පුංචි එංගලන්තයට පියවර තැබුවෙමු

පුංචි එංගලන්තයට පියවර තැබුවෙමු

රාත්‍රී අඳුර කපාගෙන මතුවන ආලෝකයකින් අප ගමන්ගන්නා රථය නැහැවී යයි. සිතට දැනෙන්නේ කිසියම් සැනසීමකි. ඒ පාළු ඉසව්වේ අප තනිවී නැතැයි සිතේ. එහෙත් මොහොතකින් සිත තවත් බියපත් වේ.

ඒ හොරෙක් – හතුරෙක් හෝ මංකොල්ලකාරයෙක්ද? එසේ නම් මේ පටු මාර්ගයේ ප්‍රපාතයට වාහනය පදවනු මිස වෙනත් විකල්පයක් තිබේද ? එවන් වූ සිතුවිල්ලකට පවා සිත ඉඩක් නොදේ. ඒ සමඟ ම සැනසුම් සුසුමක් මතු කරමින් අප පසුපසින් පැමිණි එළිය නොපෙනී යයි.

පාරේ වම්පසින් කළුවර කුට්ටි සේ මතුව පෙනෙන්නේ ඉහළ කොත්මලේ බලාගාරයේ ඉදිකිරීම් වෙනුවෙන් වෙහෙසෙන යන්ත්‍ර රැසයි. එම යන්ත්‍රවල ගමනාගමනය හේතුවෙන් මාර්ගය ද වඩා අබලන්ව ගොසිනි. එය අප ගමන තවත් පමා කරවයි. වෙලාව රාත්‍රී 9.00ට ආසන්නය.

කිලෝමීටර් ගණනාවක් පුරා පැතිරුණු හුදකලාව අවසාන කරමින් මිනිස් වාසයක ලකුණු එකින් එක දිස් වේ. ඒ සමඟ ම පටු මාර්ගය දෙපැත්තේ දුප්පත් කඩ පේලියකි. බොහෝ රෑ බෝවී ඇතත් තවමත් මිනිසුන් එකා දෙන්නා එම කඩපේලි ඇසුරේ රැඳී සිටිනු පෙනේ.

“මේ කොහෙද ?”

මම නිහඬතාවය බිඳීමි.

“මේ....නානුඔය, කොළඹ ඉඳන් කෝච්චියෙන් නුවරඑළි එනවා නම් මෙතනින් තමයි බහින්න වෙන්නේ.”

මගේ ගමන් සගයා පවසයි. ඒ සමඟ ම අප රථය අපහසුවෙන් පසුකර දමන්නේ මහාමාර්ගය හරහා ගමන් ගන්නා රේල්පීලි යුගලයයි. නානුඔය නගරය අඳුරේ වුව ද මට සුන්දරව පෙනේ. එයට හේතුව පැය තුන හතරක් තිස්සේ සිත පෙළූ හුදකලාව සමඟ මුසු වූ බිය එම නගරය දැකීමෙන් පහ වී යාම යැයි සිතේ. ඉදින් නුවරඑළියට තවත් ඇත්තේ කිලෝමීටර් කිහිපයකි. මට දැනෙන්නේ කුසගින්නකි. අපගේ ඇනවුම පරිදි සූදානම්ව ඇති ආහාරවේල මට සිහියට නැගේ.

“මෙතැනට කියන්නේ බ්ලැක්පුල් හන්දිය කියලා. මෙතනින් දකුණට හැරුණාම තියෙන්නේ හෝර්ටන්තැන්නට යන පාර. කෙලින්ම ගිහින් වමට හැරුණාම නුවරඑළිය ටවුන් එකට යන්න පුළුවන්...”

ගමන් සගයා පහදයි. මම අවට බලමි. අඳුර මිස කිසිවක් නොපෙනේ. අතීතයේ මේ ප්‍රදේශයේ කළුදිය පොකුණක් තිබෙන්නට අතැයි මට සිතේ. අප රටේ සුන්දරම ප්‍රදේශය වන මධ්‍ය කඳුකරය ආශ්‍රිතව වැටී ඇති නම්වලින් බොහොමයක් ම බෙහෙවින් ආකර්ශණීය ය. එයට හේතුව අතීතයේ මෙම ප්‍රදේශය පුංචි එංගලන්තය කොට ගෙන වාසය කළ සුදු ජාතිකයන් නිසාවෙන් වන්නට ද පුළුවන.

බ්ලැක්පූල් හන්දියෙන් අප රථය දකුණට හැරුණේ නැත. ඉදිරියට ගමන් කර එය මදින් මද ළං වන්නේ ආලෝකමත් ප්‍රදේශයක් කරා ය. වරින්වර එම ආලෝකමත් ප්‍රදේශය කඳුවලින් වැසී යයි.

“ඔය පේන්නෙ නුවරඑළිය ටවුන් එක.”

ගමන් සගයාගේ පැහැදිලි කිරීම මට අවශ්‍ය වූයේ නැත. අහා.....එසේ නම් අපි පුංචි එංගලන්තයට පැමිණියෙමු. ප්‍රීතිමත් හැඟීමක් හිත කොනිත්තනු දැනේ. එහෙත් රාත්‍රී අඳුර දැඩිය. අවට කිසිවක් නොපෙනේ. පුංචි එංගලන්තයේ සිරි නැරඹීමට උදෑසන වන තෙක් සිටිය යුතු බවකි.

නුවරඑළිය, බදුල්ල පාරෙන් මතුවන අප රථය එතැනින් වමට හැරී ගමන් කරයි. දැන් නම් අවට පාලුවක සේයාවකුදු නැත. හීත මකාලන කබා පොරවාගත් මිනිසුන් එකා දෙන්නා ගමන් කරන්නේ පපුව මත බැඳගත් දෑත් සහිතවය. රථයේ සියුම් ඉඩවරයකින් ඇතුළට රිංගාගත් සීතල ක්‍රමයෙන් දැඩිවනු මට හැෙඟ්. එහෙත් නවාතැනට තව ඇත්තේ නොබෝ දුරක්.

නුවරඑළිය තුරඟ තරඟ පිටියේ ධාවන පථය ආසන්නයෙන් මීටර් කිහිපයක් ගෙවා දැමූ රථය නගර ශාලාව ඉදිරියේ ඇති මාර්ගයෙන් හැරේ. පැය කීපයක ගමනක් අප විසින් නිමා කර දමා ඇති සෙයකි. දැන් ඉතිං අවශ්‍ය වන්නේ උණුසුම් ආහාර වේලකි.

අප රථය හෝටලයේ රථගාලට ළඟාවෙයි. අප හිතවත් මිතුරා අප එනතෙක් බලා සිටි සෙයකි. ඔහු අපේ පමාව ගැන විමසයි. මගේ ගමන් සගයා පිළිතුරු බඳීනු ඇසේ. බිමට බැසීම සඳහා මම රථයේ දොර විවර කරමි. එකවර ම දිව ආ කටුක සීතල මා වැළඳගෙන මට පහර දෙනු දැනේ. එහෙත් මා පසුබට විය යුතු නැත. වෑයමෙන් බිමට බට මම සීතල මැඩගෙන ඉදිරියට පා නගමි. දැන් මගේ පියසටහන් පුංචි එංගලන්තයේ විහිදෙනු ඇත.

හෝටලය ඇතුළත සුව පහසු නන් හැඩයෙන් යුතු විදුලි ලාම්පු ආලෝකයට අමතරව උණුසුම ද මවනු දැනේ. කාමරය මධ්‍යයේ ගිනි උදුන දළු දමමින් ඇවිලේ. සුවපහසුව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම හිතේ ප්‍රීතිය වර්ධනය කරයි. ඉදින් හෙට දිනයේ දී මේ කඳුකර ඉසව්වේ රෑ සිරිය හැකිතාක් දෙනෙතට උරා ගත යුතුය.

තව පියවරක් ලබන සතියේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා