සද්දන්තයකු සොයා වනාන්තරයට

සද්දන්තයකු සොයා වනාන්තරයට

නැගෙනහිර ප්‍රදේශය භාර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය මගින් ගල්ඔය නිම්න ජාතික උද්‍යානය මධ්‍යයේ සිදුකෙරුණු දුෂ්කර වනජීවී මෙහෙයුමක් පසුගියදා අත්දකින්නට අපටද හැකි විය. ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගෙන් ලද තොරතුරකින් කියවුණේ උද්‍යානය තුළ ඩ්‍රැකියුලා ගල්ගේ හා මකර ආශි‍්‍රත ප්‍රදේශවල වැව් පිටියේ රෝගාතුර අලියෙකු සිටින බව ය. ගමන් කිරීමේ අපහසුතාවයත්, ආහාර හිඟයත්, නිසා දෝ එම දැවැන්තයා වැහැරී සිටි බව වැඩිදුරටත් අසන්නට ලැබී තිබුණි. මේ සුවසේවා මෙහෙයුම සැලසුම් කෙරුණේ් ඒ අනුව ය.

පළපුරුදු වනජීවී නිලධාරියෙකු වන ලෝරන්ස් බෙන්ජමින් මහතාගේ මූලිකත්වයෙන් චමිල් ප්‍රසාද් ධර්මදාස, සුගත් ජයතිලක, චමින්ද අත්තනායක, පියල් උපනන්ද යන වනජීවී නිලධාරීන් සහ කීර්ති පතිරණ රියදුරු මහතා ගමනට සම්බන්ධ වූහ. සීමාරහිත මහ වනයේ සද්දන්තයෙකු හෝ සෙවීම පහසු කටයුත්තක් නොවන හෙයින් ඒ සඳහා වැඩි කාලයක් ලබා ගැනීමට උදෙන් ම ගමනාරම්භ කිරීම අවශ්‍ය ය.

ගමනේ මුල් අදියරය ඉඟිනියාගල පිහිටි උද්‍යාන භාරකාර කාර්යාලයට ගොස් උද්‍යාන භාරකාරතුමා දැනුවත් කර ඉන්පසුව සේනානායක සමුද්‍රය වැව් බැම්ම මතින් ගොස් ඉඟියාගල කඳු ගැටය පාමුල ඇති වනජීවී කාර්යාලය වෙත ගමන් කළ කණ්ඩායමේ ඉදිරි ගමන ජල දුර්ගයක් හරහා සිදු කිරීමට නියමිත විය. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ බෝට්ටුවක් අපට සහය දැක්වීය.

පක්ෂි සමූහය

සරලිති නගන සේනානායක සමුද්‍රයේ ජල තලය දෙබෑ කරගෙන ගමන් කරන යාන්ත්‍රික බෝට්ටුව මන්දගාමීව ගමනේ යෙදෙයි. ජල තලයෙන් ඉහළට එසැවුණු දිරාගිය තුරු කඳන් මතට නැගගත් පැන්තුඩුවන්, දියකාවුන් හා නන් වැදෑරුම් කොකුන් අද ජලචර පක්ෂීන් දිවා භෝජනය සොයද්දී අප ඒ අතරින් ඉදිරියට ම ගමන් කළෙමු. සමුදුර මධ්‍යයේ ඇති දූපත් සමූහය පක්ෂි සමූහයාට කදිම නවාතැන් සපයයි.

ඉඳහිට අභ්‍යන්තර ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ් රුවල් ඔරුය. අප රෝගාතුර දැවැන්තයා පිළිබඳ ඔවුන්ගෙන් වරින් වර විමසුවෙමු. නමුත් ප්‍රමාණවත් තොරතුරක් ලබා ගන්නට අප දහවල් වනතුරුත් අපොහොසත් වීමු. සැඩ හිරු රැසින් ජල තලය රිදී තැටියක් ලෙස පෙනෙන අයුරු සුන්දර නමුත් එක දිගට නැරඹීම අපහසුය. අලි රංචු කිහිපයක් ජලාශයේ නොයෙක් දියමංකඩවලින් ජලය සොයා පැමිණ සිිටි අතර අප ඔවුන් දෙසද විපරම් කළත් අපගේ අරමුණ ඉටු නොවුණි.

දහවල් සැඩ හිරු රැස් මෙන් වනවාසීන්ටද පීඩාකාරී ය. විශේෂයෙන් තුනීම රෝම පැතිරුණු හස්ති සිරුරට සැඩ සූර්යය රශ්මිය තදින් පහර දෙයි. එහෙයින් සැරිසැරුම මඳකට නතර කර වනාන්තරය තුළට වැදෙන අලි රංචු ඇහැටු වැනි විශාල තුරුපාමුලට වී තුරු හිස් සෙවන විඳීති. යන්තම් දෑස් ද පියා ගනිති. එහෙයින් දහවල් කාලයේදී වැව් පිටියට පැමිණෙන අලි ඇතුන් සෙවීම උගහටය. ගමනේ මූලිකයා වූ අත්දැකීම් බහුල ලෝරන්ස් මහතාට අනුව අපට කෙටි විවේකයක් ලබා ගැනීමට ඒ ඉඩවරයයි.

අලි රංචුවක්

සවස්වරුවේ යළිත් විපරම් කරමින් බැලූ වනජීවී නිලධාරීන් කණ්ඩායමට උද්‍යානයේ මකර ආශි‍්‍රත ප්‍රදේශයේ දී යළිත් සැදෑ සිරි සමඟ වැව් පිටියට සේන්දු වන අලි රංචුවක් නිරීක්ෂණය විය. අප බෝට්ටුව වැව් පිටිය වෙත පදවා අලි රංචුවට මීටර් 200 ක් පමණ දුරින් ගොඩබිම වෙත පා තැබුවෙමු. ඇස් හා කන්වලින් තියුණු සංවේදීතාවයක් ලබා නොගන්නා අලි ඇතුන් වඩාත් විශ්වාසය තබන්නේ තමන්ගේ ඉව කෙරෙහිය. එහෙයින් අප දැඩිව විමසිලිමත්විය යුත්තේ සුළං හමන දිසාව කෙරෙහි ය. මේ මොහොතේ සුළඟ හැමුවේ අලි පංතියේ සිට අප වෙත බැවින් ගැටලුවක් නොවීය. අප ගල් පර්වතයක් අසල හිඳගෙන අලි රංචුවේ සාමාජිකයන් පිළිබඳව විපරම් කළෙමු.

පි‍්‍රස්ම දෙනෙතියකින් අලි රංචුව විපරම් කළ අත්තනායක තමන්ගේ නිරීක්ෂණ සිහින් සරින් සෙසු පිරිස වෙත මිමිනීය. ඒ සම්බන්ධ පැහැදිලි කිරීම් ලෝරන්ස් මහතා විසින් ඉඳහිට සිදු කෙරේ. අපට නිරීක්ෂණය වූ අලි රංචුව අත්තම්මා කෙනෙකු මූලික කරගත් පැටවුන් හා ගැහැනුු සතුන් සහිත සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වියයුතු බව අත්තනායක මුමුණයි.

මාතෘ මූලික සමාජ රටාවක් සහිත අලි ඇතුන්ගේ බොහෝ විට රංචු වශයෙන් හැසිරෙන්නේ ගැහැනු සතුන් හා පැටවුන් ය. එහි නායිකාව අත්දැකීම් බහුලව මිත්තණියකි. මිටි පඳුරුවලින් ගහන බැදි කුට්ටියක් හරහා වැටී තිබුණු මංකඩින් වැව්පිටියට අවතීර්ණ වන්නට අලි රංචුව වැඩි වේලාවක් ගත කළේ එක් මොහොතකදී හෝ අපගේ ඉව දැනුණු නිසා විය යුතුය. ඒ අසලින්ම දඟ කළ මුව රංචුවක් අප පිළිබඳ දැක දෑස් නොහෙලා බලා සිටියෝය. මද වේලාවකින් වනයටද පැන ගිය නමුත් අලි රංචුවට ඒ පිළිබඳ ගණනක් නැත.

මුලින් ම වැව්පිටියට අවතීර්ණය වූ අත්තම්මා තම හොඬ සිව්දිගට ඉවකර බැලුවාය. ඒ පිටුපසින් කුඩා අලිපැටවකු සහ උගේ මව යැයි සිතිය හැකි අලි සාමාජිකාවක් වැව්පිටියට බැස්සාය.

‘ඇතෙකුත් ඉන්නවා කියන්නකෝ’ අත්තනායක තම දෑස් අදහාගත නොහැකි ලෙසින් පැවසීය. අප වඩාත් විපරම් කළෙමු. පඳුරු අතරින් ඉඳහිට ධවල වර්ණ දළ කෙටිවල මුල් කොටස දැකගත හැකිය. අප මහත් සතුටට පත් වීමු. අඩි දෙකක් පමණ දිගැති සිහින් දළ යුගලක් සහිත එම සොබාදහමේ අමිල දායාදය වැව්පිටියට අවතීරණ විය. තවත් මඳ වේලාවකින් එම රංචුවෙහිම අප අපේක්ෂා කළ දැවැන්තයා ද දකින්නට ලැබීම අපට තවත් අස්වැසිල්ලක් විය.

වහා වහා ඖෂධ එන්නත් සූදානම් කෙරුණි. කණ්ඩායමේ පළපුරුදුම නිලධාරීන් කිිහිප දෙනෙක් සුවසේවා මෙහෙයුමේ ඉදිරි කටයුතු සැලසුම් කළහ. වැව්පිටිය ඔස්සේ ගමන් කිරීම අලි රංචුව අප වෙතින් පලායෑමට හේතු විය හැකි බැවින් වනාන්තරය තුළින් ගොස් දැවැන්තයන් වැව්පිටියට බට මංකඩින්ම අලි රංචුව වෙත ළඟාවීම සුදුසු බව ලෝරන්ස් මහතාගේ අදහස විය. කණ්ඩායම ඒ අනුව ක්‍රියාත්මක වූහ.

වැව් පිටිය හරහා කෙටිදුරක් ගොස් අප වනාත්තරයට ඇතුළු වීමු. එහි සෑම තැනකම පාහේ් අලින් ගමන් කිරීම නිසා හටගත් අලිමංකඩ ය. ඒ ඔස්සේ ගමන් කිරීම පහසු ය. නමුත් අලින්ගේ ගණ සමට නොදැනෙන එරමිණියා යෝධ නිදිකුම්බා ආදී තියුණු කටු අපගේ ගමන සීමා කිරීමට සමත් ය. අපගේ ගමනේ අතරමඟ වනාන්තර කොතනකින් අලි රංචුව වෙත විපරම් ඇස හෙලීම වරින්වර සිදුවිය.

බෙහෙත් උණ්ඩ රැගෙන...

ඒ සෑම අවස්ථාවකම ඇත් රජුගේ අභිමානය දෙසත් රෝගාතුර දැවැන්තයාගේ අසරණකම දෙසත් අප පරීක්ෂාවෙන් බලා සිටියෙමු. ඒ අතර අප වෙත වනාන්තරය තුළින් උවදුරක් එල්ලවීමට තිබූ අවධානම සෑමවිටම මඟ හැරුණේ ලෝරන්ස් මහතා අතිනි. වන විද්‍යාවේ කෙළ පැමිණි ඔහුගේ සවනට ඉතා කුඩා පත්‍රයක් පෑගීමෙන් නැගෙන හඬක් පවා ඇසේ. බොහෝ විට ඔහුට අසන්නට ලැබුණේ අප විසින් ඇති කළ ශබ්දයන්ය. ඒ අප තවමත් වන සංචාරයේ ආගන්තුකයන් වන බැවිනි.

ඉව

අප කෙමෙන් කෙමෙන් අලි රංචුව වැව්පිටියට පැමිණි මංකඩින් වැව්පිටිය අසලටම සේන්දුවීමු. අපත් සද්දන්තයින් රංචුවත් අතර ඇත්තේ උපරිම වුවහොත් මීටර් 15 ක පමණ දුරකි. අලි ගඳ අපගේ නැහැ පුඩුවලට තදින් දැනේ. අලියකු තමන්ගේ පයෙන් පස් බිඳ උදුරාගත් තණ පඳුරක් එහි වැලි ඉවත්වන තුරු එහෙ මෙහෙ සොලවන “චපස් චපස්” හඬ ද ඇසේ.

අලි ඇතුන් පැමිණි මංකඩ වනය තුළදී දෙකට බෙදී මීටර දහයක් පමණ දුරගොස් ස්ථාන දෙකකින් වැව්පිටියට ළඟා වෙයි. එක් අලියෙකු එම මංකඩ දෙක අතර ප්‍රදේශයේ රැඳී සිටි අතර අපට අවශ්‍ය රෝගී අලියා සහ සෙසු පිරිස රැඳී සිටියේ අප පැමිණි මංකඩ මැදිවන පරිදි මංකඩ දෙකින් ඉවතිනි. මංකඩ දෙක අතර රැඳී සිටින තරමක් විශාල හස්තියා අපගේ ඉව දැනීදෝ තදින් විපරම් කර බැලීම මේ අතර අපගේ කනස්සල්ලට හේතු විය.

තවත් එක් මොහොතක් හෝ ප්‍රමාද වීම සද්දන්තයන් රංචුවම වනාන්තරයට පලායෑමට හේතු වනවා නොඅනුමානය. තනි අලියාට හා අලි රංචුවට මැදිවී සිටියදීම ලෝරන්ස් මහතා සහ සුගත් මහතා තුවක්කු ආධාරයෙන් රෝගී අලියාට බෙහෙත් එන්නත් කිරීමට කටයුතු කළෝය. අනපේක්ෂිත ලෙස නැගුණු වෙඩි හඬින් අලි රංචුවේ සාමාජිකයින් පස්දෙනකුම වනාන්තරය දෙසට පලායන්නට වූහ. ඉතිරි සද්දන්තයා වහාම වනාන්නරය තුළට රිංගන්නට තෝරා ගත්තේ අප රැඳී සිටි මාවතය.

දැවැන්තයා මංකඩ වෙත හැරෙන්නට උත්සාහ කරද්දීම කණ්ඩායම උගේ නෙත ගැටුණි. වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව භාරව සිටි චමිල් මහතා නොසැලී සද්දන්තයා අභිමුව රැඳී සිටී. අපගේ වාසනාවට හෝ දැවැන්තයා යළිත් හැරී තමන්ගේ සෙසු සඟයන් දිවගිය දෙසටම දිව නොයන්නට සමහරවිට මෙම ලිපිය මීට වඩා වෙනස් අවධානයකට ඇදී යන්නට තිබුණු අවධානම කිසිදු අයුරකින් අතිෂයෝක්තියක් නොවේ.

ට්‍රම්පට්

‘මම කෑ ගැහුව නෙවෙයි කෑ ගැහුණා. ‘ දුරින් රැඳී සිට සිද්ධිය දෙස බලා සිටි අත්තනායක පසුව ප්‍රකාශ කළේය. ඔහු ඇතුළු පිරිසකගේ කෑ ගෑමද සැබැවින්ම සද්දන්තයා අන්ද මන්ද කර අපට පහර නොදී පලායෑමට හේතු වන්නට ඇති.

රෝගාතුර වන සතුන්ට ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අලි ඇතුන්ට වන ජීවී නිලධාරීන් භාවිත කරන ක්‍රම වන්නේ සතුන් සිහිසුන් කිරීම හෝ නිඳි ගැන්වීම හා බෙහෙත් සිරින්ජර, තුවක්කු ආධාරයෙන් එන්නත් කිරීමයි. මෙහි සඳහන් කළ දෙවැනි ක්‍රමය වඩාත් අවදානම් වන්නේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් තැති ගන්නා සත්වයාගේ ඉදිරි ක්‍රියාමාර්ගය කෙබඳු විය හැකි දැයි අනාවැකි පළ කළ නොහැකි බැවිනි. අලියාට ඇති විකල්ප දෙක පැනයාම හෝ සතුරාට පහරදීමය.

ට්‍රම්පට් හඬ නගමින් වනයට දිව ගිය අලි රංචුව තමන්ගේ නිදහස් සුවයට සිදු වූ බාධාව සම්බන්ධයෙන් දැඩි කෝපයට පත්ව ඇති බව තවදුරටත් වනය තුළින් ඇසුණු ගෙරවිල්ලෙන් සහ අතු බිඳෙන හඬින් පසක් විය. කිසිවකුටත් අනතුරක් නොමැතිව මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලෝම සතුටට පත්වූහ. එසේම දළ ඇතාගේ තොරතුරු විමසා බැලීමට හැකි වීමද ඉතා වැදගත් කටයුත්තකි.

ඒ මන්ද නිරන්තර අවධානයෙන් නොසිටින්නට මෙවන් දළ ඇතුන්ට අත්විය හැකි ඉරණම ඛේදනීය විය හැකි බැවිනි. මේ වනතුරුත් දැවැන්තයා සැලකිය යුතු අතුරු ආන්තරාවකින් තොරව සුවසේ ආරක්ෂිතව කල් ගෙවන බව තහවුරු කරගත් නමුත් අඛණ්ඩව එසේ සොයා බැලීම් ඉදිරියටත් කළ යුතුය.

අවර හිරු සිත්තම සමුදුරු ජල තලය මත නේක පැහැ සිතුවම් කරද්දී අපට ඇඳීරි වැටීමට පෙර සිදු කළ යුතු තවත් කාර්යක් ඉතිරිව තිබුණි. ඒ අපගේ බෝට්ටු ගමනාන්තයට ළඟා වීමයි. ජල තලය තුළ සැඟවී ඇති හා ඉස්මතුවී පෙනෙන යවුල් බඳු රුක්කඳන් අඳුරේ ගමන්කරන අපගේ ඇසෙහි නොගැටී බෝට්ටුව සිදුරු කිරීමට වන අපට අත්වන ඉරණම දෙවරක් සඳහන් කළ යුතු නැත.

ජීවිතාරක්ෂක කට්ටල පැළඳ සිටියද ඒ අනතුර පහවන්නේ නැත. තත්ත්වය බැරෑරුම් කරමින් නොදැනීම රාත්‍රිය උදා වුවද ගමන් නායකයා බෝට්ටුවේ ඉදිරි කොටසේ රැඳී සිටිමින් අඳුරට දෑස් දල්වාගෙන බිහිසුණු යවුල් පිළිබඳව විපරම් කළේය. ඒ දෑසට මග හැරුණු අනතුරක් ඉඳ හිට අපට ඉව ඇල්වුවද බෝට්ටුව පැදවූ ඇන්ටන් මහතාගේද දක්ෂකම් නිසා අපට අනතුරක් සිදු නොවුණේ අපගේ අරමුණ යහපත් නිසා වන්නට ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා