සාමයට නව අරුතක් එක්කරමින් ජගත් ඔලිම්පික් සැමරුම 23දා යාපනයේ දී

සාමයට නව අරුතක් එක්කරමින් ජගත් ඔලිම්පික් සැමරුම 23දා යාපනයේ දී

වසර 30 ක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාවීමෙන් පසුව උදාවූ සාමයට නව අරුතක් එක්කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් උළෙල මේ 23 දා යාපනයේ දී උත්සවශශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

”සහභාගිත්වය හා සහෝදරත්වය තේමා කර ගනිමින් පවත්වන ඔලිම්පික් දින සැමරුම් උළෙලට යාපනය ප්‍රදේශයෙන් බිහිවූ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා පරිපාලකයන් මෙන්ම පාසල් සිසු සිසුවියෝ දහස් ගණනින් සහභාගි වෙති.

සෑම වසරකම ජූනි මස 23 දා ජාත්‍යන්තර ඔලිම්පික් දිනය යෙදී තිබෙන බැවින් සාමාජික රටවල් 202 ක් ලබන සතියේදී ඔලිම්පික් සැමරුම් ක්‍රියාකාරකම්වල නිරත වෙති. යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයෙන් ආරම්භ වී කිලෝමීටර් 4 ක් දුරැති ඔලිම්පික් සැමරුම් ධාවනයට යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 1000 ක් සහභාගි වෙති. ධාවන තරගයට කලින් යාපනයේ පාසල් ක්‍රීඩිකාවන් 200 ක් පාපැදියෙන් ගමන් ගැනීමට සූදානමින් සිටිති.

ඔලිම්පික් දින සැමරුම් උළෙලට සමගාමීව යාපනය දිස්ත්‍රික්කය පුරා මේ 19 දා සිට වැඩසටහන් රාශියක් පෙළගස්වා ඇතැයි ශශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.ඔලිම්පික් ව්‍යාපාරයේ වටිනාකම පිළිබඳව පාසල් සිසුන් අතර චිත්‍ර තරග, ප්‍රශ්න විචාරාත්මක තරග, පෝස්ටර්, බැනර් තරග, ක්‍රීඩා පරිපාලනය පිළිබඳ පුහුණු වැඩසටහන් හා හෑන්ඩ් බෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ පුහුණු කඳවුරු දින කිහිපයකදීම පැවැත්වේ.

ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම සිහිවීම පිණිස යාපනය පුස්තකාලයේ පැළ සිටුවීමක් ද සිදුකෙරෙන අතර 23 දා පස්වරු 2.00 ට දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී විශේෂ උත්සවයක් පැවැත්වේ. ඔලිම්පික් දින සැමරුම් උළෙලට යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 96 ක සිසු සිසුවියෝ සහභාගි වන බව උතුරු පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ අන්නදොරේ මහතා පැවැසීය.

වසර 1894 ජූනි මස 23 දා ආරම්භ වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 1987 සිට ඔලිම්පික් සැමරුම් දිනයක් ප්‍රකාශයට පත් කළේය. යාපනයේ පැවැත්වෙන ඔලිම්පික් සැමරුම් උළෙලට ශශ්‍රී ලංකා ටෙලිකොම් හා මහජන බැංකුව අනුග්‍රහය සපයති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා