සම්බාන් යාත්‍රා තොටුපොළ

සම්බාන් යාත්‍රා තොටුපොළ

පසුගිය සතියෙන්...

ගිරුවාපත්තුව සහ මාගම්පත්තුව අතර වූ පාලන දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පරිපාලන මධ්‍යස්ථානය බවට හම්බන්තොට පත් විය. බ්‍රිතාන්‍ය යුගය තුළ (1928 දක්වා) හම්බන්තොට වරාය නාවික මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු විය.

විසිවන සියවසේ පළමුවැනි දශකයේ පටන් වෝකර් සහ පුත්‍ර සමාගම මෙම වරාය පාලනය කර ගෙන ගිය අතර සෑම මසකම බඩු නැව් කිහිපයක් මෙම වරායට ළඟා වූ වග බ්‍රිතාන්‍ය පාලන වාර්තාවල සඳහන් වේ. බ්‍රිතාන්‍යයේ වරායට සමීපව කච්චේරිය ප්‍රධාන දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය කාර්ය්‍යාල, පාසල්, පොලිස් සේවා ස්ථාන, රෝහල්, උසාවි, වෙළෙඳ මධ්‍යස්ථාන, මාර්ග පද්ධති ගොඩ නගා දිස්ත්‍රික්කයේ ප්‍රධානතම නගරය බවට පත් කළහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන ප්‍රදේශය ලක් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සංස්කෘතියකට හා ශිෂ්ඨාචාරයකට පදනම් වූ භූමිභාගයකි. එය ඓතිහාසික රෝහණ රාජ්‍යයේ කොටසක් විය.

රෝහණ රාජ්‍යයට වරෙක තිස්සමහාරාමය අවට ප්‍රදේශයක් තවත් විටෙක වලවේ ගඟ හා මඩකලපුව අතර ප්‍රදේශයත් තවත් යුගයක මහවැලි ගංගාවට දකුණෙන් පිහිටි මුළු නැෙඟනහිර සහ ගිණිකොණ දිග ප්‍රදේශයෙන් අයත් විය. මෙම රාජධානිය තුළ මහාගම, දීඝවාපි, කප්රාගම, ගෝරාකාමක, වැනි ජනපද කිහිපයත් වූ බවට ඓතිහාසික සාක්ෂි ඇත.

රෝහණ ප්‍රදේශයේ වඩාත් වැදගත්ම ප්‍රදේශය පිහිටියේ එහි දකුණෙහි බැව් ආචාර්ය ලක්ෂ්මන් ඇස්. පෙරේරා මහතා සිය රෝහණ රාජ්‍යය පොතෙහි සඳහන් කර ඇත. මහාගම වැනි වැදගත් නගර එහි පිහිටා තිබුණි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩි කොටසක් පැරණි මහාගම ජනපදයට පදනම් වූ ප්‍රදේශයට අයත් වේ. පැරැණි කාලයන්හි මෙම ප්‍රදේශය “මහාගම”, රුහුණ, “දොළොස්දහස් රට” යන විවිධ නම්වලින් හඳුන්වන ලදී. මහාගම, තිස්සමහාරාමය, මහානාගකුල වැනි හෙළ නරපතියන්ගේ වාසභූමි වූ පුරවරයන් මෙම ප්‍රදේශයෙහි ඉදිවිය.

නිවහල් ජාතියක් අදීන සභ්‍යත්වයක් හා නිර්මල බෞද්ධ සංස්කෘතියක් ගොඩනැංවීමෙහිලා මෙම ප්‍රදේශයෙන් ලැබුණු අනුබලය ඉතා පුළුල් බැව් විද්වත්හු පවසති. අපේ රට දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ට යටත් වූ අවස්ථාවල පරදේශිකයන් පරදවා හෙළ උරුමය රැකගන්නට පෙරමුණ ගෙන ඇත්තේ දකුණේ අභීත ධීර වීර නරවිරුවන් ය. දුටුගැමුණු, ධාතුසේන, විජයබාහු බඳු ශ්‍රේෂ්ඨතම නරපතින්ට අපේ රට එක්සේසත් කරන්නට අවශ්‍ය ජවය ලබා දුන්නේ රුහුණේ ජනතාවය. බුදුසසුන විනාශ මුඛයට මුහුණ දුන් අවධිවලදී සසුන් ආරක්ෂාව තහවුරු වූයේ රුහුණු පුරවරයේ විහාරස්ථාන තුළිනි.

අනුරපුරයේ ජනතාව දරුණු ව්‍යසනවලින් හෙම්බත් වූ අවස්ථාවලදී පරසතුරන්ට එරෙහිව අපේ නරවිරුවන් අභීත සටන්වල නියැලුණු අවස්ථාවලදී ඔවුන්ට බත සැපවුණේ රුහුණේ තෙත් කෙත් බිම්වලිනි. රුහුණු පුරවරය ලංකා ඉතිහාසය හා බද්ධව පවතී. ලංකා ඉතිහාසය ගොඩ නැංවීමේහිලා රුහුණු පුරවරයෙන් ලැබුණු බලපෑම මෙබඳු කෙටි ලිපියකින් විස්තර කළ හැකි නොවේ. රුහුණු පුරවරයේ ඓතිහාසික පුරාවෘත්ත සත් සම්බන්ධ තොරතුරු රාශියක් රාමායනයේ සඳහන් වන බැව් විද්වතුන්ගේ නිගමනයයි.

රෝහණ රාජ්‍යය ගොඩ නැගී ඇත්තේ මහානාග යුවරජුගෙන් පසුවය. දෙවැනි පෑතිස් රජතුමාගේ සොහොයුරෙකු වූ මහානාග කුමාරයා කිසියම් මතභේදයක් මත අනුරාධපුරයෙන් පලා අවුත් මේ ප්‍රදේශයේ (රුහුණේ) රෝහණ රාජ්‍යයන් ගොඩ නංවන්නට කටයුතු කළේය. මහානාග කුමරු රුහුණේ කෙත්වතු සරුසාර කිරීමට වාරිමාර්ග පද්ධතියන් ඇරඹීමෙන් මෛම ප්‍රදේශයේ දියුණුව සඳහා අඩිතාලම දැමීය.

ලබන සතියට....
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා