වීම් භූමියට පැමිණියා. දහනායක මහතා පාර්ලිමේන්තුවට අපහාස කළැයි පැවරූ නඩුවෙන් දහනායක මහතා ජයගෙන තිබුණා. ඒ නිසා තමයි ජයඝෝෂා කළේ. ඒ අනුව භාෂා රැස්වීමේ මුහුණුවර දේශපාලන මුහුණුවරක් ගත්තා. දහනායක මහතා වේගවත් කතාවක් පැවැත්වූවා.

සිංහලය රජයේ බස විය යුතුයි. එය බහුතර ජනතාවගේ බසයි සුද්දන්ගේ කාලය ඉංගිරිසිය රජයේ බස වුණත් මින්පසු සිංහලය රජයේ බස විය යුතුයි’ ඔහු කියා සිටියා. ඔහුගේ කීම මුළු සභාවම අනුමත කළා.

පසු දිනෙක මේ භාෂා රැස්වීමේ වාර්තාව ඡායාරූපයක් ද සමඟ පුවත්පත්වල පළ වුණා. මං ඒ රැස්වීම අමතන ආකාරය ඒ ඡායාරූපවල පළ වුණා. මේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය මට එරෙහිව කටයුතු කළා. කුඩාතිහි කොමියුනිස්ට් පක්ෂයෙන් අස්කළ බව ‘දිනමිණ’ පුවත්පතේ පළ වුණා. ඒ පුවත්පතෙන්ම ඊට පිළිතුරු දෙමින් මා පළ කෙළේ පක්ෂය මාව අස්කරන්නට පෙර මා විසින්ම ඉල්ලා අස්වන බව දැනුම් දී පක්ෂයේ ලේකම්වරයාට ලියුමක් යැවූ බවයි.

1958 දී මං කොළඹ යුද හමුදා මූලස්ථානයේ ලිපිකාර සේවයට බැඳුණා. ලිපිකාර සේවයේ යෙදෙමින්ම දේශපාලන කටයුතුත්, ලේඛන කටයුතුත් සිදු කළා. හෙළ හවුලේ ප්‍ර‍්‍රධාන රජයේ ක්‍රියාකාරිකයකු වූ ගාමිණී තිලකවර්ධන මහත්තයා දිනක් යුද හමුදා මූලස්ථානයට මාව හමුවීමට පැමිණියා. යුද හමුදා සේවයෙන් ඉවත් වී පත්‍ර කලාවේදියකු විදියහට වැඩ කරන මෙන් ඔහු මට යෝජනා කළා. ‘ලේක්හවුස් ආයතනයේ ‘ජනතා’ පුවත්පතට උප කර්තෘවරුන් බඳවා ගන්න බවට ආරංචියක් තියෙනවා. කුඩාහිතිත් ඉල්ලුම්පතක් දාන්න ‘ජනතා’ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ඩී. එෆ්. කාරියකරවන මගේ මිතුරෙක්. කැමැති නම් ඔහුට ඔබ හඳුන්වා දෙන්නම්’ කියා තිලකවර්ධන මහත්තයා මට කීවා.

දිගු කලක සිට පුවත්පත් සඟරාවලට ලිය කියැවිලි සැපැයූ මං ඒ වන විටත් ලේඛකයකු ලෙස නමක් දිනා හිටියා. ‘ජනතා’ පත්තරේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ මට කාරියකරවන මහත්තයා ඒ වෙලාවෙම ‘ඩේලි නිව්ස්’ පත්තරේ කතු වැකිය සිංහලයට පරිවර්තනය කරන ලෙස කියා සිටියා. දින කිහිපයකට පසුව ‘ජනතා’ පත්තරේ උප කතුවරයෙකු ලෙස මං බඳවාගත්තා.

‘දිනමිණ’ පුවත්පතේ කාලයක් සේවය කළ මං ඉන් ඉවත් වීමට තීරණය කළා. 1989 දී ‘ ණ, න , ළ, ල යෙදුම’ පොත මං රචනා කළා. ඉන් පිටපතක් ‘දිනමිණ’ ප්‍රධාන සංස්කාරක ජී. එස්. පෙරේරා මහතාට ද පිළිගැන්වීමට මං ලේක්හවුසියට ගියා. එහි දී ජී. එස්. පෙරේරා මහත්තයා නැවත දිනමිණේ සේවයට පැමිණෙන ලෙස මට කියා සිටියා. ඊළඟ සතියේ ලේක්හවුස් සභාපතිවරයාගෙන් ලේක්හවුසියට කැඳවීමේ ලිපියක් මට ලැබුණා. ‘දේශය’ පුවත්පතේ මැයි දින කලාපය සකස්කිරීමට ද මට පැවැරුණා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා