‘ඔබේ මල්ගොමුවෙන්’ ගී සුවඳ විහිදන මංගලිකා තෙන්නකෝන්

‘ඔබේ මල්ගොමුවෙන්’ ගී සුවඳ විහිදන මංගලිකා තෙන්නකෝන්

ශ්‍රීලාංකේය සුභාවිත ගීතයට විවිධ යුගවල විවිධාකාරයේ බලපෑම් කළ, මං ලකුණු ඇති කළ ශිල්පීන්, ශිල්පිනියන් අපමණය. ඒ සෑම සුවිශේෂී අවස්ථාවක්ම සිංහල සුභාවිත ගීතයට ඇති වූයේ යහපත් ගීතය ප්‍රපාතාභිමුඛ තත්ත්වයන්ට මුහුණ දී සිටි අවධිවල බැව් ප්‍රකට කරුණකි.

මේ ගීතයේ “අහේනි කාලයන්” නිරන්තරයෙන් එළඹුනේ පදරචනා මෙන්ම ගැයුම් රටාවන්ගේ ද පිරිහුණු, අවර මට්ටමක් රජැයූ යුගවල බවද නොරහසකි. අද අප අත්දකින සිංහල සුභාවිත ගීතයේ සැබෑ මට්ටම හිතින් හිතාගන්නට බැරි තරම් ඛේදයකි.

යළි නාගාසිටුවා හැකි යැයි නොසිතෙන තරමේ පරිහානියකි. ගීතයේ පරමාර්ථ, ගීත නිර්මාණයේ හෝ අද කාලයේ නම් “ගීත නිෂ්පාදනයේ” පරමාර්ථ, සහමුලින්ම වානිජ හා “රැල්ලේ” ඒවා වීම තුළින් ඇති කරන ප්‍රතිඵල අපව තැතිගන්වන සුළුය.

මෙවැනි හෙයියංමාරුවක විශාරද මංගලිකා තෙන්නකෝන් නම් තුරුණු ගායන ශිල්පිනිය “ඔබේ මල්ගොමුවෙන්” නම් නෑඹුල්, සුහුඹුල්, සුපසන් ගී කළඹ දෝතින් ගෙන සහෘදාකර්ෂණයේ නිර්මල ඇගැයුම පතා හිඳී ගීත 16 කින් සමන්විත වන ඇගේ “ඔබේ මල් ගොමුවෙන්” ගී සංයුක්ත තැටියේ නිර්මාණකාරියට උරදී ඇත්තේ ප්‍රශස්ත හා නවීන ගේය පද රචකයන් ය. සංගීතවේදීන් ය.

ඇයට සහාය ගායනයෙන් එක්වන්නේ ඈ ගුරුතුමා වන විශාරද එඩ්වඩ් ජයකොඩි මෙන්ම රූකාන්ත ගුණතිලක, චන්දන ලියනාරච්චි සහ දයාන් විතාරණය. මංගලිකා තෙන්නකෝන් ශිල්පිනියගේ ගී එකතුවේ ප්‍ර‍්‍රකට ලක්ෂණය සේ අපට පෙනී යන්නේ ඇය එකඳු ගීතයක් හෝ යම් පරමාර්ථයකින්, ඖචිත්‍යකින් තොරව තෝරාගෙන නොමැති වීමයි.

මංගලිකා තෙන්නකෝන් නම් තුරුණු ශිල්පිනිය මා මුලින්ම දැන හඳුනා ගත්තේ ජාතික රූපවාහිනියේ මෙයට වසර 10 කට පමණ පෙර ඉදිරිපත් කළ ජාතික තරුණසේවා සභාවේ මැදිහත්වීමෙන් පැවති “තුරුණු ශක්ති” ගායනා වැඩසටහනේ අවසන් ජයග්‍රාහී තරු හතරට ඇතුළත් වූ විටදීය. එම සිව්දෙනා අතර අද නමක් දිනාගත් ගායිකාවක වන ශෂිකා නිසංසලා ද සිටි වග මට මතකය.

ඇගේ සංගීත අධ්‍යාපනයේ “ප්‍රථමා” විභාගයේ ගුරුතුමා ගැන ද වචනයක් කිව යුතුය. ඔහු මංගලිකා මෙන්ම දහසක් තරු ලොවට හදා නොපෙනී ගිය සඳවතක් වන් ජෝර්ජ් පල්ලෙවත්ත නම් මාහැඟි සංගීතඥයාය.

සෝමතිලක ජයමහ නම් අසිරිමත් ගායකයා ආස්ථානයට ආ “කුසුම් පිපී තුරු මතේ” ගීතයේ නිර්මාපකයා ජෝර්ජ් පල්ලියවත්ත නම් මැහැඟි සංගීත, සාහිත්‍යකරුවාය.

මංගලිකා කෙදින හෝ මෙරටේ යම් නමක් තබනා ගායිකාවක් වන බව ඇගේ නව යෞවනයේදීම ප්‍රකාශ කළ ඔහු “ඒ දක්ෂකම් බලන්නට මා ජීවත්ව ඉඳීවිදැයි දන්නේ නෑ පුතේ” යැයි ඇයට කියා දෙසතියකින් හෘදයාබාධයකින් මෙලොව හැර ගියේය.

අද ඔහු ජීවත්ව සිටියානම් කුරුණෑගල එරන්දතී කලායතනයේ විශාරද උපාධිය ලද තම දියණිය බඳු මංගලිකාවගේ ශිල්ප බලන්නට ඇතුගල්පුරයෙන්, කෝට්ටේ රාජධානියට ඔහු එනු ඇත. මංගලිකාගේ ගායන හුරුබුහුටිකම ගැන අනාවැකි පළ කළේ පල්ලෙවත්ත ගුරුපියාණන් පමණක් නොවේය.

එතෙර භාත්ඛණ්ඩ සංගීත සරසවියේ ලේඛකාධිකාරිතුමිය වන මීරා මාතුර් මැතිනිය විශාරද පරීක්ෂණයේදී මංගලිකා දැක්වූ සුවිශේෂී දක්ෂතාව දැක ඉන්දියාවට විත් පූර්ණ රාගධාරි සංගීතය උගන්නා ලෙසත් ඒ සඳහා සියලුම ආකාර පහසුකම්, ආධාර ලබාදෙන්නටත් ප්‍රතිඥා දුන්නාය.

සංයුක්ත තැටියක් බිහිකරන්නට ඇය වසර 10 ගත්තාක් මෙන්, මිරා මාතුර් මැතිනියගේ කාරුණික මෙන්ම දුර්ලභව ලැබෙන වාසනා ගුණෝපේත ඇරයුම පිළිබඳව සිතන්නේ නම් මෙරට සැබෑ සංගීතයේ ආරෝහණය බලාපොරොත්තු වන සහෘදයන්ගේ සොම්නසට එය හේතුවනු ඇති.

මංගලිකාගේ “ඔබේ මල්ගොමුවෙන්” ගීත සමුච්චයේ ගී පද රචනාවන්හි විෂය ක්ෂේත්‍ර ඉතා විවිධත්වයකින් යුතු ප්‍රස්තුත හා අඩවි ගණනාවකට විහිදි විසිරී යයි. මෙහි ආචාර්ය අජන්තා රණසිංහ ලියූ “සිත්තම් කළ මගෙ පිළිරූ” ගීතය රමණීය වූ ගීතයකි.

“සිත්තම් කළ මගෙ පිළි රූ
ඒ රුව සිපගත් කුමරූ”
මංගලිකා ගයන්නීය.
“මමය ඔබට පෙම් කළ ඒ
අවාසනාවේ කුමරූ”

චන්දන ලියනාරච්චි පිළිතුරු දෙයි.

මේ ගීතයේ සරත් ද අල්විස් මවන සංගීතයේ ඇති අනුවේදනීයත්වය වෙනම චරිතයක් සේ අපට ඇසෙයි, දැනෙයි. ආදරයේ මුල් පියවරේ චමත්කාරයත් පසුව අත්විඳින්නට වන භයංකාරයත් සංයත හැඟීම් දනවන අයුරින් චිත්‍රණය කෙරේ.

මංගලිකාගේ “පුරහඳ ළඟින්ම” ගීතය ඇය රසිකයා හඳුනාගත් සංකේතය වැන්න. ඈත දෙනියායේ ජීවත් වන විමල් දයානන්ද නම් දක්ෂ, අප්‍රකට සංගීතඥයාගේ මධුර තනුවක් වන මෙහි ගේය පද රචනය කර ඇත්තේ ද සුප්‍රකට රචිකාවක් නොවන දේවිකා ජයසුන්දරයි. එනමුත් මේ ගීය මවන, පුදන ඉමිහිර පෙරකී අප්‍රකට මායාවෙන් මිදී අපූර්ව වින්දනයකට දොරටු හරියි.

“පුරහඳ ළඟින්ම කඳුළු
බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ
ඔබ කොයිද දුර ගියා”

වසන්ත කුමාර කොබවක ලියා, රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මංගලිකා ගුරු විශාරද එඩ්වඩ් ජයකොඩි යුග ගායනා තැබූ, “සුවඳින්ම පිරි” ගීතය ඇය වසඟයට පත්වී සේ ගයන්නේ එහි ප්‍රස්තුතය ඈට ගෙන එන අදාළභාවය නිසාවෙන්දෝයි සිතේ. ගුරුතුමෙකු හා සිසුවියක අතර ඇති වන නිර්මල මෙන්ම යථාර්ථවාදී සංවාදයක් ලෙසින් රචිත ගීතයේ රෝහණ වීරසිංහයන් යෙදූ සංගීතයේ ඇත්තේ පුදුමාකාර අපිස්, පහන් මෙන්ම උපශාන්ත භාවයකි. ගුරුතුමා සිසුවියට ඔවදන් දෙන්නේ. ගමෙන් ඇවිදින් අතරමං නොවී යථාපරිදි සිප්සත හදාරනයුරු පවසයි. සිසුවිය ඔහු සිතනවාට වඩා පෙරටුගාමී එකියකි.

“මල් සුවඳ විනා මළ පුඩු නොදැනා
එන නොයෙක දෙනා කඳුළට වැටෙනා
මග සොඳින දැනා - නිමි හිමි හඳුනා
ගුරුතුමනි මෙමා - මතු ලොව දිනනා”

ඇය, අතරමංවන මහා පරපුරක තතු දැනගෙන, ඒ අවබෝධයෙන් යහ ගමනකට පිළිපන් බව පවසන්නීය.

කුලරත්න ආරියවංශයන් ලියූ “පරවුණත් මේ මල්” ගීය රමණීය පේ‍්‍රම ගීතයක් වන අතර එය තරමක නැවුම් ආරේ සංගීත රටාවක් හා මුසු කළේ සුරේෂ් මාලියැද්දේ ය. සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ “රත්න ප්‍රභා තිලකේ” ගීතය හුදු දේශාභීමානි ගීයෙන් එපිට ගිය ප්‍රශස්ත පද රචනාවකින් සුසැඳි අභිමානී ගීතයකි. සංගීතඥ රෝහණ වීරසිංහයන්, මංගලිකා තෙන්නකෝන් නම් තුරුණු විශාරදවරියගේ ස්වර සුගායනාවේ අති මාධූර්යය අර්ධ ශාස්ත්‍රිය තනුවක් මඟින් පිළිඹිබු කොට ඇති අයුරු මනරම් ය.

ඇය රූකාන්ත ගුණතිලක සමඟ ගයන “මං බලා ඉන්නම්” යුග ගීයේදී මුළුමනින්ම සිය ගායන විලාශය පෙරදිග සරල ශාස්ත්‍රීය ආරෙන් මෙපිටට ගෙන එන්නීය. එමෙන්ම සෙන්ටිග්‍රේඩ්ස් සංගීත මුළුව සමඟ ගයන ගීයද මංගලිකාගේ ගී එකතුවේ ප්‍රකට වූ අපූර්ව විවිධත්වයකට සාක්ෂියකි.

ඇගේ ගී සමුච්චයේ නම යොදා ගැණුනු “ඔබේ මල්ගොමුවෙන්” ඇතුලු ගී කිහිපයක් මා හට ලියන්නට සිදුවීම, මේ ලිපිය ලියන්නට මා පෙළඹුණු අල්පමාත්‍ර හෝ බලපෑමක් නොවේ. ඈ පිළිබඳ පෙරත් කියූ ලෙස “තුරුණු ශක්ති” මතකය හරහා යම් අවබෝධයක් ලැබුණු ඇගේ “ලොකු බාප්පා” නමින් හඳුන්වන අප හිතෛෂි සහෘද ඩබ්ලිව්. බී. ගනේගල මහතා නිසාය.

මුලින්ම නවරත්න ගමගේ සංගීතඥයා “ඔබේ මල් ගොමුවෙන්” ගීතයේ තනුව නිර්මාණය කරද්දී මා ඔහුගෙන් ඇසුවේ මෙවන් වෙනසක්ම් විවිධතා ඇති තනුවක් ඇය බඳු දුහුනියක් සාර්ථකව ගයාවිද යන්නයි. නවාගේ මද සිනහව අරුත් ගැන්වී ඇය ආයාසයකින් තොරව මිහිරට එය ගැයුවාය.

“ඔබේ මල් ගොමුවෙන් මං පිටව යන්නම්
තනි මලක් වී තනිගසක යළි පිපෙන්නම්
දෙවැනි වරටත් මල් පිපෙන බව
ලොවට පහදන්නම්
ඔබට පහදන්නම්”

මේ ගීතයේ ඇති විරෝධාකල්පී විලාසය සහ ප්‍රථම ගී එකතුව බිහි කරන යෞවනියකට එය ගයන්නට දීම උචිත දැයි මට නොසිතුනේ. පෙරත් කී ලෙස ඇය වසර 11 තිස්සේ ගීත අසමින්, ගායිකාවක සතුවිය යුතු පරිචය නිහඬව සතුකර ගත් නිසාදැයි දැන් සිතේ.

ගීයට ආකර්ෂණය වූ සඳරුවන් ජයවික්‍රම ඊට අපූර්ව රූප රචනයක් එක් කරමින් මේ ශීර්ෂගත ගීතයට තුන්වැනි මානයක් රූපයෙන් ලබාදුන්නේය.

කරුණාරත්න විජේවර්ධනගේ “ඉරේ හඳේ එළියදේ” ගීතය තරමක ගසල් ආරට නෑකම් දක්වන, ඊට වඩා සරල සුගම බවක් දක්වන්නකි. මහින්ද බණ්ඩාරයන් ද ඈ හට ගීතයක් හදා දුන්නේය.

“ඉරට හඳට වැඩිය වටින” නම් එම ගීතය තරමක වේග රිද්මයක් රැඳවුව ද ඇය පුදුමාකාර සංයත බවක් පවත්වාගෙන ගැයෙන්නකි. මෙසේ මංගලිකාගේ ගී ගැන දිගින් දිගටම ලියන්නට යාම අනුචිත බැවින් මංගලිකා පිළිබඳ සමුදයාර්ථයක් ඉදිරිපත් කිරීමට රිසියෙමි.

තත්කාලීනව අප අත් දකින “මියුසිකල් වීඩියෝ” උන්මාදකාරයන් හා නන්නත්තාර සිංගලිෂ් තේවුඩ්විචියන් අතර මංගලිකා වෙනම අපට පෙනේ.

සැඩ දිය පහර දැක දැකම ඈ උඩු ගං බලා පිහිනයි. වාසුලි මාරුතයන් හි ප්‍රචණ්ඩ බව දැන දැනම සිහින් නටුවක් ඇති මලක්ව, නොබියව පිපෙයි. ලාභ ජනපි‍්‍රයත්වය සඳහා බොහෝ ක්‍රමෝපායන සහිත ගී සංගීත ව්‍යායාම තිබියදී, වසර 10ක් පමණ නැවතින්ලේ, නිසංසලේ හිඳිමින් ඇය “ඔබේ මල්ගොමුවෙන්” රසික ප්‍රජාවට පිරිනමයි.

මංගලිකා තෙන්නකෝන් ගේ මේ ගී එකතුව ඇයට මතු නොව සැබෑ සුභාවිත සංගීතය හා ගීතය පතන සැබෑ සහෘදයන්ට ද මංගල කරුණක් වනුයේ “දියුණුව“ යැයි අප අන්ධව ලුහුබඳින “ගොරතර රළුකම” අදට වඩා හෙට ජාතියක් වනසන බැවිනි! එබැවින්, “ඔබේ මල්ගොමුවෙන්” යහපත් සුසුවඳ නිරතුරුවම විහිදේවා !

“පෙරට එන රුදුරු බාධක අකා මකා
මලක ගුණ සුවඳ ගෙන එයි මංගලිකා”

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා