ආසියානු ග්‍රෝන් ප්‍රී පළමු අදියර අද

ආසියානු ග්‍රෝන් ප්‍රී පළමු අදියර අද

ආසියාකරයේ සුපිරි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින 2010 ආසියානු ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා උලෙළේ පළමු අදියර අද (01) ඉන්දියාවේ පූනානගර ප්‍රධාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ආසියාතික මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලට අදියර තුනක් ඇතුලත් වන අතර මීට කලින් වසර වලදී එම අදියරවල් ආසියානු කලාපයේ රටවල් තුනකදී පවත්වනු ලැබිණ. එසේ වුවද මෙවර මෙම ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ අදියර තුනම ඉන්දියාවේ නගර තුනකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අනුව පළමු අදියර අද (1) පස්වරු 1.00 ට ඉන්දියාවේ පූනා නගරයේදී පැවැත්වෙන අතර දෙවැන්න මේ මස 5 වැනි දින ඉන්දියාවේ බැංගලොර් නුවරදීද තෙවැනි සහ අවසාන අදියර ජුනි 9 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර ජවහල්ලාල් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.

චීනය, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තිහකට ආසන්න සංඛ්‍යාවකින් ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ආරාධනා ලැබී ඇත්තේ මෙවර තුන්දෙනෙකුට පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර ෂෙහාන් අබේපිටිය (මීටර් 100), මීටර් 400 ඉසව්වට නවක ධාවන ශූරයෙක් වූ කසුන් සෙනෙවිරත්න සහ සාග් රන් පදක්කම්ලාභීනී චන්ද්‍රිකා සුභාෂිනි (මී. 400) ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ ඉසව් සඳහා තරග වදින අතර පුහුණුකරු සහ කළමනාකරු වශයෙන් සුනිල් ගුණවර්ධන මහතා සහභාගි වෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා