වසරේ ක්‍රීඩකයා ෂෙහාන් ක්‍රීඩිකාව මිනිරුවණී

වසරේ ක්‍රීඩකයා ෂෙහාන් ක්‍රීඩිකාව මිනිරුවණී

කාන්තා අංශයෙන් මුල්තැන විශාඛා විදුහලට

කෙටිදුර ධාවන සූර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙහාන් අඹේපිටිය හා පිහිනුම් සූරී මහනුවර උසස් බාලිකාවේ මිනිරුවණී සමරකෝන් වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූහ. ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අසිරිමත් මෞලි මංගල්‍යය සේ සැලකෙන පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා රාත්‍රියේ දී පැවැත්වුණි.

නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මේ වර්ණ ප්‍රදානෝත්සවය ශ්‍රීී ලංකා පාසල් ක්‍රීඩා සභාව සංවිධානය කළේය. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය රාජකීය විදුහලේ චරිත් කපුකොටුවද හා නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය කුරුණෑගල මලියදේව බාලිකාවේ තරින්ද්‍ර දර්ශනී වීරකෝන් දිනා ගත්හ.

චරිත් කපුකොටුව කවපෙත්ත හා යගුලිය විසිකිරීමේ සූරයෙකු වන අතර තරින්ද්‍ර දර්ශනී ටේබල් ටෙනිස් සූරියෙකි. රටපුරා පාසල් 72ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 540 ක් පමණ පාසල් ක්‍රීඩා වර්ණ දිනාගත් අතර ඒ සඳහා ක්‍රීඩා 26කදී දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගෙන තිබුණි.

වැඩිම ක්‍රීඩා වර්ණ සංඛ්‍යාවක් දිනාගනිමින් කොළඹ රාජකීය විදුහල ඉදිරියෙන් ම සිටියේ ය. රාජකීය විදුහලේ ක්‍රීඩකයන් 36කට වර්ණ හිමිවිය. වර්ණ 25ක් දිනාගත් කොළඹ ආනන්ද විදුහල දෙවැනි තැන ද වර්ණ 23 ක් දිනාගත් කොළඹ විශාඛා විදුහල තෙවැනි තැනට ද පත්විය. විශාඛා ක්‍රීඩිකාවෝ කාන්තා අංශයෙන් පළමු ස්ථානය දිනාගැනීමට සමත්වූහ.

මහනුවර ධර්මරාජ විදුහල වර්ණ 14ක්, මහනුවර මහාමායා විදුහල වර්ණ 13ක්, මාදම්පේ සේනානායක විදුහල වර්ණ 13ක්, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වර්ණ 12ක්, වලල රත්නායක විදුහල වර්ණ 11ක්, සාන්ත පීතර් විදුහල වර්ණ 10ක්, ත්‍රිත්ව විදුහල වර්ණ 10ක් හා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල වර්ණ 10ක් දිනාගත්හ. වැඩිම වර්ණ ප්‍රමාණයක් බස්නාහිර පළාතට (234ක්) හිමි වූ අතර මධ්‍යම පළාත වර්ණ 127ක් හා දකුණු පළාත වර්ණ 50ක් දිනාගැනීමට සමත්විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා