මොනර පිල් කළඹ යටින් පානම ගමට

මොනර පිල් කළඹ යටින් පානම ගමට

තවත් එක් අපූරු දවසකට මම පා එසවීමි. එදින මට මුලින් ම හමුවුණේ තේජාන්විත වෘක්ෂරාජයෙකි. ඉපල් සෑදී ගියත් මේ වෘක්ෂරාජයා තේජාන්විත යැයි මට සිතුණේ අවට වූ අන් සියලු වස්තූන් පරයා නැඟී සිටි බැවිනි. යාන්තමින් අඳුර මැකී යමින් තිබුණු ඒ හෝරාවේ මේ වෘක්ෂය මැවූ ඉපල් රටාව අතරින් හිරු එබී බලන අහස අපූරු ම දසුනකි.

අවදි වූ මොහොතේ පටන් ගමන කඩිනම් කළ මා මිත්‍රයාට එවෙලේ නම් කිසිදු කඩිමුඩියක් නොවී ය. ඔහු මේ ඉපල් රටාවට තම කැමරාව මානාගෙන සිටියේ ය. මම ද ඒ දෙසට දිව ගියෙමි. ශබ්ද නොකරන්නැයි ඔහු මට සංඥා කළේ ය. මම ද පොළොවේ ගෑවී නොගෑවී යාන්තමින් අඩි තබමින් එදෙසට ගියෙමි.

ඉපල් අතර යමක් සෙලවිණි. පුංචි ම පුංචි කුරුලු ජෝඩුවකි. ඔවුුහු තටු ගසමින් සිටිති. “හිමිදිරි පින්නට නැහැවෙන්න ඇති” මම සිතුවෙමි. ඔවුන් දවස ආරම්භ කර තිබිණි. අපි ද අපගේ සංචාරය ආරම්භ කළ යුතු විය. එනිසා අපි ඔවුනට සමු දී සුන්දර ආරුගම්බේ වෙරළ තීරය පසු කරමින් පානම බලා පිටත් වුණෙමු.

ආරුගම්බේ සීමාව පසු කළ අපි ඝන කෑළැවකට පිවිසුණෙමු. ගෙයක් දොරක් පේන තෙක් මානයක නැත. කැලෑව අතරින් වූ අප ගමන් කළ පාර ඈතට විහි දී තිබිණි. වෙනත් කිසිදු ශබ්දයක් නොවූ මේ ඝන කැලෑව අතරින් නොනවත්වා ඇසුණේ එක ම එක ශබ්දයකි. ඒ මොනරුන් ගේ හඬයි. පාර මායිමට පැමිණ සිටි මොනරු වාහනයේ හඬ ඇසෙත් ම කඩිමුඩියේ යළිත් වනයට වැදුණහ.

තවත් පිරිසක් මහ රුක් මුදුන් හි පිල් කළඹ පහතට හෙළාගෙන කෑ ගසන්නට වූහ. මොනර නැටුම් බලන්නට ද අපි වාසනාවන්තයෝ වූහ. මගේ සගයා ගේ වෑයම වූයේ මොනර නැටුම කැමරාවට හසු කර ගැනීමයි. එහෙත් එය හිතන තරම් ලෙහෙසි වූයේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව කොළයක් බිම පතිත වන තරමේ ශබ්දයකින් පවා කලබල වන ඔවුහු නැටුම පසෙක තබා වනයට වැදෙන බැවිනි.

හිමිදිරි පාන්දර වනයක අසිරිය විඳි අපි කෙමෙන් කෙමෙන් ගම්මාන මායිමට පිවිසුණෙමු. අපිව පිළිගැනීමට සැදී පැහැදී සිටියේ නිලට නිලේ දිස්වුණු පැළ ගොයමකි. වෙල් යාය මැදින් වැටුණු පාර දිගේ පානමට සේන්දු විය යුතු ය. දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ගැමියෝ යුහුසුළු වෙමින් සිටියහ. ඇතැම්හු පැළ ගොයමේ තිබුණු වල් පැළෑටි උදුරන්නට වූහ. තවත් පිරිසක් ගොන් බැඳි කරත්තවල බඩු පටවාගෙන වෙල මැද පාර දිගේ ගමන් කරමින් සිටියහ.

මේ සුන්දර දසුන් පසුකරගෙන අපි ගම්මැද්දට සේන්දු වුණෙමු. වාහනය නවතා තැබූ අපි ඉතා පටු පාරවල් දිගේ පයින් ම ඇවිද ගියෙමු. තමන්ගේ ගම ගැන ආඩම්බරයෙන් උදම් වන අපූරු මිනිසුන් ගේ කතා අපේ දෙසවන වැකිණි.

”මේ ගම හතර මහා නිධානයක්. එක පැත්තකින් කළපුව. එතනින් මාළු හම්බ වෙනවා. තවත් පිරිසක් මඩ ගොවිතැන් කරනවා. තවත් අය හේන් කොටනවා. අනිත් පැත්තෙන් බැද්දට ගියපුව ම ගඩා ගෙඩියක්, පැණි ටිකක් හොයා ගන්න පුළුවන්.”

අපට හමුවුණු සුදිරුක්කු ජයවික්‍රම තම ගමේ සශශ්‍රීකත්වය ගැන පැවසුවේ එසේ ය. ඔවුන් උදම් අනන තරමට ම මේ ගම සශ්‍රීක බව අපට පෙනෙන්නට තිබිණි. වෙල් යාය ද හේන් ගොවිබිම් ද, කැලෑව ද, කළපුව ද මේ සියලු අංග පානමට වාසනාව ගෙන දී තිබුණේ ය.

තාප්පවලින් වටකෙරුණු නිවෙස් මේ ගමේ දී දැක ගත නොහැකි විය. දඬුවැටවලින් නිවෙස් ආරක්‍ෂා වී තිබිණි. තැනින් තැන දක්නට ලැබුණු ආඬි ළිං තවත් අපූර්වත්වයක් එක්කර තිබිණි. පයින් ම ඇවිද කළපුවට ළඟාවීමට මට මහත් ආසාවක් ඇතිවිය. පානම ගම්මානයේ අරුම පුදුම පිහිටීම සියැසින් දැක ගතිමි. අපි වෙල්යාය පසු කර ගම් මැද්ද ද ඉක්මවා කළපු මායිමට සේන්දු වුණෙමු.

සිනහව තරම්ම ජීවිතයත් රසවත්...

එහි දී හේන් ගොවිබිම් අතරින් වූ පටු පාර දිගේ ඇවිද ගියෙමු. මුං ඇට හෝ කව්පි පැළ යන්තමින් මතුවෙමින් තිබිණි. එයින් මඳ දුරක් යන විට නැවත නෙත ගැටෙන්නේ කුඩා කුඹුරු පේළියකි. ඒ කළපු මායිමේ ම ය. කලපු මායිමක කුඹුරු තිබෙනු දැකීම මට මහත් පුදුමයක් විය. එහෙත් එය සැබෑවකි. ධීවරයන් ගේ් බෝට්ටු නවතා තිබෙන්නේ ද මේ කුඹුරු මායිමේ ය.

පානම ගම්මානයේ සුන්දර ම බිම් තීරුව මේ කළපු මායිමයි. රන් පැහැ ගැන්වුණු පුළුල් වැලි තීරුවකි. තැනින් තැන විසිර ගිය ගල් කුළු කළපුව අපෙන් සඟවා තබන්නට උත්සාහ ගත්තේ ය. ඒ අන් කිසිවක් නිසා නොව මේ ගල් කුළු වසාගෙන නොයෙක් ශාක වැවී තිබුණු බැවිනි. කරු මුල්වලින් වැල්ල තදින් අල්ලාගෙන සිටි කඩොලාන ශාක එක යායට වැවී තිබිණි.

”සුනාමියෙන් මිනිස්සු දහස් ගාණක් මැරුණා. ඒත් පානමට සුනාමියෙන් ලොකු කරදරයක් වුණේ නෑ.

සංචාරය කරන්න ආපු කෙනෙක් විතරයි මැරුණේ. එක ගෙයක් විනාශ වුණා. තවත් ගෙවල් කීපයකට සුළු හානි වුණා. එච්චරයි. ඒකට රහසක් තියෙනවා.”

කලපු මායිමේ දී අපට හමුවුණු විජේසේකර පවසයි.

”රහසක්...?” මම කුතුහලයෙන් විමසුවෙමි.”ඔව්. අපි මේ වැල්ල රකිනවා. අපේ මිනිස්සු මේ ගස් විනාශ කරන්නේ නෑ. සුනාමියෙන් අපිව ආරක්‍ෂා කළේ මේ වැල්ලත්, මේ ගස් පේළියත්”

වැල්ලේ අපි දිගු දුරක් ඇවිද ගියෙමු. ඈතින් මිනිස් රුවක් දිස්වෙමින් තිබිණි.

පානම ගමේ සොඳුරු දසුනක්...

පානම කළපුව...

මේ අහසට තවත් පාට කුමටද?

”අපි අර පැත්තට යමු” මම මිත්‍රයාට පැවසිමි.යන්තමින් දිස්වුණු මිනිස් රුව සමීපයට අපි ඇවිද ගියෙමු. ඔහු හතළිස් හැවිරිදි මුත්තු ය.

විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය කලපුවක මුත්තු තනියෙන් ම මාළු අල්ලමින් සිටියේ ය. ඔහු වීසි දැල විසි කරන ආකාරය හරි අපූරු දසුනක් විය. ඒ දෙස මඳ වේලාවක් බලා සිටි අපි ඔහුට සමු දී ඉදිරියට ඇදුණෙමු.

කළපුවේ පටු තීරුවක් දිගේ ඇදුණු ධීවර ඔරුවක් අපේ නෙත ගැටිණි. කිරළ ගස් අතරින් වූ මේ පටු තීරුව දිගේ ගමන් කළ ඔරුව අපූරු සුන්දරත්වයක් එක්කර තිබිණි. අපි කළපු මායිමේ තවත් දුර ඇවිද නොගියෙමු.

නැවතත් ගම් මැද්දට සේන්දු වුණෙමු. ඒ එන අතරමඟ දී අපට කාශ්‍ය පිල්ෙලෙ හමු විය. මේ මායිමේ පිහිටි සිංහල බහුතරයක් වසන එක ම ගම පානම වුණත් මෙහි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් සහජීවනයෙන් ජීවත් වෙති. ගමෙහි වූ කොණ්ඩය කපන සැලුන් එක හිමිවූයේ කාශ්‍ය පිල්ෙලෙය.

”සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම මේ ගමේ ඉන්නවා. කවුරුවත් රණ්ඩු වෙන්නේ නෑ.”

විසි දැල එළන රඟ...

ගම්වැසියන් ගේ සමඟිය ගැන කාශ්‍ය පිල්ෙලෙ ආඩම්බරයෙන් කතා කරන්නේ ය. පන්සලක් ද, පත්තිනි දේවාලයක් ද, ගණදෙවි දේවාලයක් ද ගම සතු ය. ගම් මැද්දේ දී අපට හමුවුණු ඉරේෂා අපට ආරාධනා කළේ පත්තිනි දේවාලේ පෙරහර බලන්න එන ලෙසයි.

”පත්තිනි මෑණියන් ගේ ආරක්‍ෂාව අපට තියනවා. අගෝස්තුවේ පෙරහැර තියනවා. ඒ කාලෙට ආවොත් අංකෙළිය බලන්නත් පුළුවන්.”

ඉරේෂා පවසන්නී ය. සැබවින් ම පානම සියලු දෙයින් පොහොසත් ය. සොබාදහමත් සමඟ තදින් ම බද්ධවුණු ඔවුන් ගේ ජීවන රටාව ඔවුනට ඒ සශ්‍රීකත්වය ගෙනවිත් දී තිබුණේ ය.

බොහෝ සුන්දර දේ දැක ගත්තෙමු. එහෙත් ඒ අපූරු මිනිසුන් ද අපූරු පරිසරයට ද අපි සමු දුන්නෙමු.

එහෙත් මේ ගම හතර මහා නිධානය යැයි පවසන සුදිරුක්කු ද හුදකලාව මාළු අල්ලන මුත්තු ද තම සැලුන් එකට කවුරුන් හෝ එනතුරු මඟ බලා සිටින කාශ්‍ය පිල්ෙලෙ ද පත්තිනි දේවාලයේ පෙරහැර බලන්නට එන්න යැයි පවසන ඉරේෂා ද මගේ මතකයෙන් කිසි දිනෙක ගිලිහී නොයනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා