මගේ විනෝදාංශය දුප්පතුන්ට සේවය කිරීමයි

මගේ විනෝදාංශය දුප්පතුන්ට සේවය කිරීමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා

ම පුද්ගලික ධනය පොදුජන යහපත සඳහා යොදවන “වෙස්සන්තර වංශයේ” මහජන නියෝජිතයන් ගැන කතා කිරීම පුදුමය උපදවන සුළු කරුණකි. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එවැන්නෙකි. නැතිබැරි අයට උදව් කිරීම ඇතැම් මහජන නියෝජිතයන් විලාසිතාවට සිදු කළද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ට මෙම යහපත් පුරුද්ද ඇතිවී තිබෙන්නේ පාසල් අවදියේ සිටය. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ඒ මහතාගේ පවුල ද ව්‍යාපාරික පසුබිමක් සහිත එකකි. ව්‍යාපාරික කටයුතු පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හා රාජගිරිය ජනාධිපති විදුහලේ අධ්‍යාපනය හදාරා තිබේ. මෙවර පාර්ලිමේන්තුවට වැඩි මනාප ප්‍රමාණයක් ලබා තේරීපත් වූ දුමින්ද සිල්වා මහතා ඔහුගේ අලුත් මන්ත්‍රීධූරය, දේශපාලන හා පුද්ගලික ජීවිතය පිළිබඳව එබී බැලීමකි මේ.

* ඔබ දේශපාලනයට පිවිසියේ කුමන අරමුණ සඳහාද?

මම දේශපාලනයට පැමිණියත් නැතත් මහජනතාවට සේවය කිරීමයි මගේ අරමුණ වෙලා තිබෙන්නේ. දේශපාලනයට පැමිණීමට බොහෝ කාලයකට පෙර සිටයි මම නැතිබැරි ජනතාවට උදව් කරන්න ගත්තේ. මම ඔවුන්ට උදව් කළේ යමක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. මා කවදාවත් උපකාරයක් කරලා ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. අනෙක මම දේශපාලනයට පැමිණියේ මුදල් උපයාගන්න නෙවෙයි. මුදල් හම්බකිරීමේ චේතනාවක් තිබෙනවා නම් මේ වියදම් කරන මුදල් ඉතුරු කරගෙන පැත්තකට වෙලා ඉන්න තිබුණ. නමුත් මට එවැනි මුදල් ඉපයීමේ චේතනාවක් නැහැ. මම හැමදාම දුගී ජනතාව වෙනුවෙන් උදව් උපකාර කිරීමට සූදානම්ව සිටින කෙනෙක්.

* ඔබේ පවුලේ දේශපාලන පසුබිම කොහොමද? පසුබිමක් තිබෙනවද?

නැහැ. මගේ පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ වී නැහැ. මේ මගේ කැමැත්තෙන් ආ ගමනක්. මම දේශපාලනයට පිවිසීමට පෙර ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටියා. දැන් ඒ ව්‍යාපාර කටයුතු තාත්තා බලාගන්නවා. මම දේශපාලනයට ආසයි. ඒ යම් කිසි වාසියක් බලාපොරොත්තුව නොවෙයි.

* ඔබ දවසේ වැඩි කාලයක් ගත කරන්නේ දුප්පත් ජනතාව සමඟයි.

මම දුප්පත් ජනතාව ආශ්‍රය කරන්නේ වෙනත් අය වගේ ලෝකෙට පේන්න නම් නෙවෙයි. දවසේ වැඩි වෙලාවක් යොදාගන්නේ දුප්පත් ජනතාවට සේවය කිරීමටයි. බස්නාහිර පළාතේ මගෙන් උදව්වක් නොලැබූ කෙනකු සිටිනවානම් ඒ සියයට පහක් හයක් වෙන්න ඕනෑ. මම දවසේ රාත්‍රී කාලය යොදාගන්නේ දුප්පත් ජනතාවගේ මළගෙවල්, අසනීප, කරදර, දාන ගෙවල්වල යාමටයි.

ගංවතුරක් සුළි සුළඟක් හෝ එවැනි ආපදාවක් සිදු වී ඉන් හානියට පත් සෑම කෙනකුටම මම උදව් කරනවා. පසුගිය කාලේ එවැනි ආපදාවලට මුහුණ දුන් දස දසක් පමණ ගෙවල් තනා ගැනීමට අමුද්‍රව්‍ය ලබා දුන්න. වියළි ආහාර බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල්, ඇඳුම් පැළඳුම් ඇතුලු සියලු දේම ලබාදුන්නා. නිවසක් තනා ගැනීමට නොහැකි අන්ත අසරණම කිහිප දෙනකුට මගේ වියදමින් සම්පූර්ණ නිවසම තනා දී තිබෙනවා.

විශේෂයෙන් බස්නාහිර පළාතේ දිළිඳු පවුල්වල පාසල් දරුවන් ලක්‍ෂ ගණකට පාසල් පොත් ලබාදීම මම බොහෝ කාලයක සිට කරගෙන එන විශාල ව්‍යාපෘතියක්. ඒ අතරින් දක්‍ෂ ඒ වගේම දිළිඳු අසරණ දරුවන් තෝරා ඔවුන්ට ශිෂ්‍යත්වයක් වශයෙන් ඉගෙනීමට සම්පූර්ණ මුදල් මාස්පතා ලබාදෙනවා.

ඒ වගේම දුමින්ද සිල්වා පදනම මගින් රැකියා නැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ස්වයං රැකියා සඳහා අධාර, ත්‍රීරෝද රථ, මහන මැෂින් ලබාදීම ඇතුලු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවද මා මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට පත්වී මේ මාස දෙක, තුන ඇතුළත තරුණ තරුණියන් 800 කට රැකියා ලබාදුන්නා. විශේෂයෙන් කොලොන්නාව ප්‍රදේශයේ වසර තිහකින්වත් විසඳී නොතිබූ ජල ප්‍රශ්නය අතිගරු ජනාධිපතිතුමාට කළ ඉල්ලීම මත දැන් විසෙඳමින් පවතිනවා. එම නව ජල යෝජනා ක්‍රමය සඳහා මිලියන 1200ක් ලැබී තිබෙනවා.

එපමණක් නොවේ කොලොන්නාව ප්‍රදේශයේ සදාකාලික ගැටලුවක් වූ කුණු ප්‍රශ්ණය මගේ ඉල්ලීම මත එක්තරා සමාගමක් නොමිලයේ ප්‍රවාහනය කරදීම ආරම්භ කර තිබෙනවා. එය කොලොන්නාව ප්‍රාදේශීය සභාව හරහා රජයට විශාල මුදලක් ඉතිරිවීමක් බව කිව හැකියි.

* ඔබ හොඳ බෞද්ධයෙක්...?

ඔව්... නමුත් මට ආගම් භේදයක් නැහැ. අපි හැම කෙනකුගේ ලේ රතුපාටයි. මම බස්නාහිර පළාතේ පමණක් නොවේ රටේ ඕනෑම තැනක පිහිටි ආගමික ස්ථානවලට ආධාර උපකාර කර තිබෙනවා. විශේෂයෙන් පන්සල් පමණක් පන්සියයකට වැඩි ප්‍රමාණයකට ආධාර ලබාදී අලුත්වැඩියා කරදී තිබෙනවා.

ඒ වගේම අසරණ මාපියන්ගේ වෛද්‍ය ප්‍රතිකාරවලට අවශ්‍ය මුදල්, ශල්‍යකර්ම සඳහා දුමින්ද සිල්වා පදනම මගින් ඉල්ලා සිටිනවා. එවැනි අවස්ථාවල ප්‍රමාණය ගැන මා බලන්නේ නැහැ. ඔවුන්ගේ අසරණකම පිළිබඳවයි බලන්නේ. විශේෂයෙන් දුමින්ද සිල්වා පදනම වෙත පැමිණි කෙනකු හිස් අතින් ආපසු යවන සිරිතක් නැහැ.

සෑම වෙසක්, පොසොන් පෝයකටම මම කොළඹ දිස්ත්‍රික්කයේ දන්සල් සිය ගණනකට හාල් සහ වෙනත් අවශ්‍යතා ලබා දුන්නේ ඉතාමත් සතුටින් කිවතොත් එය නිවැරැදියි. දේශපාලන වාසි තකා මම මේ උදව් කරනවානම් කොළඹින් පිට මට ඡන්දය නැති ප්‍රදේශවල ජනතාවට මේවා ලබා දෙන්න අවශ්‍ය නැහැනේ. මට ඡන්දය දුන්නත් නැතත් දුප්පතාට අවංකව උදව් කිරීම මගේ සිරිතයි.

* මේ තරම් ආධාර උපකාර ලබන දුගී දුප්පත් ජනතාව ඔබට බොහෝ ආදරය කරනවා ඇති?

ඇත්තවශයෙන්ම ඔව්. මම පාරට බැස්සම මා වටා ජනතාව රොක්වෙනවා. මම ඔවුන්ට කරන උදව් කවදාවත් ඔවුන්ට අමතක නැහැ. සතියේ දින දෙකක් මා මහජන දින වශයෙන් යොදාගෙන තිබෙනවා. එදින උදේ වාඩිවුනාම රෑ වෙනකම් මට නැගිටින්නවත් බැහැ. ඒ තරමට සෙනග ගලනවා. ඔවුන්ගේ ප්‍රශ්න මම කවදාවත් කිසිවකුටත් පිහිට නොවී ආපසු යවන්නේ නැහැ. දුප්පත් ජනතාව එක්ක ඉන්න පුරුද්ද අපේ පවුලෙන් ආපු එකක්. මගේ පවුලේ අනෙක් උදවියත් දුප්පතුන්ට බොහෝම උදව් උපකාර කරනවා.

දුගී කෛනකු දුටුවාම මට පුදුම අනුකම්පාවක් ඇතිවෙන්නේ මම දන්න අය මගේ යහලුවෝ පවා මට ඇතැම් වෙලාවට කියනවා ඇයි ඒ අයගේ ගෙවල්වල ගතකරන්නේ කියලා. ඒ වුනත් මම ආසයි එහෙම ඉන්න. මගේ ජීවිතයේ දවසෙන් පැය 18ක් ගතකරන්නේ දුප්පත් ජනතාව සමඟයි. සේදවත්ත පැත්තේ තරුණ පිරිස මට හරිම හිතවත්. මම රාත්‍රියකදී කඩයක් ලගින් වාහනය නැවත්තුවම කට්ටිය මාව වට කරගන්නවා.

ආප්ප , කෝපි තේ ගෙනවිත් දෙනවා. මමත් ඔවුන් සමග මගේ ආරක්ෂක කට්ටියත් එක්ක පෙට්ටි කඩේ බංකුවට වෙලා ඉඳගෙන ආප්ප කාලා තේ බීල යනවා. ඒ වෙලාවට ඒ අහිංසක මිනිස්සුන්ට දැනෙන සතුට අපට වචනවලින් කියන්න බැහැ. අපි කවුරුත් මිනිස්සු නේද ? පුංචිමිනිස්සු එක්ක ඉඳලා ගිහින් ඩෙටෝල්දාල ඇඟපත හෝදගන්න සිරිතක් මට නැහැ. මට මේ පුරුද්ද දේශපාලනයට පැමිණීම නිසා ඇතිවූ දෙයක් නොවෙයි.

කුඩා කාලේ සිටම සිදුවූ දෙයක්. නැතිබැරි කෙනකු ගෙදරට ඇවිත් යමක් ඉල්ලනවිට මම ඒ දිහා බලාගෙන ඉඳලා ගෙදර අයට හොරෙන් තාප්පෙන් පැනලා ගිහින් මමත් තව කීයක් හරි ඔහුට දෙනවා. මගේ මේ දෑතින් ඒ විදියට ආධාර උපකාර ලබපු දහස් ගාණක් මට පිං දීල ඇති. ඒ වගේ සතුටක් තවත් තියෙනවද ජීවිතේට. නිකම් හිතලා බලන්න පොඩි මිනිස්සු ලඟට ගිහින් නැති ආඩම්බරකම් මවාගෙන ඉන්න එකද හොඳ නැහැ. අපේ රටේ දේශපාලනඥයො හුඟක් දෙනකුට ගමේ දුප්පත් ජනතාව මතක් වෙන්නේ මැතිවරණයක් කිට්ටු වුනාමයි. ඒත් ඔවුන් සදාකාලිකව මා සමඟ ජීවත් වෙනවා.

* එක්තරා දවසක මැතිවරණ රැස්වීමකදී වූ විශේෂ සිදුවීමක් ඔබට මතකද ?

ඇත්තටම ඔව්. කොලොන්නාව මැතිවරණ රැස්වීමක් අවසන් වෙන්න කිට්ටුව තිබිය දී එක් අම්ම කෙනෙක් එයාට වචන කීපයක් කියන්න තිබෙනවා කියල අවස්ථාවක් ඉල්ලා ගත්තා. ඒ මව මට රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ඉන්න කාලේ ටීචර් කෙනෙක්. මටත් එතුමිය ඒ වෙලාවේ එතරම් මතක තිබුණේ නැහැ. එතුමිය හිටපු ජනතාව අමතල කීවා මේ ඉන්නේ වෙස්සන්තර පවුලක උපන් කෙනෙක් කියල. මේ පුතා ඡන්දෙ ඉල්ලන්න ඕනෑ නැහැ. ඡන්ද ලැබෙයි. එතුමා යමක් දෙන්නේ ඡන්ද ගන්න නොවෙයි. මගේ පංතියේ ඉගෙන ගන්න කාලේ නැති බැරි දරුවන්ට තමන්ගේ පොත් පත් දුන්න කෙනෙක්. දවසක පංතියටම ඇතිවෙන්න නිබන්ධන මුද්‍රණනය කරලා දුන්නා ආදී වශයෙන් කීවා.

* මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මොනවාද කරන්නේ...

ශිෂ්‍යත්ව දරුවන් තුන්දහසකට එකවර සහභාගි විය හැකි සම්මන්ත්‍රණ මාලාවක් සෑම අවුරුද්දකම මම පවත්වනව දිවයිනේ ප්‍රසිද්ධම දේශකයන්ගෙන් නිබන්ධන මුද්‍රණය කරල අවශ්‍ය ඒ සෑම වියදමක්ම මා දරනවා. මේ වසරේ වැඩමුළු මෙම 11 වැනිදා සිට ආරම්භ කරනවා. ඒ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ දැන්වීම් දැනටමත් ප්‍රදර්ශණය කර තිබෙනවා.

* මෙම සමාජ සේවා වැඩවලදී ඔබට සහාය වන පිරිස...

දුමින්ද සිල්වා පදනම යටතේ සේවක සේවිකාවන් දහසකට අධික පිරිසක් සේවය කරනවා. ඔවුන්ට වැටුප් ගෙවන්නේ මගේ පෞද්ගලික ධනයෙන්. මම හිතන්නේ මහජන දිනයට දහසක් විතර එනවා. ඒ සැම කෙනකුගේම ප්‍රශ්නයට අනුව හමුවිය යුතු නිලධාරීන් සිටිනවා. පාසල් වෛද්‍ය / රැකියා / ණය ආධාර නිවාස ආධාර ඇතුලු ඒ සෑම දෙයකටම අදාල නිලධාරියකු සිටිනවා. ඒ අය හරහා ප්‍රශ්නය නිරාකරණය කරගෙන උදව් ලබා ගැනීමට පහසුකම් දී තිබෙනවා. එසේ එන අයට තේ ආදිය දිවම තවත් පිරිසක් සිටිනවා.

* ඔබ අතේ තිබුණ මුද්ද ගලවල දුන්න දිනය මතකද ?

ඔව් එදා ආධාර බෙදා දුන් දිනයක්. ආධාර ඉවර කරලා ඉද්දි තවත් අය ඇවිත් ඉල්ලනවා. ආධාර ඉවර නිසා මගේ පර්ස් එකේ තිබුණ මුදලුත් දී ඉවර වුණ. පසුව තවත් පිරිසක් ඇවිත් ඉල්ලනවා. මම ඉවරයි වෙන දිනයක එන්න කීවම පිළිගන්නේ නැහැ. පසුව මම අතේ තිබුණ මුද්ද විකුණගෙන සල්ලි ගන්න කියලා මිනිසෙකුට ලබාදුන්නා. එවැනි සුන්දර අත්දැකීම ලබන්න තරම් මා වාසනාවන්තවීම ගැන මම ලබන්නේ පුදුම සතුටක්.

* දේශපාලන ජීවිතයේදී ඔබට ඉදිරියට යාමට සහයෝගය ලැබුනේ කාගෙන්ද ?

මහජනතාව මට ඡන්දය දුන්නා. ඒ අතර මගේ දේශපාලන ජීවිතයේදී ඉදිරියට යාමට අත දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මම එක්සත් ජාතික පක්ෂයේ හිටියා නම් තවමත් පළාත් සභා මන්ත්‍රී කෙනකු පමණයි. එහෙත් අද මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඉදිරියට යාමට ජනාධිපතිතුමා දුන් සහයෝගය වචනයෙන් කියා නිමකරන්න බැහැ. එ.ජා.ප. නායකයා කුහකයි.

දක්ෂයාට තැනක් දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වෙත මා එකතුවූහාම එතුමා මා කෙරේ ලොකු විශ්වාසයක් තබා මට වගකීම් පැවරුවා. එතුමා මේ රටේ ජනතාවට සංවර්ධනයෙන් සපිරුන රටක් ලබාදීමට කරගෙන යන වැඩපිළිවෙළට ලබාදිය හැකි උපරිම ශක්තිය මම ලබා දෙනවා. එතුමා මේ රටට ජාතියට ආදරේ කරන නායකයෙක්. එතුමා ජනතාවට උදාකර දුන් නිදහස අද මේ රටේ ජනතාව භුක්ති විදින ආකාරය ලෝකයටම දැකගන්න ලැබී තිබෙනවා.

* ඔබ ලස්සනට අදින්න පළදින්න ආස කෙනෙකු බව දැනගන්න ලැබුණා.

ඔව් ලස්සනට අදින්න ආසයි. ඒත් ඒ තැනට ගැලපෙන විදියටයි. මම ආසම රෝසපාට. වැඩිපුර අදින්නෙත් රෝසපාට කමිස. මට ඒ පාට කමිස හාරසියක් විතර තිබෙනවා. හැබැයි මේක පත්තරේට ලියන්න එපා.

* ඔබ මාධ්‍යත් එක්ක බොහෝම සමීප කෙනෙක් නේද ?

මාධ්‍යවේදීන් පමණක් නොවෙයි මම ජීවිතයේ මුණ ගැසෙන සෑම කෙනකු එක්කම හිතවත්. මාධ්‍ය මා වෙනුවෙන් බොහෝ ප්‍රචාරය ලබා දී තිබෙනවා. ඔවුන් මා වෙනුවෙන් ලියන නොදන්න සෑම දෙයක්ම මම ඉතාමත් සතුටින් බාර ගන්නවා.

* ඔබ දේශපාලනයට පිවිසීම ගැන දෙමාපියන් ඇතුලු පවුලේ සෙසු අය අකමැතිද?

ඔවුන් මගේ දේශපාලන ගමනට උදව් කරනවා. විශේෂයෙන් මගේ පියාත් බොහෝම නිර්භීත හිතක් ඇති පුද්ගලයෙක්. විරුද්ධවාදී දේශපාලන කණ්ඩායම් මට මඩ ගහනවිට තාත්තා ඒවා ගැන නොසැලී දරා සිටිනවා. ඒ වගේම මගේ දේශපාලන වැඩවලට පියා එයාගේ මුදල් විශාල ප්‍රමාණයක් මා වෙනුවෙන් වියදම් කරනවා.

නමුත් දේශපාලන රැස්වීම් ආදියට ඔවුන් එන්නේ නැහැ. රැස්වීම් පැවැත්වෙන ස්ථානයට බොහෝ ඈතක සිට කාර් එකට වෙලා මා රැස්වීම් අමතන ආකාරය මවත්, පියාත් බලා සිටින අවස්ථා තිබෙනවා. මගේ අඩුපාඩුවක්, වැරැද්දක් තිබෙනවා නම් ඒ ගැන මට කියාදෙනවා. මගේ හිත සංවේදී වැඩියි. ඔය දේශපාලඥයන්ගේ සිත ඔහොම වෙන්න බැහැ. ටිකක් තදින් ඉන්න ඕනෑ. තාත්තා මට කියනවා.

* ඔබ දක්‍ෂ ක්‍රීඩකයෙක් කියා ආරංචියි

ඔව්. මම පාසල් යන කාලේ දක්‍ෂ ලෙස ක්‍රීඩා කටයුතුවල නිරතවුණා. විශේෂයෙන් රගර් ක්‍රීඩාව, මලල ක්‍රීඩා මම දෙවතාවක් චැම්පියන් වී තිබෙන අතර තවත් සහතික විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. දැන් ක්‍රීඩා කිරීමට වෙලාව නැතත් දිනපතා ව්‍යායාම් කටයුතුවලට පැය කීපයක් යොදවනවා.

* ඔබගේ දේශපාලන ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?

මම පළාත් සභාවට වැඩිම මනාප ලබාගත්තා. පසුව දෙවැනි වර පළාත් සභා මැතිවරණයෙන් මනාප එක්ලක්‍ෂ හැටපන්දහසක් ලබා ගත්තා. පාර්ලිමේන්තු මහ ඡන්දයෙන්ද කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප එක්ලක්‍ෂ හතළිස් හත්දහසක් පමණ ලබාගත්තා. මා කරන මහජන සේවය මීටත් වඩා වැඩි කරගෙන යනවා. ඒ ඉදිරි මැතිවරණවලදී ඡන්ද ලබා ගැනීමේ අරමුණ මත නොවෙයි. මාගේ අරමුණ මහජන සේවය තව තවත් වැඩිදියුණු කිරීම සඳහායි.

* ඔබට එල්ලවන මඩ ප්‍රහාර පිළිබඳව සැලීමක් ඇතිවෙනවාද?

අපොයි නැහැ. මම බොහෝම කාරුණික හදවතක් ඇති පුද්ගලයෙක් වගේම නොසැලෙන කෙනෙක්. දේශපාලනය කරනවා නම් මඩ, කාටුන් එන ඕනෑම දේකට මුහුණ දෙන්න ඕනෑ. කොහොමත් වැඩ කරනවා නම් එල්ලවන ප්‍රහාරත් වැඩියි. වැඩ නොකරන පුද්ගලයාට ප්‍රශ්න නැහැ. මා වටා ජනතාව එක්වෙන්නේ ඔවුන්ට මම සේවය කරන නිසයි. ජනතාවගේ විශ්වාසය ලබා නොගෙන කවදාවත් ඔවුන්ගේ කැමැත්ත දිනාගැනීමට බැහැ. දේශපාලනයට වුවත් මහජන සේවයට වුවත් අප අවංක වෙන්න බැහැ.

අපේ නායකත්වයට අප අවංක වෙන්න ඕනෑ. ඔවුන්ට ගරු කරන්න ඕනෑ. මම කවුද කියන එක මගෙන් උදව් ගත් පිරිස දන්නවා. මා අවංක නිසයි කොළඹ දුගී දුප්පත් ජනතාව මා වටා එක්රොක්වී සිටින්නේ. මගේ ජීවිතයේ දූෂණය, වංචාව, වැරදි ලෙස ධනය ඉපයීම වැනි දේවල් නැහැ. කිසිම කෙනකුට කවදාවත් මට දූෂණ වංචා චෝදනා එල්ල කරන්න බැහැ.

ජනතාව මා කෙරෙහි තබා තිබෙන ඒ විශ්වාසය ආරක්‍ෂා කර ගැනීම මගේ අරමුණයි. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගෙන එතුමා මේ රට ආසියාවේ ආශ්චර්යමත් රට කිරීමට දරන උත්සාහයට සහාය වීම මගේ මේ කරගෙන යන මහජන සේවාවේ තවත් අරමුණක් බව කිවහොත් එය නිවැරැදියි.

* ඔබේ විවාහය සිදුවන්නේ කොයි කාලයේදීද?

එය ඉදිරි කාලයේදී ඉතා යහපත් ආකාරයෙන් සිදුවේවි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා