නිසි බස් වහර පෑ ලක්මිණි පහන කුමාරතුංග මුනිදාස

නිසි බස් වහර පෑ ලක්මිණි පහන කුමාරතුංග මුනිදාස

1862 සැප්තැම්බර් 11 දින කොග්ගල ධම්මතිලක පඬිතුමා ඇරඹි “ලක්මිණ පහණ” 1883 ජූලි 28 ධර්මරත්න පඬිතුමාගේ සංස්කාරකත්වයෙන්, දෙවැනිවරට පළ කෙරිණි. 1924 නැවතුන “ලක්මිණි පහණ” යළි කුමාරතුංග මුනිදාස පඬිතුමන් දල්වා ලන්නේ ඉන් දස වසරකට පසුව 1934 දී ය. 1934 සිට 1936 දක්වා දැල්වුන ‘ලක්මිණ පහන’ පහනක්ම විය. ‘ලක්මිණ පහණ’ ලක්මිණ පහන’ යනුවෙන් වෙනස් කිරීමට හේතු පාඨ ඉදිරිපත් කරන කුමාරතුංගයන්.

“පහණ” යනු ගලට නම් වේ. දම්රුවනුන් මේ පත්‍ර‍්‍රය ඇතැම් උද්ධෘතයන්ගේ හිසට ගලක් මෙන් යෙදූ හෙයින්දෝ ‘පහණ’ යනුම ගත්හ. අපි එතරම් සහාසික නොවම්හ. පහන නම් ප්‍රදීපයයි. ප්‍රසන්න භාවය, පැහැදිලි බව, අඳුරු නැති බව, එළිය ඇති බව පහන් යනුවෙන් හැඟේ. එහෙයින් පහන් යනු සංස්කෘත ප්‍රසන්න පාළි පසන්න යන දෙකට ආසන්න යයි හඟිමු. අසුවල් ශබ්දයෙන් බිඳුණේ යයි කීම නුවණට හුරු නොවේ. එකක් සිතා එකකු එක් ලෙසත්, කීකල අනෙකක් සිතා අනෙකකුට අන් ලෙසක් කිය හැකිය.”

මාධ්‍යකරුවෙකුට යමක් දෙස ඔවුනොවුන්ගේ දෘෂ්ඨි කෝණයෙන් බැලීමට අවසර ඇති බවට කුමාරතුංගයන් මාධ්‍යකරුවාගේ භූමිකාව පළකළ අයුරු නොපෙනේද? ‘ලක්මිණ පහන’ පළකරවන කුමාරතුංගයන්

“ලක්මිණ පහන” කුමක් සඳහා ද?

ජාතිය නඟාලීමට
භාෂාව නඟාලීමට
ආගමය නඟාලීමට
අභිමානය නඟාලීමට
අදහස් නඟාලීමට
බොරුකම් මකාලීමට
කුහකකම් මකාලීමට
දීන බව මකාලීමට
දාස බව මකාලීමට
බැරි බව මකාලීමට

පත්‍රයක් වුවමනායැ. ඒ සඳහාය ලක්මිණ පහන සරල නිවැරදි භාෂාව, අක්ෂර වින්‍යාසය, පද බෙදීම, අදහස් නිරවුල්ව පැවසීම, විෂයානුබද්ධ වචන භාවිතය, දෙපිටකැපෙන වචන, සුගම සරල රීතිය, ඉදිරිපත්කරමින් නූතන මාධ්‍ය කරුවාට නිසි බස් මඟ පෑවෝ කුමාරතුංගයන්, බවට මෙ කරුණු සෑහේ. ‘ලක්මිණ පහන’ ජන සංනිවේදන මාධ්‍යකරණයට අත්පොත් තැබූ බවට සමකාලීන පුවත්පත්වල බස හා එහි රටාව අනුව සසඳා බලන කළ පැහැදිළිය.

‘ලකිමිණි පහන’ කතු වැකියක මෙසේ සඳහන් කරයි. කුමාරතුංගයන්, “අපගේ අයදුම ලද්දාවූ, නොලද්දාවූ සුධීහු ගද්‍ය පද්‍ය රචනාවන්ගෙත් අපගේ කිරියහල පිරැවූහ. පොත පතින් අවුලා ගත හැකි දෑ හිසින් උපදවන දෑ මෙන් ලියා එවන පින්වතුන් අති ස්වල්පවීම අපගේ භාග්‍යයකි.

කිසිවෙකුගේ රචනයක් අපට පි‍්‍රය වචන විලාසයට හැරවීමට අපි නොසැරැසෙමු. එහෙත් අතිශයින් ව්‍යාකරණ විරෝධී වූ හෝ ග්‍රාම්‍ය වූ රචනයකට අප පතෙහි ඉඩ ලැබෙතියි නොසිතනු මැනවි. අසාරවූ පද්‍ය රචනා විශේෂ සැලකිල්ලෙන් බැහැර කරනු ලැබේ. රසවත් නිවැරදි රචනා විලාසයට මේ පත්‍ර‍්‍රය ආදර්ශයක් කිරීමට සියලු ලෙසින්ම වෑයම් කෙරෙමු.”

‘ලක්මිණ පහන’ යම්කිසි එක් පුද්ගලයෙකුගේ හෝ එක් පක්‍ෂයක හෝ අදහස් මැ රටට ගන්වනු සඳහා පැවැත්වෙන පත්‍රයක් නොවේ. ධර්මය අතින් හෝ ශාස්ත්‍රීය අතින් හෝ ලොවට වැඩ සලසන ධීරයන්ගේ හැගීම් රට පුරා පතුරුවන්නට, මේ පත්‍රය මහමඟ කිරීම අපේ අදහසයි. එහෙත් සියලු සුධීහු මෙය ස්වකීය පත්‍රයක් මෙන් සලකා රටට, ජාතියට, භාෂාවට හැකි පමණින් වැඩ සලසන්නට ඉදිරිපත් වෙත්වා. වර්තමාන පුවත්පත්වල මාධ්‍යකරුවනට, මාධ්‍ය හසුරුවන්නන්ට අවශ්‍ය වපසරිය පෙන්නුම් කිරීමට කුමාරතුංගයන් ඉහත කරුණුවලින් ලබාදුන් එළිය ගැන වත්මන් මාධ්‍යකරුවන්ගේ ගෞරවය කුමාරතුංගයන්ට හිමි කළ යුතුයි.

“ඇමැතිතුමා දිවුරුම් දීම”

ළිඳට වැටී ළමයකුගේ මරණය සිදුවීම”

එදා සෙසු සමකාලීන පුවත්පත් වාර්තා ශීර්ෂ පාඨ පළවූ අයුරුයි. කුමාරතුංග ‘ලක්මිණ’ පහනින් ඒ අතීත කාල සිද්ධි වර්තමාන කාල රූපයෙන් තබමින් වත්මන් පුවත් ශිර්ෂ පාඨ මඟට මුල් අත්තිවාරම දැමුවේ මෙසේය.

‘ඇමතිතුමන් දිවුරුම් දෙයි’

“ළිඳට වැටී ළමයෙක් මරණයට පත්වෙයි”

‘ලක්මිණ පහන’ කවි පිටුව පළ කිරීම නිසා අමරසිරි ගුණවඩු, වෙල්ලාල ජයමග, වරකාගොඩ සිලිරුවන් හිමි, ආර්. සරණසේකර, ලයනල් ඩබ්ලිව්. ද සිල්වා, ආදීන් කාව්‍ය කරණයෙන් කැපී පෙනෙන්නට වූහ.

‘ග්‍රන්ථ පරීක්‍ෂා’ යනුවෙන් වර්තමාන පුවත්පත්වල ‘පොත්පත් විවේචන’ පළමුව හඳුන්වා දුන්නේ ලක්මිණි පහනින් කුමාරතුංගයන්ය. කටවහර හා ව්‍යක්ත භාෂාව සකස්කර සරලව පවත්වාගෙන යාමට කුමාරතුංගයන් මඟ හෙළි කළේය. ‘ලක්මිණ පහන’ ශාස්ත්‍රීය විශ්වකෝෂයක් බඳුවිය. වාද විවාද කීපයක් ලක්මිණි පහනින් පාඨකයා අතට පත්විය.

තිසර මයුර වාදය
චීවර වාදය
අමද්‍ය වාදය
පාරුපන වාදය

සමකාලීන සෙසු පුවත්පත්වල පළවූ වාද පෞද්ගලික එදිරිවාදිකම් ඔස්සේ ගලා ගියද ලක්මිණ පහනින්, එවැන්නකට ඉඩ නොලැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා