පවනක් වී යමු... හන්තානේ කඳු මුදුනට

පවනක් වී යමු... හන්තානේ කඳු මුදුනට

සෙංකඩගලපුර නොහොත් මහනුවර පුරවරය ගැන කතාකරනවිට හන්තාන කඳුවැටිය පිළිබඳ කථා නොකරම බැරිතරමට හන්තාන කඳුපන්තිය මහනුවර නගරයට සමීපය.

හන්තාන කන්දට ඒ නම ලැබීමේ පසුබිමේ ඇත්තේ අපූරු කථාපුවතකි. ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ වැඩිහිටි මහ නාහිමිනමක් වූ වැලිවිට අසරණ සරණ සරණංකර හිමියෝ අවුරුදු 16දී පැවිදි වුවත් අවුරුදු 50 වනතුරු උපසම්පදා ලැබීමට නොහැකි වූයේ පරසතුරු උවදුරු හේතුකොටගෙනය.

සරණංකර හිමියන්ට පරසතුරන්ගෙන් විදීමට විවිධ ස්ථානවල සැඟවී සිටීමට සිදුවූ අතර, ඒ සැඟවුණ ස්ථාන පිළිබඳ වෙනම ලිවිය යුතු කාරණයකි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ දෙවැනි වතාවට උපසම්පදා කර්මය සඳහා බුරුම රටෙන් (වත්මන් මියන්මාර්) භික්‍ෂූන්වහන්සෙ සයනමක් වැඩම කළ අතර එම පිරිසේ නායක හිමියන් හැඳින්වූයේ සන්තාන, සන්තානා, සංතුර් යන නම්වලින්ය.

මල්වතු විහාරවාසී භික්‍ෂූන්වහන්සේට උපසම්පදාව ප්‍රදානය කළ භික්‍ෂු පිරිසේ නායක සන්තානා හිමි මධ්‍යම කඳුකරයේ පරිසරය භාවනායෝගිව සිටීම කදිම ස්ථානයක් යැයි සනිටුහන් කොට ගෙන රජුගේ අවසරය ලබා මහනුවර ආසන්නයේ ඇති කඳු මුදුනකට වැඩම කර ඇත. කන්දේ ගල්ලෙන් ගනනාවක් භාවිත කළ ඒ හිමියෝ උරාගල නමින් හඳුන්වන ඉහළ කඳු මුදුනේ ගල් ගුහාවක සිටියදී මාර්ගඵල ලැබීමෙන් පසු පහළ ගම්මානවල ගම්වැසියා සන්තානා හිමි වැදීමට පිදීමට කඳු මුදුනට තරණය කළේය.

පහළ ලෙන් විහාරය කරා යාමට දිනමිණට මගපෙන්වූ පුංචි මිතුරන් තිදෙනා.

සන්තාන හිමි වදින්න යනවා කියමින් වන්දනාවට ගිය බැතිමතුන්ගේ, ව්‍යවහාරය අනුව මේ කඳුමුදුන සන්තානා කන්ද නමින් නම්වී පසුව හන්තාන කන්ද විය.

මාර්ගඵල ලැබූ රහත්වූ සන්තානා හිමියෝ සෘර්දි බලයෙන් සිය මව්රටට වැඩම කළේ කලුරිය කිරීමට බව වත්මන් මුඛ පරම්පරාගත කථාවල සඳහන් ය.

සන්තානා හිමියන්ට පසුව වැලිවිට සරණංකර සඟරාජ හිමියන්ද මේ ගල් ගුහාවල වැඩවාසය කොට ඇති අතර, මේ කඳුපන්තියේ ගල් ගුහාවල ‘නිට්ටැවන්’ නමින් හැදින්වූ මනුෂයන්ට සමාන කුරු මිනිසුන් ජීවත්ව සිටි බවද මුඛ පරම්පරාගත කථාවල ඇත. (1960 දශකයේ එම මනුෂ්‍ය කොටස් දෑසින් දැක්ක පුද්ගලයන් මෑතකදී මියගිය බව දැනගැනීමට ලැබිණ)

කන්දේ පහළ කොටසේ ගල්ගුහාවක් සාමාන්‍ය මට්ටමට ප්‍රතිසංස්කරණය කොට අර්ධයක් ගල් ලෙනක අර්ධයක් නවීකරණය කළ ආවාසයක වර්තමානයේ හිමිනමක් ඉතා දුෂ්කරව වුවත් භාවනා යෝගිව වැඩවසයි.

පහළ ගල්ගුහාවේ පිට දර්ශනයක්.
මෙහි කටාරංකොටා ඇත.

අත්තනගල්ලේ උප්පත්තිය ලැබූ කොන්ගස්දෙනියේ සද්ධාසිරි හිමියෝ දැනට පහළ උඩුවල, හන්තාන හතරකණුව, පහේකණුව, ගම්මානවල ද්‍රවිඩ හා සිංහල ජනතාවගේ ඇප උපස්ථාන ලබමින් ඔවුන්ට ධර්මය දේශනා කරමින් වැඩවාසය කරති.

ඉතාම දුෂ්කර ගමන් මාර්ගයකින් පසුව මේ සිද්ධස්ථානයට ළඟාවිය හැකි අතර, අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ශාඛාවක් රෝපණය කොට ඇත. ඉහළ කඳුමුදුනේ සන්තාන හිමි වැඩසිටි ගල්ලෙනේ ටිකකලක් භාවනායෝගිව සිටි බව කියන සද්ධාසිර හිමියෝ දුඹුරුපාට පුල්ලි සහිත දිවිදෙනක් තමන් වහන්සේ භාවනා කරන ගල් ලෙන අභියස සිටීමට පුරුදුවී සිටි අතර, එම දිවි දෙන පහළ ගම්මානවල වහු පැටවුන්, සුනඛයන් මරා කැලයට ඇදගෙන ගියත්, තමන් වහන්සේට කරදරයක් නොකළ බව කීහ.

විහාරස්ථානයේ බෝධියට බෝධිපූජා පැවැත්වීමට පැමිණෙන විශාල පිරිසක් මේ විහාරස්ථානයේ ඇති අනුහස් පිළිබඳව දිනමිණට සිය අත්දැකීම් විස්තර කළහ.

බෝධින් වහන්සේගේ අනුහසින්
සුවය ලැබූ මවක් හා දියණිය.

උපතින් කථාකිරීමට නොහැකිව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු මේ බෝධියට භාරහාරවීමෙන් අනතුරුව කථා කිරීමට හැකිවී ඇත. ඇවිදීමට නොහැකි අය, බටහිර වෛද්‍යවරුන්ට සුවකිරීමට නොහැකි යයි ප්‍රකාශ කළ විවිධ රෝග පීඩා ඉතා විශ්මජනක ලෙස සුවපත් වූ බව උඩුවෙල උඩගම ඩබ්. ඥානවතී මහත්මියත්, ඇගේ දියණියක වන උඩුවෙල බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපන ලබන ඩබ්. ඩී. එරන්දිකා සිසුවියත් දිනමිණ හා පැවසුවාය.

සන්තානා හිමියන් හා වැලිවිට සරණංකර හිමියන් වැඩ සිටි උරාගල ඉහළ ගල්ගුහාවලට යන මාර්ගය හා පහළ කොටසට පැමිණීමට ඇති මාර්ගය සකස්කර ගැනීමට බුද්ධ සාසන ඇමැතිවරයාගේ අවධානය යොමුකරදෙන ලෙස ඉල්ලා සිටින ඒ හිමියෝ දැනට හන්තාන තේ වත්තට අයත් කොටසක පිහිටි සිද්ධස්ථාන භූමිය විහාරස්ථානයට නිත්‍යානුකූලව ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.

ඉතා අනුහස් ඇති බෝධින් වහන්සේ තමන් සිටින මේ ඉපැරැණි වටිනා සිද්ධස්ථානය බෞද්ධ අබෞද්ධ ජනතාවගේ වන්දනාමානයට සුදුසු ලෙස වැඩිදියුණු කරගැනීම සද්ධාසිරි හිමියන්ගේ ප්‍රධාන අරමුණයි.

මේ දුෂ්කර ස්ද්ධස්ථානය සොයාගැනීමට ගිය දිනමිණට (වාර්තාකරුට) හන්තාන 5 කණුවේදී හමුවී මාර්ගය සොයායාමට සහයවූ අවුරුදු 7ක පමණ වයසින් යුතු දමිළ ජාතික දරුවන් තිදෙනා කිසිදා අමතක කළ නොහැක.

ජෝති, රවිකුමාර්, ත්‍යාගා නමින් යුතු දරුවන් තිදෙනාත් ඔවුන් හදුන්වා දුන් දමිළ ජාතික වික්ටෝරියා මෙනවියටත් දිනමිණේ ස්තුතිය හිමිවිය යුතුය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා