උපුල් චන්දන සෝපානයේ හිර වෙලා

උපුල් චන්දන සෝපානයේ හිර වෙලා

කෝටි ගණන් මුදල් වැය කරන ක්‍රිකට් ආයතනයට විදුලි ජනක යන්ත්‍රයක් නැද්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුව පැවැත්වෙන අතරතුරදී හදිසියේම විදුලිය ඇන හිටියේය.

මේ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි සෝපානයද අතරමග නැවතුණ අතර එහි ඉහළට පැමිණෙමින් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දන ඇතුළු පිරිසක් පිටතට පැමිණීමට නොහැකිව හිරවී සිටියහ. පසුව ක්‍රිකට් ආයතනයේ සේවකයන් පිරිසක් පැමිණ මහත් ආයාසයක් දරා සෝපානයේ දොර විවෘත කර උපුල් චන්දන ඇතුළු පිරිස එළියට ගත්හ.

විදුලිය එනතුරු මිනිත්තු 45 ක් පමණ ප්‍රවෘත්ති සාකච්ඡාව නැවතී තිබුණු අතර කෝටි ගණනින් මුදල් වැයකරන ක්‍රිකට් ආයතනයේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැති දැයි මාධ්‍යවේදීහු ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළහ.

ලක්ෂ ගණන් වැටුප් ලබන සේවකයන් ක්‍රිකට් ආයතනයේ සිටියදී විදුලි ජනක යන්ත්‍රයක් නිසි පරිදි පවත්වාගැනීමට නොහැකි ඇයි දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා පැවැසුවේ, තම පාලන කාලයේදී ක්‍රිකට් පුහුණුකරුවන් 16ක් පමණක් බඳවාගත් බවයි.

“මා පැමිණෙන විට නිලධාරීන් හා සේවකයන් 236ක් සිටියා. ඒ අය අවශ්‍යද යන්න ඉදිරියේදී සලකා බලනවා” සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා