කළුතර නගරය සංවර්ධනයට රු: එක්කෝටි පනස් ලක්ෂයක්

කළුතර නගරය සංවර්ධනයට රු: එක්කෝටි පනස් ලක්ෂයක්

කළුතර නගරයේ සිදුකැරෙන නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් එක්කෝටි පණස් ලක්ෂයක මුදලක් වෙන්කැර ඇතැයි වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමති රෝහිත පී. අබේගුණවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ නගර සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව කළුතර නගර සභා සභාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

කළුතර ප්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන, කළුතර නගර සභාවේ විපක්ෂ නායක පාලිත සිල්වා, කළුතර නගර සභා ලේකම් අශෝක රණසිංහ, කළුතර ප්‍රාදේශීය සභා උප සභාපති වී. සී. ලක්ෂ්මන්, කළුතර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී සමරතුංග සහ කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ යන මහත්වරු ඇතුළු කළුතර නගරයේ අදාළ ආයතන ප්‍රධානීහු මේ සාකච්ඡාවට සහභාගි වූහ.

දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් වූ කළුතර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පදික වේදිකාවෙන් ඉවත් කළ වෙළෙඳුන්ට විශේෂ පහසුකම් සපයන බවත් විධිමත් වෙළෙඳ කුටි හා ගබඩා පහසුකම් ලබා දෙන බවත් කළුතර නගරයට කෞතුකාගාරයක් කළුතර මහජන පුස්තකාලය සංවර්ධන කිරීම, පහසුකම් සහිත සංචාරක නිකේතනයක් සහ වාහන තදබදය අවම කිරීමට රථවාහන නැවතුම්පළවල් සකසනවා. මේ වැඩපිළිවෙළට නගරයේ අදාළ ආයතනවල සහ අනෙකුත් අයගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

මේ සාකච්ඡාව නිමවීමෙන් පසු නියෝජ්‍ය ඇමැති රෝහිත පී. අබේගුණවර්ධන මහතා කළුතර මහජන වෙළෙඳපොළ නිරීක්ෂණය කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා