මුද්‍රණ ශිල්පයේ ඓතිහාසික උරුමක්කරු

මුද්‍රණ ශිල්පයේ ඓතිහාසික උරුමක්කරු

සෝමපාල හේවාකපුගේ

නම - සෝමපාල හේවාකපුගේ
උපන් දිනය - 1937 දෙසැම්බර් 10
ගම - මාතර නාවිමන
මව - එන් . ලියනආරච්චි
පියා - දොන් හෙන්ද්‍රික් අප්පුහාමු හේවාකපුගේ
ඉගෙන ගත් පාසල් - මාතර නාවිමන මහාරාජ විදුහල, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය.
රැකියාව - වෙළෙඳාම
පවුලේ සහෝදරයන් - හතරයි
පවුලේ සහෝදරියන් - හතයි

නිල්වලා ගඟ අසබඩ සල්මල් ගසක් යට කොලුවෙකු වාඩි වී සංගීතය හැදෑරුවේ ය. පාසලේ මුල් ගුරුතුමා වයලීනය ගසමින් සංගීත පාඩම ඉගැන්නුවේ ය. ගංගා දියේ පාවී යන මල්, කොළ, ඔරුපාරු දෙස බලමින් එහි කලා රසය වින්දද ඔහු සිය සංගීත පාඩම අතපසු කර නොගත්තේ ය. සුන්දර පරිසරයත් සමඟ මුසුව ඇති කලා රසය විඳිමින් සංගීත පාඩම අපූරුවට ඔහු හැදෑරුවේ ය.

සංගීතය පමණක් නොව ඉගෙනීමට ඇති සෙසු විෂයන් ද හොඳින් උගත් ඔහු පසුකාලීනව කලා ලෝකයටම සම්බන්ධ වෘත්තියක නියැලුණේය. එය වෘත්තියක්ම නොව සේවයකි. මුද්‍රණ ශිල්පයෙහි ඓතිහාසික උරුමක්කරුවෙකු වන ඔහු ඔබ අප හැමදෙනා හඳුනන ‘සෝමෙ අයියා’ ය. සමහරු ඔහු හඳුන්වන්නේ ‘බාබු’ නමිනි. ‘සෝමේ අයියා’ නමින් බොහෝ දෙනා ඔහුව අමතති. එහෙත් ඔහුගේ සැබෑ නම වන්නේ සෝමපාල හේවාකපුගේ ය.

මගේ අයියා එඩ්වින් හේවාකපුගේ, ඔහු ගුරුවරයෙක්, කොටහේන කුමාර විද්‍යාලයේ අයියා ඉගැන්වීම් කටයුතු සිදු කළා. මං කොළඹට ආවේ 1964 දී පමණ. අයියාට කොළඹින් ගුරු පත්වීමක් ලැබුණාට පසුව අයියා කොළඹ ආවා. ‘අයියා කවදාවත් බඳින කෙනෙක් නොවෙයි. ඒ නිසා උඹ අයියාගේ තනියට පලයන්’ කියලා අපේ අම්මා මට කිව්වා. ඒ විදිහට තමයි මං කොළඹ ආවේ.

අයියා කුමාර විද්‍යාලයේ උගන්වන කාලේ ජී.ඩී.එල්. කියන ශිෂ්‍යයා ‘’තොටුපළ’’ නාට්‍යයට අකුරු පෝස්ටරයක් ගැහුවා. ඒක අයියාට ඇල්ලුවේ නැහැ. එඩ්වින් අයියා මුද්‍රණාලයක් පටන් ගන්න හිතුවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මරදානේ අයි. පී. බී (International Publications Bureau) මුද්‍රණාලය බිහි වුණේ. ලිනෝලියම් තහඩු භාවිතා කරමින් අප මුද්‍රණ කටයුතුª සිදු කළා.

පෝස්ටර්, සමරු කලාප, ටිකට් හා ග්‍රන්ථ එදා මේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කළා. කොයි මොහොතකවත් මුද්‍රණාලය ඇතුළෙ කලාකරුවෙක් නොසිටින වෙලාවක් හොයාගන්න බෑ. විශේෂයෙන්ම මං මුද්‍රණාලයේ සිටින බව දැනගත්තොත් ඒ වෙලාවට තමයි බොහෝ කලාකාරුවන් මුද්‍රණාලයට එන්නේ. එඩ්වින් අයියා ඉස්කෝලෙ මහත්තයා නිසා තරමක් නීතිකාරයෙක්.

මුදල් නැතිව ඔහුගේ මුද්‍රණ ටික ගෙනියන්න නාට්‍යකාරයෙක් පැමිණියොත් ඔහුට මුදල් රැගෙන එන ලෙස අයියා කියනවා. ඒ නිසා සමහරු මුද්‍රණාලයට එන්නේ මං සිටි වෙලාවට පමණයි. අයියාට හොරා පිටුපස දොරින් නාට්‍යකරුවන්ගේ පෝස්ටර්, සමරු කලාප ආදී මුද්‍රණයන් ටික දීලා, පස්සෙ සල්ලි අරං වරෙන් කියලා යවනවා. මේ බව අයියා දැනගත් පසු අම්බානට මං බැනුම් අහනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්ලිව්. ඩී. අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ජයලත් මනෝරත්න, අශෝක හඳගම, සුනන්ද මහේන්ද්‍ර, නන්දා මාලනී, සනත් නන්දසිරි, තිලක් අබේසිංහ, ලාල් හෑගොඩ, පේ‍්‍රමසිරි කේමදාස මාස්ටර්, හෙන්රි ජයසේන වගේ එකී නොකී කලා ලෝකයේ බොහෝ දෙනෙක් IPB මුද්‍රණාලයට පැමිණියා. ඒ නිසා මට ඔවුන්ව හඳුනාගන්න වාසනාව ලැබුණා.

දවසක් රෑ 10ට විතර දයානන්ද ගුණවර්ධන ප්‍රෙස් එකේ දොරට ගහනවා. මං දොර ඇරියම ‘සෝමේ, සෝමේ මට රුපියල් පහක් දියන්’ කියලා ඉල්ලුවා. ඉතිං මං රුපියල් පහ දුන්නා විතරයි කඟවේනා වගේ ඔහු දුවගෙන ගියා. රෑට මරදානෙ හරියට නරක ගෑණු ඉන්නවා. මං හිතුවා ඒ ගෑනියෙක්වත් දයානන්ද පස්සෙ පන්නවාද කියලා. පහුවදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මං ගියා සුගතපාල ද සිල්වා හමුවීමට.

ඔහු සිටින මේසෙට තවත් මේසයක් එහායින් තමයි දයානන්දගේ මේසෙ තියෙන්නේ. මං ගිහිං වාඩිවෙලා සිටින විට දයානන්ද ආවා. ‘ආ තමුසෙ ආව එක හොඳයි. ඊයේ රෑ ගත්ත රුපියල් පහ මෙන්න’’ කියලා ඔහු මට දුන්නා. ඒ දවස්වල දයානන්ද ගුණවර්ධන කළ ‘පද්මාවතී’ නාට්‍යයේ මුද්‍රණ කටයුතුවලට රුපියල් 750ක මුදලක් මට ඔහුගෙන් ගන්න තිබුණා. රුපියල් පහ මට දෙන විට මං කිව්වා, ඔය රුපියල් පහ නෙවෙයි ‘පද්මාවතී’ නාට්‍යයේ රුපියල් 750 දෙනවා කියලා. ‘’හා ... හා පොඩ්ඩක් හිටපන්’ කියලා මහ හයියෙන් හිනාවෙලා දුන්න රුපියල් පහත් අරගෙන ආපසු ගියා. අන්තිමට මට රුපියල් පහත් නැති වුණා රුපියල් 750ත් නැති වුණා.

1985 දී සංගීත කණ්ඩායමක් සමඟ මං ප්‍රංශයේ චාරිකාවක් ගියා. ඒ සංගීත කණ්ඩායමට මාලනී බුලත්සිංහල, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, තිස්ස සිරි පෙරේරා, ලක්ෂ්මන් විජේසේකර, විජේරත්න රණසිංහ, ටී. එම්. ජයරත්න ඇතුළු පිරිස සහභාගී වුණා. ප්‍රංශයේ සිට ජර්මනිය දක්වා අපව රැගෙන යන්න වෑන් ඩ්‍රයිවර් කෙනෙක් ඇවිත් හිටියා. වෑන් එකට තෙල් ගහන්න ඕන නිසා මඟ දී ෂෙඩ් එකක නතර කර තෙල් ගහගත්තා.

ටික දුරක් යන කොට එන්ජිං එකේ අමුතු සද්දයක් ඇවිත් වාහනය නැවතුණා. බලනකොට ඩීසල් වෙනුවට ෂෙඩ් එකෙන් ගහගෙන ඇවිත් තියෙන්නෙ පෙට්‍රල්, පසුව ඩ්‍රයිවර් කෝල් කරලා වාහනය ඇඳගෙන යන්න වාහනයක් ගෙන්වා ගත්තා. ඒ ආව ඩ්‍රයිවර් බෙල්ජියම් කාරයෙක්. අපේ වාහනයේ ඩ්‍රයිවර්ට සිංහල පුළුවන්. අපට ඉංග්‍රීසි පුළුවන් වුණාට බෙල්ජියම්කාරයාට ඉංග්‍රීසි බෑ. භාෂාව නිසා අපි හරිම ගැටලුවකට මුහුණ දුන්නා.

වාහනය ඇඳගෙන යන්න පැමිණි වාහනයේ ඉස්සරහින් මාලනීව වාඩි කෙරෙව්වා. කැඩුණු වෑන් එක බැඳලා තිබුණ පස්සෙන් අපි එල්ලුණා. මඟදී යනකොට සුනිල් මට මෙහෙම කියනවා. ‘මචං, බැරි වෙලාවත් වෑන් එක ගැටගහලා තියෙන කම්බි ටික ගැලවුණොත් මොනවා වෙයිද’ කියලා. ලොකු වාහනයේ පැමිණි ඩ්‍රයිවර්ගෙ ගෙදරට අප එක්කගෙන ගියා. පාන්දර 2.30 ට විතර ඇති. බෙල්ජියම් කාරයාට භාෂාව බැරි නිසා මං ඔහුට අතින් පයින් කතා කළා.

ඔහුට ඒවා තේරුණා. මං ඔහුට අතින් කිව්වා අපිව කෝච්චියකට ගිහින් දාන්න කියලා. ඔහු අපව මොන්ස් ස්ටේෂන් එකට ගිහින් ඇරලුවා. රෑට මේ ස්ටේෂන් එකේ ගණන්කාරයො ඉන්නවා. ඒ නිසා මං ඇඳගෙන සිටි කෝට් එක මාලනී ඇන්ඳුවා. සරමකුත් අන්ඳලා මාලිනී පිරිමියෙක් කළා. කොට්ටෙකුත් දීලා අපි මාලනීට කිව්වා නිඳා ගන්න කියලා. එහෙ සිටින ගණන්කාරයෝ පිහිවලට බයයි. මගේ ළඟ ලියුම් කවර අරින පොඩි පිත්තල පිහි තල දෙකක් තිබුණා.

අපි එය අත්ලෙ අතුල්ලමින් ස්ටේෂන් එකේ එහෙට මෙහෙට ඇවිද්දා. ඒ නිසා එතැන හිටිය ගණන්කාරයො කවුරුත් අපට කිට්ටු වුණේ නෑ. හරි අමාරුවෙන් එදා රෑ ගත කරලා අපි කට්ටියම ළඟ තිබුණ සල්ලි එකතු කර කෝච්චියේ ගියා. බාධා මැඳ අපේ විදේශ චාරිකාව නිම කළා. බාධා තිබුණත් ඒ අත්දැකීම් සුන්දරයි.

පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව‘ නාට්‍යයේ මුද්‍රණ කටයුතු IPB මුද්‍රණාලයේ කළා. ඔහු සෙක්කුව නාට්‍යය ප්‍රදර්ශනයත් කළා. ඒත් ඒ නාට්‍යයේ මුද්‍රණ ගාස්තු මට ලැබුණෙ නෑ. රුපියල් 700 මුද්‍රණ ගාස්තු ඔහුගෙන් ගන්න තිබුණා. පාරක්‍රම මේ දවස්වල බැන්ඳා. මඟුල් ගෙදරට එන්න කියලා මටත් ආරාධනා කළා. බොරැල්ල YMBA  එකේ උත්සවේ තිබුණෙ. කාලා බීලා අපි හොඳට සතුටු වුණා. මනමාල ජෝඩුවට තෑගි දීලා සුබ පතන අවස්ථාව පැමිණියා. මාත් ගිහින් ඔවුන්ට සුබ පැතුවා. සුබ පතලා පරාක්‍රමට මං කිව්වා, සෙක්කුව නාට්‍යයේ රුපියල් හත්සියයක පෝස්ටර් ගාස්තුව මඟුල් ගෙදර මගේ තෑග්ගට හිලව් කර ගනිං කියලා. ඒ විදියට අපේ හිතවත්කම දිගටම තිබුණා.

සැන්ටින් ගුණවර්ධනත් මගේ මිතුරෙක්. ඔහු මිනින්දෝරු දෙපාර්තමෙන්තුවේ සේවය කළා. නෙදර්ලන්තයට යන්න ඔහුට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු ගියා. දිනක් සැන්ටිං මට කතා කරලා කිව්වා. ‘මචං, ගුණවතී විතරයි ගෙදර ඉන්නෙ. උඹට පුළුවන්වෙලාවට ගිහිං බලපං’’ කියලා. මාත් ‘හා’ කිව්වා. ඒත් ගුණවතී විතරක් ඉන්න වෙලාවට මං ගියේ නෑ. මොකද මට වැඩ වැඩි නිසා තමයි යන්න බැරි වුණේ.

මගේ ස්කූටරේ නැඟලා නව නගර ශාලාව පැත්තෙ දිනක් මං ගියා. සැන්ටිං ඇවිත් මාව බදාගෙන ‘මචං, උඹ තමයි නියම මිත්‍රයා’ කිව්වා. ඒ වන විටත් මං දැනගෙන හිටියෙ නෑ. ඔහු ලංකාවට ඇවිත් කියලා. මං ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. ‘නෑ, මචං මං නැති වෙලාවට ගුණවතී තනියම සිටින වෙලාවට උඹ විතරයි එහෙ ගියෙ නැත්තෙ. ඒ හින්දයි උඹ මං කිව්වෙ, උඹ නියම යාළුවෙක් ‘කියලා’ සැන්ටිං මාව බදාගත්තා.

අයියා-මලෝ කළ පෝස්ටරයක්

සුගතපාල ද සිල්වාගේ ‘සත සහ සත’ නාට්‍යයට අදාළ ෆෝල්ඩරය මුද්‍රණය කරන්න මට භාර දුන්නා. ෆෝල්ඩරය මුද්‍රණය කරලා නාට්‍යය පෙන්වන දවසෙ හවස ලුම්බිණියට ඒවා අරගෙන මං ගියා. සුගතපාල ද සිල්වා ෆෝල්ඩරය බැලුවා. එහි එක තැනක එක අකුරක් වැරැදිලා තිබුණා. සෝදුපත් බලන්නවත් සුගතෙ ආවෙ නෑ. වැරැදි අකුර දැක්ක විතරයි එතැනදි මට හොඳටම බැන්නා. මට හරිම වේදනාවක් දැනුණා. මට හොඳටම බැන්න සුගතෙ ටික වෙලාවකින් මගෙ ළඟට ආවා ‘මචං සෝමේ, අද නං සංගීතකාරයන්ටත් දෙන්න සල්ලි නෑ. කොහොම හරි රුපියල් තුන්සීයක් හොයලා ගෙනත් දීපං’ කියලා මම කිව්වා මගේ ස්කූටරේ නැඟලා ගිහිං මං ඔහුට අවශ්‍ය මුදල ගෙනත් දුන්නා. මට මිතුරන් සමඟ තරහ වෙන්න බෑ. ඒ නිසයි ඔවුන් මට බැන්නත් මං උදව් කරන්නෙ.

ටයිටස් තොටවත්ත දවසක් අපේ මුද්‍රණාලයට පැමිණියා. එතකොට එඩ්වින් අයියා මුද්‍රණාලයේ හිටියා. අයියා මුදල් වියදම් කරන්න ටිකක් ලෝබයි. අයියාට කැලණියේ ඉන්කම් ටැක්ස් ගණන් හදන මහත්තයාව හමුවෙන්න යන්න උවමනාවක් තිබුණා. ටයිටස්ගෙ වාහනේ යන්න ඔහු ටයිටස්ට කතා කළා. ටයිටස්ගේ වාහනේ යන නිසා එඩ්වින් යන නිසා එඩ්වින් අයියගෙන් මුදල් වැය නොවන හින්දයි මේ ගමන ටයිටස්ට යන්න කතා කළා.

එඩ්වින් අයියා ලෝබයා කියලා ටයිටස් දන්වා. ඉතිං ටයිටසුත් ‘හා’ කියලා ගමන ගියා. යන අතරමඟදී ෂෙඩ් එකකට වාහනය අල්ලලා තෙල් ගහගෙන. තෙල්වල ගාණ අයියාට ගෙවන්න වෙලා. කැලණියට ගිහිං එන අතරමඟ මරදානේ ‘ෂාලිමාර්’ කියලා බාර් එකක් තියෙනවා. දෙන්නා බාර් එකට ගිහිං හොඳට බීලා. ටයිටසුත් හොඳට බීලා. වේටර් බිල ගේනකොට ටයිටස් සිගර්ට් එකකුත් පත්තු කරගෙන කටේ ගහගෙන හෙමින් සීරුවේ එළියට ඇවිත්. අයියට බිල ගෙවන්න වෙලා.

පහුවදා ටයිටස් මුද්‍රණාලයට ඇවිත් මාත් එක්ක මෙහෙම කිව්වා. ‘ඊයේ අයියට මං හොඳ දඩයක් දැම්මා. වාහනේට තෙලුත් ගහගත්තා. බාර් එකෙන් අඩිත් ගැහුවා. ‘අයියා ටිකක් දවල් වෙලා මුද්‍රණාලයට ආවා. ‘ අර යකා ඊයෙ මට හොඳ වැඩක් දුන්නනෙ’’ අයියා කිව්වා. මාත් කිසිම දෙයක් නොදන්න විදියට විස්තරේ ඇහුවා. අයියා ටිකක් ලෝබ වුණාට හිත හොඳ මිනිහා.

විජය ලක්ෂ්මි හේවාකපුගේ මගේ බිරිඳ, ඇය හොඳ බිරිඳක්, සණස රක්ෂණ සමාගමේ ජීවිත රක්ෂණ අංශයේ කළමනාකාරිණියක් විදියට ඇය සේවය කරනවා. අපට දූවරු දෙන්නෙක් සිටිනවා. සුදින්නා හේවාකපුගේ දියණිය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ කථිකාචාරිණියක් විදියට සේවය කරනවා. සුලක්ෂණී හේවාකපුගේ දියණිය භූගෝල විද්‍යා ගෞරව උපාධිධාරිනියක්. ඇය එංගලන්තයේ දී මෝස්තර කලාව හදාරා අපේ රටේ හයිඩ්‍රාමනි ආයතනයේ සේවය කරනවා.

මුද්‍රණ ශිල්පයේ ඓතිහාසික උරුමක්කරුවෙකු වන සෝමපාල හේවාකපුගේ මහතා කළ සේවය අගය කරමින් ‘දයාබර සෝමේ’ නමින් උපහාර උළෙලක් පහුගිය අවුරුද්දක පැවතිණි. එහිදී බණ්ඩාර ඇහැළියගොඩ මහතා නිර්මාණය කළ කවි පෙළක මෙසේ සටහන්ව ඇත.

ඉබේ මුවට එන රසබස් තෙපලාන
කොහේ කොතැන සිටිය ද සිත සතපාන
හිතේ කහට නොමැතිව සෙනෙහස පාන
අපේ පිනට හමු වූ සොඳ මිතුරාණ ‘’

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා