සම්බාන් යාත්‍රා පැමිණි තොටුපොළ

සම්බාන් යාත්‍රා පැමිණි තොටුපොළ

“හම්බන්” නොහොත් “සම්බාන්” නමැති මුහුදු යාත්‍රා විශේෂය පැමිණියා වූ තොටුපොළ හම්බන්තොට යනුවෙන් හඳුන්වනු ලැබීය. මෙම තොටුපොළ හා සම්බන්ධ නගරය ද එම නගරය කේන්ද්‍රස්ථානය කරගත් පරිපාලන දිස්ත්‍රික්කය ද “හම්බන්තොට” නමින් ප්‍රසිද්ධියට පත් විය.

“මහතොට” “කළුතොට” යන නම්වලින් බිඳී ආ “මාතර” “කළුතර” වැනි නගර තොටුපොළ මධ්‍යස්ථානයන් වූ වග පෙනේ. ඒ ආකාරයෙන් “අම්බලන්තොට” “කල්තොට” ගොඩ නැඟුණු වග දැක්වේ. මාතර කළුතර පරිපාලන දිස්ත්‍රික්ක නම්වලින් ව්‍යවහාර විය.

“හම්බන්” යනු ඔරු දෙකක් එකට ගලවා සාදන ලද යාත්‍රා විශේෂයෙකි. මෙම යාත්‍රා වර්ගය මුහුදු ගමනා ගමනයේදී බෙහෙවින්ම භාවිතා කරනු ලැබීය. ආසියාතික ප්‍රදේශවල ජීවත් වූ චීන, මැලේ, හා යෝනක මුහුදු යාත්‍රිකයන් අතර මෙම යාත්‍රා විශේෂය බෙහෙවින් ජනප්‍රිය විය.

“හම්බන්” යන්න චීන භාෂාවේ සම්පාම් (Sampam) යන වචනයෙන් බිඳී ආවෙකැයි සැලකේ. චීන ජාතියෝ මෙම යාත්‍රා විශේෂය “සම්පාම්” යන නමින් හැඳින්වූහ. මීට බෙහෙවින් අනුරූපතාවක් දැක්වූ වචනවලින් විවිධ ජාතීහු මෙම යාත්‍රා වර්ගය නම් කළහ.

මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි මහතාගේ විග්‍රහයට අනුව මැලේවරු හම්බන් නමින් ද, ඉංග්‍රීසීහු “සම්පම්” යනුවෙන් ද පෘතුගීසීහු Shampwo, Shampana යන නම්වලින් ද මෙම යාත්‍රා විශේෂය හැඳින්වූහ.

සිංහල භාෂාවෙන් ව්‍යවහාරවන “හම්බන්” යන් “සම්පම්” යන වචනයේ මැලේ හා දෙමළ ව්‍යවහාරයන්ගෙන් බිඳී අවුත් සකස් වුවත් බව පෙනේ.

අපේ සම්භාව්‍ය සාහිත්‍යය ග්‍රන්ථයන්හි “හම්බන්’ ‘සම්පම්’ යන යෙදුම් සුලභව දක්නට නොලැබේ. මීට සමානතාවක් දක්වන ‘සධාන’ යනුවෙන් සද්ධර්මරත්නාවලියෙහි ද ‘සම්බානක’ ‘සම්බන්” යන වචන රාජාවලියේ ද හම්බම් යන්න ගංගා රෝහණ වර්ණනාවේ ද සඳහන් වෙතැයි විචාරකයෝ පෙන්වා දෙති.

ලංකාවේ ගිනිකොණ දිග වෙරළේ පිහිටි හම්බන්තොට පැරණි කාලසීමාවෙහිදී තොටුපළක් වශයෙන් පැවැති බව තහවුරු කෙරෙන ඓතිහාසික සාක්ෂි නැතැයි පැවසේ. පැරණි ඉතිහාසයක සමයන්හි මේ වෙරළබඩ තීරයෙහි පැවැති වැදගත් තොටුපොළ වූයේ වන නදී (වලමේ) මෝයේ පිහිටි ගොඩවාය යි. ක්‍රි.ව. දෙවැනි ශත වර්ෂයේ ගොඩවාය ලංකාවේ ගිණි කොන දිග ප්‍රදේශයේ පිහිටි වැදත් ම වරාය වූ බව ඓතිහාසික සාක්ෂි මගින් තහවුරු වේ.

ගජබාහු රජතුමන් දකුණු ඉන්දියාවේ සොළී දේශය ආක්‍රමණය කර මෙරටින් වහලුන් වශයෙන් ගෙන ගොස් සිටි සිංහල ජනයාද තමන් යටත් කර ගත් සොළින් ද කැටුවවිත් ලංකාවට ගොඩ බැස්සේ මේ තොටුපළින් යැයි ජනප්‍රවාදයක් හම්බන්තොට ප්‍රදේශයේ පවතී. මෙම සේනා පැමිණ ඇත්තේ හම්බන් යාත්‍රාවලිහි. එතැන් පටන් මෙම ප්‍රදේශය හම්බන්තොට වශයෙන් ව්‍යවහාරයට පත්විණැයි මතයක් ද ඇත. එහෙත් මෙම මතය තහවුරු කිරීමට ප්‍රබල සාධක නැතැයි විද්වත්හු පවසති.

මධ්‍යම භාගයේ අවසාන භාගයේ සිට මෙය තොටුපොළක් වශයෙන් ආරම්භ වී ඇත. අන්තර් දේශීය මුහුදු පරිවහනයෙහි යෙදුණු යාත්‍රා ගිණිකොණ දිග වෙරළේ පිහිටි මෙම තොටට පැමිණ බවට සාක්ෂි පවතී.

මුහුදට බිහිසුණු තුඩුවක් මඟින් නිර්මාණය වූ මුහුදේ ප්‍රචණ්ඩ රළ පරවලින් ආරක්ෂා වූ පුළුල් ඉඩ පහසුකම් සහිත මෙම වරාය එකල මුහුදු පරිවහනයේ යෙදුණු යාත්‍රිකයන් අතර බෙහෙවින් ප්‍රචලිත විය.

ලබන සතියට....

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා