එකම පුහුණුකරුවකුගෙන් ගුරුහරුකම් ලැබූ නාවික - සිවිල් ආරක්ෂක අවසන් ගැටුම හෙට

එකම පුහුණුකරුවකුගෙන් ගුරුහරුකම් ලැබූ
නාවික - සිවිල් ආරක්ෂක අවසන් ගැටුම හෙට

කණ්ඩායම් දෙකටම තරගයේ දී උපදෙස් දෙන්නේ නෑ : නිහඬව බලා ඉන්නවා

-මහින්ද පාලිත

හොල්සිම් එෆ්. ඒ. කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී නාවික හමුදා පිලට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සූරතාව දිනා ගැනීම එකම අරමුණ බව සිවිල් ආරක්ෂක බළකා පිල පවසයි. වසර 2008 දී එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අනුසූරතාව දිනාගත් සිවිල් ආරක්ෂක බළකා පිල හා වසර 3 කට පසුව පාපන්දු පිටියට අවතීර්ණ වූ නාවික හමුදාව අතර අවසන් ගැටුම හෙට (19 දා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙකම හිටපු ජාතික පාපන්දු නායක මහින්ද පාලිත මහතා යටතේ පුහුණුව ලබයි. එකම පුහුණුකරුවකු යටතේ සිටින කණ්ඩායම් 2 ක් ප්‍රධානතම පාපන්දු තරගයක අවසන් මහා තරගයට පැමිණි මුල්ම අවස්ථාවද මෙය වේ. පුහුණුකරු මහින්ද පාලිත මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසුවේ “දවසේ දක්ෂයෝ” එෆ්. ඒ. සූරතාව දිනාගනු ඇති බවයි.

“මගේ පාපන්දු ජීවිතයේ සතුටුම දවස හෙටයි. අද සිවිල් ආරක්ෂක පිලට අවසන් පුහුණු සැසිය පවත්වනවා. හෙට උදේ නාවික හමුදා පිලට අවසන් පුහුණු උපදෙස් දෙනවා. අවසන් මහා තරගය වෙලාවේ කණ්ඩායම් දෙකටම උපදෙස් දෙන්නේ නෑ. දිනන්නේ කව්ද කියා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා” යැයි මහින්ද පාලිත පැවැසීය. මහින්ද පාලිත මහතා වසර 11 ක් ශ්‍රී ලංකා පාපන්දු පිල නියෝජනය කළේය.

මෙවර එෆ්. ඒ. කුසලාන තරගාවලියට කණ්ඩායම් 106 ක් සහභාගි වූ අතර තරග 105 ක් පැවැත්වුණි. සියලුම තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති අතර ගෝල් 440 ක් වාර්තා විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා