පොලිසියට ප්‍රථම ජය

පොලිසියට ප්‍රථම ජය

කැල්ටෙක්ස් ලීග් රගර් තරගාවලියේ මූලික වටයේ තරග නිමාවීමට සති 2ක් ඉතිරිව තිබියදී තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය සනිටුහන් කිරීමට පොලිස් පිල සමත් විය. හැව්ලොක්ස් කණ්ඩායම සමඟ පොලිස් පිටියේ පැවැති මේ තරගයෙන් ලකුණු 18 - 13 ක් වශයෙන් ජය වාර්තා කිරීමට පොලිස් පිලට හැකිවිය.

තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 3 – 6 ක් ලෙස පසුබෑමකට ලක්වී සිටි පොලිස් පිල දෙවැනි භාගයේදී විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණය වෙමින් ලැබූ ජයග්‍රහණයට දඬුවම් පහර 2ක් , උත්සාහක දිනුමක් සහ ගෝලයක් ඇතුලත් වූ අතර හැව්ලොක්ස් පිල රැස් කළ ලකුණු 13 ට ගෝලයක් සහ දඬුවම් පහර 2ක් අන්තර්ගත වී තිබිණි.

නාවික හමුදා පිල සහ යුද හමුදා පිල අතර යුද හමුදා පිටියේ පැවැති තරගයෙන් ලකුණු 16 - 8ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළ අපරාජිත නාවික හමුදාව ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ තවදුරටත් තුන්වැනි ස්ථානයේ රැඳී සිටියි.

තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු තත්ත්වය වූයේ 8 -7 කි.

නාවික හමුදා පිලේ ලකුණු 16 ට දඬුවම් ගෝලයක් සහ දඬුවම් පහර 3ක් ඇතුළත් වූ අතර යුද හමුදා පිල වාර්තා කළ ලකුණු 8 ට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් අන්තර්ගත විය. මේ අතර ගුවන් හමුදා පිල සහ සී.ආර්.සහ එෆ්.සී. පිල අතර ලොංග්ඩන් පෙදෙසේ පැවති තරගයෙන් ලකුණු 13 – 18 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සී.ආර්. සහ එෆ්.සී.පිල සමත් විය. තරගයේ පළමුභාගය නිමාවන විට ලකුණු තත්ත්වය 13 - 13 ක් ලෙස සමවී තිබිණි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලියේ නොකඩවා ලැබූ පස්වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට මේ සතියේදී සමත් විය. සී.එච්.සහ එෆ්.සී. පිල සමඟ මෙට්ලන්ඩ් පෙදෙසේ පැවැති තරගයේ දී ලකුණු 55 - 7 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා