මා බලාසිටියදීම පුතා අකුණුසර වැදී ඇද වැටුණා

මා බලාසිටියදීම පුතා අකුණුසර වැදී ඇද වැටුණා

මරණ පරීක්ෂණයේදී සාක්කිදෙමින්  පියා කියයි

පියා බලා සිටියදීම නිවෙසට එමින් සිටි තම පුතා අකුණුසර වැදී බිම ඇද වැටී එතැනම මියයෑමේ ශෝචනීය සිද්ධියක් මුංවත්තබාගේපත්තු හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය දීපාල් අව්සදරත්න මහතා විසින් ගල්පාත රජයේ රෝහලේ දී පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ ගල්පාතගොඩ පරගහහේන ගම්මානයේ පදිංචිව සිටි සිරිමාන්න ආරච්චිගේ තෝමස් සිංඤෝ නැමැති පනස් හත් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මරණ පරීක්ෂණයේදී සාක්කිදුන් මියගිය අයගේ පියා වන සිරිමාන්න ආරච්චිගේ ශාර්ලිස් සිංඤෝ (85) මහතා මෙසේ පැවැසීය.

අකුණුසර වැදී මා බලාසිටියදීම මියගියේ මගේ දෙවැනි පුත්‍රයායි. ඔහු රැකියාවට කෙළේ කුලී වැඩයි. අවිවාහකයකු වූ පුතා මගේ ගෙදර ජීවත්වුණා. සිද්ධිය වූ දින දවස පුරාම වැස්සා. විටින් විට අකුණු ගැහුවා. වැස්ස නිසා පුතා උදේ හිටන්ම ගෙදරට වී උන්නා. හවස 2.30 ට පමණ අවට ප්‍රදේශයේ මැණික් පතල් ඇති නිසා වැස්සට මතුවන මැණික් ගල් කැබලි අහුලන්න පුතා ගෙදරින් පිටවී ගියා. වෙනදාටත් ඔහු මැණික් ගාල් කැබලි අහුලාගෙන එනවා. ටික වෙලාවකට පසු තදින් වහින්නට පටන් ගත්තා. හවස 3.30 ට පමණ පුතා ගෙදර නොපැමිණි නිසා ඔහුව බලන්න මම ගෙදරින් පිටවී මීටර් සීයක් පමණ ඉදිරියට ගියා. පුතා ඈත එනවා මම දුටුවා. ඒ සමඟම මහ හඬින් අකුණක් පිපිරුවා. අකුණ පුපුරණවාත් සමඟම මම බලාසිටියදීම අකුණුසර වැදී පුතාව බිම ඇදවැටුණා. ඇදවැටුන විට කෑගසන්නට පටන් ගත්තා. මම කෑගසනවිට අපේ නිවෙසට මදක් ඈතින් පදිංචිව සිටින කරුණාරත්න දිවගෙන ආවා. මමත් කරුණාරත්නත් පුතා ළඟට ගොස් බලන විට ඔහු මියගොස් ඇති බැව් දැනගත්තා.

ලියනගේ කරුණාරත්න (47) නැමැති අය සාක්කි දෙමින් මෙසේ කීවේය.

මම පදිංචිව සිටින්නේ මියගිය අයගේ නිවෙසට මීටර් සියයක පමණ දුරින්. සිද්ධිය වූ දින වැඩට නොගොස් වැස්ස නිසා මා ගෙදර වී හිටියා. ප.ව. 3.30 ට පමණ මම ඇඳේ ඇලවී සිටින විට මහ හඬින් අකුණක් පිපිරුවා. ඒ එක්කම එළියේ කවුදෝ කෑගසනවා මට ඇසුණා. මම නිවෙසින් එළියට ඇවිත් බැලුවා.

එවිට මා දුටුවා මගේ නිවෙසට මීටර් තිහක් පමණ ඈතින් තෝමස් අයියා බිම වැටී සිටිනවා. ගාර්ලිස් අයියාගේ කෑගැසීමට සෙනඟ දිවගෙන ආවා. මමත් ගාර්ලිස් අයියාත් තෝමස් අයියා වැටී සිටි තැනට ගියා. පසුව අපි තෝමස් අයියාව නිවෙසට ඔසවාගෙන ආවා. ඔහුගේ මල්ලී පියසේන ත්‍රීරෝද රථයකින් තෝමස් අයියාව ගල්පාත රෝහලට ගෙන ගියා. රෝහලට ගෙනයන විටත් ඔහු මියගොස් ඇතිබැව් පසුව අපි දැනගත්තා.

සිරිමාන්න ආරච්චිගේ පියසේන යන අයගෙන්ද සාක්කි සටහන් කරගත් හදිසි මරණ පරීක්ෂක දීපාල් අව්සදරත්න මහතා අකුණුසර වැදීමෙන් වූ කම්පනය නිසා මේ මරණය සිදුවී ඇතිබැව් තීරණය කෙළේය. කළුතර උතුර පොලිසියේ කොස්තාපල් කරුණාතිලක මහතා සාක්කි මෙහෙයවීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා