රොනල්ඩෝගෙන් පැමිණිල්ලක්

රොනල්ඩෝගෙන් පැමිණිල්ලක්

පාපන්දු ලෝක කුසලාන තරගමාලාවේදී සුපිරි ක්‍රීඩකයින්ට ලැබෙන ආරක්‍ෂාවට වැඩි ආරක්‍ෂාවක් තරග විනිසුරුවන්ගෙන් ද එම ක්‍රීඩකයින්ට ලැබිය යුතු බව සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ප්‍රකාශ කළේය. ’ඒ’ කොටස යටතේ අයිවරි කෝස්ට් පිල සමඟ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් පසුව පෘතුගාල නායකයා මේ බැව් පැවසුවේය.

”සමහර වෙලාවන්හිදී විනිසුරුවන් ලබා දෙන තීරණ මට තේරුම් ගත නොහැකියි. ඔවුන් විශිෂ්ට ක්‍රීඩකයින්ට රැකවරණය ලබාදිය යුතුයි” රොනල්ඩෝ ප්‍රකාශ කළේය. අයිවරි කෝස්ට් පිල සමඟ පැවැති තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයින් කීප දෙනෙකු නිරතුරුවම රොනල්ඩෝ වටකර ගනිමින් ඔහු තල්ලු කිරීමට සහ අපහාස කිරීමට ලක්කොට ඇතැයි පෘතුගාල පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබේ. එවැනි එක් අවස්ථාවකදී අයිවරි කෝස්ට් පිලේ ගයි ඩිමෙල්ට මෙන් ම රොනල්ඩෝට ද කහ කාඩ්පත ලබා දීමට තරග විනිසුරු උරුගුවේ ජෝර්ජ් ලැරිඔන්ඩා කටයුතු කළේය.

පාපන්දු වෙබ් අඩවියෙන් වාර්තාවක්

පාපන්දු ලෝක කුසලානයේ නිල වෙබ් අඩවිය පසුගිය අඟහරුවාදා (15) වාර්තාවක් තැබීමට සමත් විය. ඒ මිලියන 265 ක ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් එදින එම වෙබ් අඩවියට පිවිසීම හේතුවෙනි. www.fifa.com නමැති මේ වෙබ් අඩවිය පසුගිය අඟහරුවාදා සම්පූර්ණයෙන්ම කාර්ය බහුල තත්ත්වයට පත්වූයේ බ්‍රසීලය සහ උතුරු කොරියාව අතර තරගය පැවැති අවස්ථාවේදීය.

මීට පෙර මේ වෙබ් අඩවිය දිනකට නැරඹූ වැඩිම ප්‍රේක්‍ෂක පිරිස වශයෙන් වාර්තා වී තිබුණේ 2006 වසරේ ජූනි 22 වැනිදාය. එදින පැවැති පාපන්දු තරගය වූයේ ඉතාලිය සහ චෙකෝස්ලෝවේකියාව අතර තරගයයි. එදින ප්‍රේක්‍ෂකයන් මිලියන 250 ක් පාපන්දු වෙබ් අඩවියේ සැරිසරා තිබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා