පරණ කලාව අලුත් විදිහකට...

පරණ කලාව අලුත් විදිහකට...

රංගන ශිල්පියකු, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු මෙන් ම සටන් කලා ගුරුවරයකු ලෙස හැඳින්විය හැකි සේනක විජේසිංහ රඟපෑමට අමතරව මේ දිනවල අලුත් කටයුත්තක් ආරම්භ කර ඇත. එනම් ඔහුගේ සටන් කලා ශිල්පය තරුණ පරපුරට හඳුන්වා දීමේ කටයුත්තයි. ඒ නිමිත්තෙන් අප සේනක සමඟ කළ සාකච්ඡාවකි මේ.

* රටේ බොහෝ දෙනා ඔබ හඳුනන්නේ රංගන ශිල්පියෙකු ලෙසයි. ඒ වගේ ම ඔබ දක්‍ෂ සටන් කලා ගුරුවරයෙක්. ඔබ නියෝජනය කරන සටන් කලාවේ ඉතිහාසය පිළිබඳව සැකෙවින් කියනවා නම්?

මම උගන්වන්නේ ජීට් කුණ්ඩු සටන් කලාවයි. එය 1960 දශකයේ බෲස්ලි විසින් නිර්මාණය කළ විද්‍යාත්මක සටන් කලාවක්. බෲස්ලි ඇමරිකාවේ ඉපදුනත් ඔහුගේ මව හා පියා චීන ජාතිකයින්. ඔහුගේ පියා හොංකොංවල ඔපෙරා ශිල්පියෙක්. ඒ පසුබිම යටතේ හැදුන බෲස්ලිට ඔහුගේ පියා තායිචි චුවාන් කියන සටන් කලාව ඉගැන්නුවා. ඒ වගේම යිප් මෑන් කියන ගුරුවරයා යටතේත් ඔහු සටන් කලාව ඉගෙන ගත්තා.

පසුව ඔහු ඇමරිකාවේ ස්වීටල් නුවර විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී දර්ශනය හදාරනවා. එතනදී ඔහුට තේරෙනවා තමන් දන්නා කුංෆු සටන් කලාව ඒ දියුණු සමාජයට ගැළපෙන්නේ නෑ කියලා. ඒ නිසා ඔහු ලෝකයේ හොඳම සටන් කලාව නිර්මාණය කරන්න පෙළඹුණා. ඔහු කුංෆු, හුන්කුණේ, චෝයිලී ෆැට් කුනේ, ජූඩෝ, තයිකුණ්ඩු, පිලිපයින් කාලි, නන්චක්කු හා වෙස්ටන් බොක්සිම් කියන විවිධ සටන් කලාවන්වල හොඳම කොටස් එකතු කරලා පරිපූර්ණ සටන් කලාවක් ලෙස ජීට් කුණ්ඩු නිර්මාණය කළා...”

* මේ සටන් ක්‍රම සටන් කලාවක් වෙන්නේ කොහොමද?

පොල්ලක් අරන් ගහන එකත් සටන් ක්‍රමයක්. ඒත් ඒක කලාවක් වෙන්නේ නෑ. බෝධිධර්ම හාමුදුරුවෝ චීනයට ගිහින් ෂවලින් ආරාම භික්ෂූන්ට බෞද්ධ දර්ශනය සමඟ සටන් කලාව එකතු කරලා මානසික හා කායික වශයෙන් දැඩි ලෙස වෙහෙස වෙන්න පුළුවන් මිනිසෙක් නිර්මාණය කිරීමේ කලාවක් හැදුවා. එය සටන් කලාවයි. චීනයේ ෂවලින් ආරාමයේ මෙය විෂයක් ලෙස අදටත් වර්ධනය වෙමින් පවතිනවා. අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ මිනිසෙක් නිර්මාණය කිරීමයි එහි අරමුණ. කුංෆු කියන්නේ නිපුන මිනිසා නැත්නම් බරපතළ වැඩක් කරන මිනිසා යන්නයි. හැබැයි අනෙක් කලාවන්හිදී මනසත් සිරුරත් දෙකම එක ;ස් මෙහෙයවන්නේ නැහැ. මේ කලාවේදී ඒ කාර්යය මනාව සිදුවෙනවා...”

* අප දන්නා සාම්ප්‍රදායික සටන් කලාවන් හා ජිට් කුණ්ඩු අතර තිබෙන වෙනස කුමක් ද?

සාමාන්‍ය සටන් කලාවේදී ගුරුවරයා ශිෂ්‍යාව දැනුමේ කඳු මුදුනට එක්ක යනවා. එතැනින් ඉගැන්වීම අවසන් කියලා සහතිකයක් ලබා දෙනවා. ශිෂ්‍යයාත් ඉගෙනීම නවත්තලා උගන්වන්න ගන්නවා. ඒ සම්ප්‍රදාය රැගෙන යනවා. ඒත් ජිට් කුණ්ඩුවලදී මේ ක්‍රමය වෙනස්. එහිත් ශිෂ්‍යයාව අර කඳු මුදුනට ගෙනියනවා. නමුත් එතැනින් ඉගෙනීම අවසන් වෙන්නේ නෑ. ඉගෙනීම පටන් ගන්නේ එතැනින්. අනන්තය දක්වා දිවෙන මේ සටන් කලාවේ ආරම්භය එතැනයි.

බෲස්ලිගේ දර්ශනය එයයි. එතනදි කරාටේ, කුන්ෆු කියන නම් ගම් සියල්ල අහෝසි වෙලා සොබාදහම සමඟ මුසු වූ එකම සටන් කලාවක් බවට පත්වෙනවා. එය මිනිසෙකුට තමන්ගෙ ඇඟෙන් කරන්න පුළුවන් උපරිම සටන් කලාවයි. එයට නමක් නෑ. ඒ වැනි සටන්කරුවෙක් නිර්මාණය කිරීමේ කලාව තමයි ජිට් කුණ්ඩු කියන්නේ. තමා විසින් තමාව දැකීමයි මෙහි කෙළවර වෙන්නේ. තමන් තුළ ඉන්නා දියුණු සටන්කරුවා සොයා යන ගමනක් තමයි ජිට් කුණ්ඩු කියන්නේ.

* කෙනෙක් මේ ජිට් කුණ්ඩු සටන් කලාව හඳුනාගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ විවිධ අය බෲස්ලි වගේ ඇඳලා පැළඳලා රඟපාලා ජිට් කුණ්ඩු කියලා කුංෆු, වූෂු ආදියත් උගන්වනවා. බෲස්ලිගෙ නම පාවිච්චි කළාට බෲස්ලිගෙ ගෝලයන් කියා ගත් අයගෙ සංගම්වලට බැඳුනට ජිට් කුණ්ඩු ලැබෙන්නෙ නෑ. එය තමන්ම හොයාගෙන ගිය කෙනෙක්ගෙන් විතරයි ලබාගන්න පුළුවන් වෙන්නේ. ජිට් කුණ්ඩු කාටවත් අයිති දෙයක් නෙවෙයි. බෲස්ලිගේ ඉගැන්වීම් හරහා ඕනෑම කෙනෙක්ට එය හොයා ගන්න පුළුවන්. මම ජිට් කුණ්ඩු කරන්නේ විවිධ සටන් කලා හදාරලයි.

අදටත් මම සටන් කලාව හදාරනවා. මේ සටන් කලාවල දියුණු කොටස්වල එකතුව තමයි ජිට් කුණ්ඩු. අපිත් ජිට් කුණ්ඩු කියල 1973 බෲස්ලි මැරුණ කාලෙ තිබූ සටන් කලාව පිළිගන්නවා නම් ඒක ජිට් කුණ්ඩු නෙවෙයි. මමත් විවිධ සටන් කලා අධ්‍යයනය කරමින් යන විටයි මට ජිට් කුණ්ඩු හමුවුණේ. අද ගොඩක් දෙනා සටන් කලාව කියල කරන්නේ ක්‍රීඩායි. විනය හදාගෙන පරිපූර්ණත්වයට පත්වීමක් එතන නෑ.

* ඔබට කොහොමද මේ සටන් කලාව හමුවුණේ?

මම අවුරුදු දහයේ දී බෲස්ලිගේ “එන්ටර් ද ඩ්‍රැගන්” චිත්‍රපටය බලන්න ගියා. මට එදා බෲස්ලිගෙ සටන් කලාවට ආස හිතුනා. තාත්තා මාව කරාටේ පන්තියකට යැව්වා. මට තේරුණා අර චිත්‍රපටයේ බෲස්ලිගෙන් ගුටි කාපු අයගෙ සටන් කලාව නේද මම ඉගෙන ගන්නෙ කියලා. මම බෘස්ලිගෙ සටන් කලාව හෙව්වා.

1981 දී සීවලී වික්‍රමාරච්චි ගුරුතුමා යටතේ කුංෆු ඉගෙන ගත්තා. මම බෲස්ලි නිර්මාණය වූ ආකාරය හෙව්වා. මට අවසානයේ තමයි ජිට් කුණ්ඩු හමුවුණේ. 1987 දී මම ජිට් කුණ්ඩු විද්‍යායතනය පිහිටෙව්වා. එදා සිට අද දක්වාම එය පවත්වාගෙන යනවා. විදේශවල චිත්‍රපටවලටත් මගේ ශිෂ්‍යයන් තෝරාගෙන තිබෙනවා. විදේශික සටන් ශිල්පීන් පවා අගය කර තිබෙනවා.

පසුගිය යුද වාතාවරණය නිසා සටන් කලාව මදක් ඇනහිටියා. අලුත් ලංකාවේ ඉදිරිය පැහැදිලියි. අපි අධ්‍යාත්මික අතින් තරුණ පරපුර හැදීමයි දැන් කළ යුතුව තියෙන්නේ. එයට මට කළ හැකි දේ මම කරන්නයි සූදානමින් ඉන්නේ.  ජූලි 11 වැනිදා මම නැවතත් සුදර්ශි ශාලාවේ සවස 3.00 ට ජිට් කුණ්ඩු පන්තිය ආරම්භ කරනවා. මම හිතනවා ඉදිරියේදී සටන් කලාව සම්බන්ධයෙන් ලංකාව තුළ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා